ලෝක කුසලානයේ කුමන්ත්‍රණ ද?

3797

2019 ICC ක්‍රිකට් ලෝක කුසලානය රෝහිත් ශර්මාගේ සුපිරි ශතකවලින්, මිචෙල් සටාර්ක්ගේ බේරෙන්නට නොහැකි යෝකර් පන්දුවලින් මෙන්ම ශකිබ් අල් හසන්ගේ තුන් ඉරියව් දක්ෂතාවලින් ද හැඩ වෙද්දී, අපි නොදුටු පැතිකඩක් ද මෙවර ලෝක කුසලානයේ තිබුණා. පිටියේ මෙන්ම පිටියෙන් එපිට ද සිදු වූ මෙම සිදුවීම් මහත්වරුන්ගේ ක්‍රීඩාවට අගෞරවයක් ගෙනාවා ද?

Video – “මගේ කොන්ත්‍රාත්තුව ඉවර වෙනකන් මම ඉන්නවා” – හතුරුසිංහ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) දිවයිනට පැමිණි…

දේශපාලන පණිවුඩ රැගත් ගුවන් යානා

හෙඩින්ග්ලි හිදී විවිධ දේශපාලන ප්‍රකාශ රැගත් බැනර් සහිත ගුවන් යානා ක්‍රීඩා පිටිය ඉහළින් පියාසර කළේ ICC යේ දැඩි අප්‍රසාදය මධ්‍යයේයි. එම ප්‍රකශ වල “India stop genocide & free Kashmir” වැනි වදන් සටහන්ව තිබූ අතර මෙම සිදුවීම වූයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අතරතුරදීයි.

මෙවැනිම සිදුවීමක් ඇෆ්ගනිස්තානය හා පාකිස්ථානය අතර තරගයේදී ද සිදුවූ අතර ICC විසින් එම සිදුවීම් පිළිබඳව කණගාටුව පළ කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙහම තිබුණා නම් – මේ සියලු ගැටලු නිරාකරණය වන්නට ඉඩ තිබුණා බැනරයේ දේශපාලනය වෙනුවට “රෝහිත් ශර්මා, කරුණාකර ශ්‍රී ලංකාවට ඔච්චර ගහන්න එපා” යැයි සටහන් වූවා නම්.

පාකිස්තානය එළවීමට ඉන්දියාව ගුටි කෑම

හර්දික් පාන්ඩ්‍යා දැවී ගිය පසුව ඉන්දියාව යම් අර්බුධයකට ඇද වැටුණේ පන්දුවාර පහක දී ලකුණු 71ක් අවශ්‍ය වූ නිසයි. නමුත් ඔවුන් සතුව කඩුලු පහක් තිබුණා. කඩුල්ලේ සිටියේ ක්‍රිකට් ලොව හොඳම තරග අවසන් කරන්නා වන මහේන්ද්‍ර සිං දෝනි. ඉන්දියාව එම තරගය ජය ගත්තා නම් පාකිස්තානයටත් අවසන් පූර්ව වටයට යන්නට ප්‍රබල අවස්තාවක් හිමි වන්නට ඉඩ තිබුණා. සියලුම පාකිස්තාන රසිකයින් දෝනිගේ හෙලිකොප්ටර් පහර අපේක්ෂාවෙන් ප්‍රීති ඝෝෂා එකතු කළත් එම පහර තරග අවසන් වන තුරුම එල්ල වූයේ නැහැ.

දෝනි අමුතුම ක්‍රීඩා විලාසයකට ක්‍රීඩා කළ අතර ඔහු සුපුරුදු දැවැන්ත පහරවල් එල්ල කළේ නැහැ. ඉන්දියාව ලකුණු 31කින් පරාජය වුනේ අවසන් පූර්ව වටයේ පකිස්තාන බලාපොරොත්තු ළිං පතුළටම ඇද දමමින්. මේ තරගාවසානයට ලොව වටා ප්‍රේක්ෂකයින් මෙන්ම ඉන්දීය විචාරකයින්ද දෝස්මුර තබා තිබුණා. “ක්‍රීඩාවේ ජීව ගුණය” ට මොකද වුනේ?

