මංජුල, ලේකම්ගේ හා සම්පත් පදක්කම් බලාපොරොත්තු අතරට

190

එළඹෙන මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට නියමිත 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ ජාතික තේරීම් තරග ඊයේ (27) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

පොදුරදමඩුලු සුදුස්සන් තේරීම මේ මස අගදී

එළඹෙන මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට…

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ සීමිත ඉසව් කිහිපයක් සඳහා පමණක් තරග පැවැත්වූ අතර මෙවර පිරිමි හෙල්ල විසි කිරීම, උස පැනීම මෙන්ම කාන්තා මීටර 800 හා තුන්පිම්ම යන ඉසව්වලින් ද යම් පදක්කම් බලාපොරොත්තුවක් තැබිය හැකිය. තරගාවලිය සඳහා තේරීපත්වූ ක්‍රීඩකයින් ජාතික ඔලිම්පික් කමිටුව මගින් නිවේදනය කිරීමට නියමිතයි.

ක්‍රීඩකයින්ගේ නියමිත තරගාවලි සමයට ප්‍රථමව මෙම තේරීම් තරග පැවැත්වීම නිසා ක්‍රීඩකයින් නිසි පරිදි සූදානම් වීමකින් තොරව තරගවලට සහභාගී වූ අතර එම නිසා ඔවුන්ගේ උපරිම දක්ෂතාවලට ළඟා වීමට නොහැකිවීම කැපී පෙනුණු කරුණක් විය. තරගාවලියට ක්‍රීඩකයින් නම් කිරීමේ කාල සීමාව අවසාන වීමට නියමිතව තිබීම මෙයට හේතුවක් විය. සුපුරුදු පරිදි දියගම අබලි ධාවන පථය ද ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලට බාධා කළ ද, අවධානය යොමු විය යුතු තරමේ දක්ෂතා ක්‍රීඩකයින් වාර්තා කිරීම සුවිශේෂ කරුණක් විය.  

වයසට නොයන මංජුල

අද දින පැවති ඉසව්වලින් අපේක්ෂිත පරිසාධන මට්ටම් තරණය කළ උස පැනීමේ ශූර මංජුල කුමාර සිය සුපුරුදු දක්ෂතාවලට ළඟා වූ අතර මීටර 2.27ක ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන ඔහු මත මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී යම් පදක්කම් බලාපොරොත්තුවක් තැබිය හැකි වනු ඇත. වයස 33ක් වුවත් තරුණයෙකුගේ ජවයෙන් සිය ඉසව්ව ඉහළින්ම නිමා කරන ඔහු මීටර 2.24 ක උසක් වාර්තා කරමින් තේරීම් තරග නිමා කළ අතර, 2014 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මීටර 2.25ක උසක් වාර්තා කළ කැනඩා ක්‍රීඩකයෙකු ලෝකඩ පදක්කමකට හිමිකම් කියූ බැවින් මෙවර මංජුල කුමාර මත ඉහළ පදක්කම් බලාපොරොත්තු පැවරෙනු ඇත.

හෙල්ලට ජවය දුන් නදීෂා හා සම්පත්

හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන නදීෂා ලේකම්ගේ මීටර 58.14ක දුරක් වාර්තා කරමින් සුදුසුකම් ලැබීමේ තරගාවලිය නිමා කළ අතර පසුගිය වසරේ නිමා වූ ආසියානු ශූරතා  ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම දිනා ගැනීමට මීටර 58.11ක් වාර්තා කිරීමට ඇය සමත් විය. එබැවින් ඉහළ බලාපොරොත්තු රැසක් සමඟින් නදීෂා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පිටව යනු ඇත.

මීටර 82.22ක පෞද්ගලික හොඳම දුර වාර්තා කළ සම්පත් රණසිංහ, සුමේධ ජයසිංහ හා වරුණ ලක්ෂාන් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ සෙවණැල්ලෙන් මිදී පිටිය මත සිය නාමය සනිටුහන් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් හොඳම තෙවැනි දුර වාර්තා කරමින් මීටර 80 වේ සීමාව ඉක්මවා ගිය ඔහු මෙවර ශ්‍රී ලංකාව උදෙසා පදක්කමක් දිනා දීමට සිය උපරිම ශක්තිය යොදවනු ඇත.

සිංහ කඟවෙනෝ ශ්‍රී ලංකාව තුල හොඳම මීටර 100 කාලය වාර්තා කරති

ධාවන පථයේ අබලං තත්වය මධ්‍යයේ වුවද පැසසිය යුතු මට්ටමේ ධාවන කාල වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ එශාන් හා විනොජ් සුරන්ජය දැකුම්කළු සටනක නිරත වූහ. පළමු තේරීමේ වටයේ දී තත්පර 10.36ක් වාර්තා කළ හිමාෂ එශාන්ට අභියෝග කරමින් විනොජ් සුරන්ජය දෙවැනි තේරීමේ වටයේ දී තත්පර 10.33කින් තරගය අවසාන කිරීමට සමත් විය. දැකුම්කළු අවසාන වටයක් සනිටුහන් කරමින් තරගය ජය ගත් විනොජ් සුරන්ජය තත්පර 10.29ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව තුල මීටර 100ය හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.            

ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න ඊයේ (14) ටෙක්සාස් හි හියුස්ටන් ප්‍රදේශයේ පැවැත්වූනු මැරතන් තරගයේ දී 2:36.35ක කාලයක්…

අවසාන සංචිතය තවමත් නිවේදනය කර නැතත් ,මෙම තේරීම් තරගාවලියට පෙරම ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා මැරතන් ධාවන ශූරියක් වන හිරුණි විජේරත්න 2:36:35ක කාලයකින් ඉසව්ව නිමා කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් දිනාගත් නිසා හිරුණිත්, මංජුල කුමාර, නදීෂා ලේකම්ගේ හා සම්පත් රණසිංහත් කණ්ඩායමට ඇතුලත් වනු ඇත. තරගාවලියට සහභාගි වන 13න් දෙනෙක්ගෙන් පමණ වන සංචිතය ලබන සතියේ ජාතික ඔලිම්පික් කමිටුව මගින් නිවේදනය කිරීමට නියමිතයි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<