කටින් සටනේ – “ පි හිතලම පැරදිලත් අපිට ලකුණු සටහනේ පළමු ස්ථානය දිනන්නට පුළුවන්, අපි පැරදුණේ අපිට පරදින්න පුළුවන් නිසා.” යැයි දෝනි මාධ්‍ය හමුවේ කිව්වා නම් තත්වය සමනය වෙයි ද?

‘අහිංසක’ ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා ICC ය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් හොඳ පහසුකම් එංගලන්තයේ දී නොලැබුණු බව පවසමින්. ඔහු වැඩිපුරම අදහස් දැක්වූයේ අපිට ලැබුණු ‘කොළ පැහැ’ තණතීරු පිළිබඳවයි. නවසීලන්තයේ ලැබුණු ‘කොළ පැහැ’ තණතීරුවේ නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඉවක් බවක් නැතිව ලකුණු 137ක් රැස් කළේ තරගයේ ජය ‘කිවියන්ගේ’ නමට ලියා ගනිමින්.

ද මෙල් මහතා ICC විසින් තමන්ට ලබා දුන් බස් රථ, පුහුණු වීමේ ස්ථාන හා පිහිනුම් තටාකවල තත්වය හොඳ මදි යැයි ද පැමිණිලි කර තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේ මේ ඉල්ලීම් ඔවුන්ගේ දක්ෂතා නිසා අනෙක් රටවල ක්‍රීඩකයින්ට සිනහවක් ගෙනාවේ අවාසනාවන්ත ලෙසයි.

මෙහෙම වුනා නම් – ශ්‍රී ලංකාව එංගලන්ත තරගය ජය ගත්තාට පසුව පැමිණිලි කරා නම්. ශ්‍රී ලංකාවට ඉල්ලා සිටින්නට තිබුණා තමන්ගේ සියලු තරග හෙඩින්ග්ලි හි පවත්වන්න කියලා. ඇන්ජෙලෝ මැතිව්ස් හෙඩින්ග්ලි හිදී ආරම්භක පිතිකරුවා කළා නම් වැඩේ හරි යයි ද?

#DhoniKeepTheGlove

#දෝනි_අත්වැසුම_තියාගන්න

#DhoniKeepTheGlove යන පාඨය සමාජ ජාලවල රැව් පිළිරැව් දුන්නේ ICC විසින් යුද හමුදා සංකේතයක් සහිත දෝනිගේ කඩුලු රකින අත්වැසුම ඉවත් කරන ලෙස පැවසීමත් සමඟයි. දෝනි ඉන්දීය යුද හමුදා විශේෂ බලකායේ ගරු ලුතිනන් කර්නල් වරයෙකු වන අතර කපිල් දෙව්ට පසුව එම ගෞරවය දිනා ගත් දෙවැන්නා ඔහුයි. පිහියක ලකුණක් ඔහුගේ සටන්කාමි අත්වැසුම් වල සටහන් වී තිබුණා. 

ICC නීති රීති වලට අනුව ක්‍රීඩකයින්ගේ නිල ඇඳුමේ හෝ පළඳින උපාංගවල පෞද්ගලික පණිවුඩ හෝ රූප සටහන් ඇතුලත් කිරීම තහනම්. මීට අමතරව මෙම ‘පිහියක සලකුණ’ නිසා අනුමත කරන ලද කඩුලු රකිනන්ගේ අත්වැසුම් නීති රීති ද බිඳ වැටුණා.

ඉන්දිය ප්‍රේක්ෂකයින් හා මාධ්‍ය එම අත්වැසුමම භාවිතා කරන ලෙස ඉල්ලීම් සිදු කළත් මෙම තරගාවලියේ දෝනි සිදු කළ එකම අභීත ක්‍රියාව ඔහු එම අත්වැසුම ඉවත් කරමින් සිදු කළා. ඉන්දිය මාධ්‍ය දැන් ඔහුව හඳුන්වන්නේ යුද වීරයෙකු ලෙසයි . 

මෙහෙම වුණා නම් – ICC යට මායාකාරී බලයක් තිබුණා නම් ඔවුන්ට ස්ටම්ප් එකක් මිස් වෙන්න දෝනිගේ අත්වැසුමට ශාප කරන්නට තිබුණා. එම මගහැරුණු අවස්ථාව අවසන් මහා තරගයේ නම් ඉන්දීය ප්‍රේක්ෂකයින්ම  ඉතුරු ටික බලා ගනීවි.  

පාකිස්තාන – ඇෆ්ගනිස්තාන සැණකෙළි අස්සේ ගුටිකෙළි

පාකිස්තානය ලකුණු 206/7ක් ලෙස පසුවෙද්දී පාකිස්තානයට පන්දුවාර 3.2ක දී ලකුණු 21ක් අවශ්‍ය වුණු නිසා තරගය සම්පූර්ණයෙන්ම පැවතුණේ ඇෆ්ගනිස්තාන දෑත්වලයි. ඉමාඩ් වසීම්, රෂිඩ් ඛාන්ගේ ගුග්ලි පන්දු තේරුම් ගත නොහැකිව දියෙන් ගොඩ දැමූ මාළුවෙක් සේ උඩ පැන පැන සිටි අතර නායක ගුලාබ්දින් නයිබ් තුන් ඉරියව්වෙන් දස්කම් පාන්නට ගොස් වැඩේ “අනාගත්තේ” තරගය පාකිස්තානයට පූජා කරමින්.

කණ්ඩායම් දෙකේම ප්‍රේක්ෂකයින් කිහිපදෙනෙකු පිටියට පැන ක්‍රීඩකයින්ට හා නිලධාරීන්ට පහර දීමට උත්සහ කළේ සිය රටවල පවතින යුදමය තත්වය මතක් වී විය හැකියි. මෙම ගැටුමට හේතුව තවමත් පැහැදලි නැතත් ආසන්නතම හේතුව විය හැක්කේ ඇෆ්ගනිස්ථාන ප්‍රේක්ෂකයින් පාකිස්තාන ප්‍රේක්ෂකයින් සිටි ස්ථානයේ ඉමාඩ් වසීම් වැනි අයෙකු හෝ ගුලාබ්දින් නායිබ් වැනි අයෙක් දැකීම විය හැකියි!! ඉතින් ගුටිකෙළි!! 

කවුද දන්නේ නැත්තේ? – හැමෝම දැනගෙන සිටියා සිදුවිය යුතු දේ….. ගුලාබ්දින් නයිබ් හැරෙන්නට!

අඩ නිරුවතින් තණනිල්ලේ 

ජොනී බෙයර්ස්ටෝව්ගේ දෙවන අඛණ්ඩ ශතකය හා ලකුණු 123ක සුපිරි ආරම්භක පිතිකරු සබඳතාවයකට පසුව එංගලන්තය 1992 වසරට පසු පළමු වතාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. 

කෙසේ වෙතත් ප්‍රේක්ෂකයින්ගේ උපරිම ප්‍රීති ඝෝෂාව ඇසුණේ බෙයාස්ටෝව් වෙනුවෙන් නොවෙයි. නිරුවතින් “සුද්දෙක්” පිටිය මැදට දිව ගියේ ඔහුගේ ජිම්නාස්ටික් දක්ෂතා චෙස්ටර්-ලී-ස්ට්‍රීට් ප්‍රේක්ෂක ප්‍රජාවට කැමැත්තෙන්  පෙන්වමින්.

Credits: Reuters

ලකුණු 306ක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම දුවද්දී දැවී යාම් වලින් ඔවුන්ගේම ගෙල සිර කර ගද්දී කම්මැලි සිතුණු මේ “සුද්දා” පිටියේ පැවති තරගයට වඩා තරගකාරී බවක් පෙන්නුම් කරමින් ඇඳුම් උනා දමා පිටියට පැන්නේ ආරක්ෂක නිලධාරින් පස් දෙනෙකු පසු කර දුවමින්. ලයනල් මෙසීගේ පාද චලන වලින් ආරක්ෂක නිළධාරීන් නොමඟ යැවූ ඔහු පිටියේ ප්‍රේක්ෂකයින්ට සෑහෙන වින්දනයක් ලබා දීමට සමත් වුනා.

අමතක නොවන මතක – නිරුවත් සුද්දන් නම් සයිමොන්ඩ්ස් තමයි. ඔහු සිටියා නම් මේ පිට්ටනියට පැමිණි “සුද්දා” තල්ලු කර දමන්නේ එක් ක්ෂණයකින්. ඔබේ කණ්ඩායමත් අර්බුදයක නම් ලකුණු 50ට කඩුලු 5ක් දැවී ගොස් නම් ක්ෂණික විවේකයක් ලබා ගන්න ඇන්ඩ්රු සයිමොන්ඩ්ස් කැඳවන්න!! 

අංශක 360ම කැරකී ආපසු ගිය “Off Season” AB

දකුණු අප්‍රිකාව පිට පිටම තරග තුනක් පරාජය වී දැඩි අර්බුදයකට ලක් වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සුමිතුරු ඒ. බී ඩිවිලියර්ස් මහතා යළි කණ්ඩායමට පැමිණීමට කැමැත්ත පළ කළත්, දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය හැරෙන තැපෑලෙන් එම ඉල්ලම ඉවත දමන්නට පියවර ගත්තා.

පළමුව දකුණු අප්‍රිකා ප්‍රේක්ෂකයින් එම තීරණයට විරෝධය පළ කළත් කල් ගතවත්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම දැක්වූ දක්ෂතා අනුව A. B සිටියත් යළි ගොඩ ඒමක් නොමැති බව ඔවුන් වටහා ගත්තා.

මෙහම කරන්න – සියලු දේම සිදුවිය යුතු ලෙස සිදු විය. මීළඟ වතාවේ දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලානයකට පිටත් වන විට කලින්ම එම තරගාවලිය පින් පිණිස පැවැත්වෙන තරගාවලියක් බව ඔවුන්ට පවසන්න. ඔවුන් සුපුරුදු ලෙස තරග සියල්ලේම ජයග්‍රහණයන් බන්දේසියක දමා පූජා කර නැවත පැමිණේවි.

තෙල් මිල සුත්‍රය බඳු දල ලකුණු වේගයේ මන්තරය

පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසෙන්නට නම් බංගලාදේශයට එරෙහි තරගය ඔවුන් ලකුණු 300කින් ජය ගත යුතුව තිබුණා. එතැන් සිට ආරම්භ වූයේ දල ලකුණු වේගයට හා එකිනෙකාට විරුද්ධව පැවැත්වුණු තරගයේ ප්‍රතිඵලය යන සටනේ ආරම්භයයි. මන්ද පාකිස්තානය මෙම තරගය ජය ගත් විට ඔවුන් ප්‍රසාද ලකුණුවලින් නවසීලන්තය සම කළත් දල ලකුණු වේගයෙන් ඔවුන්ට වඩා පසුපසින් සිටි බැවින්.

මෙම අර්බුදය දිගින් දිගටම ලෝක කුසලානවල දී ඇති වූ අතර එක් නරක තරගයක් නිසා දල ලකුණු වේගය අඩු වූ කණ්ඩායමකට දෙවන වටයේ අවස්ථාව අහිමි වෙන්නේ අවාසනාවන්ත ලෙසයි.

මෙහෙම වුනා නම් – පාකිස්තානය සුපුරුදු ලෙස මැජික් ජයග්‍රහණ වාර්තා නොකර අඛණ්ඩව එක ලෙස තරග දින්නා නම් අවසන් තරගයේ දී විශ්වකර්ම ඉලක්කයක් ඔවුන්ට හිමිවන්නේ නැහැ!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<