චන්දිමාල්ගේ ශතකය කොළඹට කිරුළු පළන්දයි!

7267

අත්දැකීම් වලින් සහ තාක්ෂණයෙන් සන්නද්ධ මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව අකුරටම රඟ දැක්වූ දිනේෂ් චන්දිමාල් රැස්කළ සුපිරි ශතකය හේතුවෙන් කොළඹ කණ්ඩායමට සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශූරයින් ලෙස කිරුළු දැරීමට අද (29) අවස්ථාව උදාවිය. විශිෂ්ට පිතිකරණයට අමතරව පිටියේ පන්දු රකින්නන් රැඳවීම සහ අවශ්‍ය පරිදි පන්දු යවන්නන් මාරු කිරීම ද අද චන්දිමාල්ගෙන් ඉටුවුනු අමතර සේවාවන් අතරට එක්වූ අතර තිසර පෙරේරා නැවතත් පන්දු යවන්නෙකු ලෙස දක්ෂතා අතරට පැමිණීම කොළඹ ජයග්‍රහණයට බෙහෙවින් දායක විය.

අර්ධ ශතක වැස්සකින් පිටිය වර්ණවත් වේ

සුපිරි පළාත් වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් උණුසුම් තරඟ කිහිපයක්ම අද (28) සාර්ථක ලෙස නිමාව දුටු අතර, එම තරඟ වලින් බස්නාහිර මධ්‍යම, බස්නාහිර උතුර, වයඹ හා මධ්‍යම යන කණ්ඩායම්…

කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් දෙවරක් නොසිතාම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. නිමාවුණු තරඟ කිහිපයේදීම ආර්. ප්‍රේමදාස පිටිය මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම බොහෝදුරට ජයග්‍රහණය කිරීම එම තීරණයට පාදක වන්නට ඇත. එම තීරණයේ සාර්ථකත්වය පසක් කරමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කොළඹ කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 307ක් තරම් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ගැනීමට හැකිවිය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස පිටියට අවතීර්ණ වූ ඩිල්ශාන් මුණවීර සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක් එක් කරන්නට සමත් විය. එම සබඳතාවය නිමා කරමින් දකුණත් පිතිකරු ඩිල්ශාන් මුණවීර දැවී යනවිට ඔහු පන්දු 24කින් ලකුණු 27ක් රැස්කර තිබුණි. දැවී යන අවස්ථාවේ ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වී තිබුණි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කිත්රුවන් විතානගේ ලකුණු 25කින් කොළඹ ලකුණු පුවරුව ඉහළ දැමූවද ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට මලින්දගේ දඟ කැවුණු පන්දුව ඉඩ ලබා දුන්නේ නැත.

කොළඹ කණ්ඩායමේ කඩුලු 4ක්ම ලකුණු 96ක් තුල බිඳ වැටී අසරණ වුනු මොහොතේ තම නායකත්වයේ වගකීම කරපිට පටවාගත් දිනේෂ් චන්දිමාල් ක්‍රමයෙන් තම ඉනිම ගොඩ නංවන්නට උත්සාහ ගත්තේය. ඔහුගේ උපකාරයට වර්තමානයේ දස්කම් අතර සිටින ශෙහාන් ජයසූරිය අනෙක් අන්තයේ රැඳී සිටීම චන්දිමාල්ගේ ගමන තව තවත් පහසු වීමට හේතු විය. ශෙහාන් අද තම දේශීය ක්‍රිකට් දිවියේ තවත් එක් අර්ධ ශතකයක් ලෙස පන්දු 64කින් ලකුණු 77ක් රැස්කර ගත්තේය. ඔහුගේ දැකුම්කළු ඉනිම හතරේ පහර 8කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය.

පීඩනය යටතේ අද දිනයේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් පන්දුවාර 38ක් පුරාවට කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 113ක් වාර්තා කළේය. ඊට මැනවින් ස්ථානගත කළ හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් විය. අවස්ථාවෝචිත පිතිකරණයක යෙදුනු ඔහුගේ ඉනිමට වැයවූයේ පන්දු 117ක් පමණි. ඉනිමේ අවසන් කොටසේදී ලකුණු වේගය වැඩි කර දීමට උර දුන් තිසර පෙරේරා, වනිඳු හසරංග සහ සචිත්‍ර සේනානායක කොළඹ කණ්ඩායමේ ලකුණු 300ක් දක්වා ඉහළ නැංවීමට තම වටිනා දායකත්වය ලබා දුන්හ.

පන්දු යැවීමේදී චතුරංග, අකිල සහ දසුන් කඩුලු 2 බැගින් බිඳ හෙලූ නමුත් ඔවුන් තිදෙනාටම දැඩි ප්‍රහාරයක් කොළඹ පිතිකරුවන්ගෙන් එල්ල විය. අද දිනයේ එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට සමත් වූවත්, තම පන්දුවාර 10 ලකුණු 33කට සීමා කළ මලින්ද පුෂ්පකුමාර අද තරඟය තුළ කැපී නොපෙනුණු තවත් එක් විශිෂ්ටයෙකු බවට පත්විය. විශේෂයෙන්ම ප්‍රතිවාදීන් ලකුණු 300 පසුකල තරගයකදී ඔහු මෙලෙස ප්‍රහාරයකට ලක් නොවී සිටීම සුවිශේෂී සිදුවීමක් ලෙස සඳහන් කළ හැකිය.

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම සඳහා ලකුණු 308ක අපහසු ඉලක්කයක් හිමිවුණු ගාල්ල පිතිකරුවන්ට අද සියල්ලන්ම දැවී ලකුණු 170කට සීමා වන්නට සිදුවිය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු චතුරංග ද සිල්වා පවා අද රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 34ක් පමණි. පසුගියදා සුපිරි ශතකයක් රැස්කර ගනිමින් ගාලු කණ්ඩායම අවසන් මහා තරගය කරා මෙහෙයවූ සදීර සමරවික්‍රම ද අද ලකුණු 29කට පමණක් සීමාවිය. ශම්මු අශාන් ලකුණු 30යි.

මේ අයුරින් කණ්ඩායමේ බොහෝ පිතිකරුවන් ලබාගත් දුර්වල ආරම්භය ශතකයක් හෝ අර්ධ ශතකයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වීම ගාලු පිළ ජයග්‍රහණයේ කුසලානයෙන් තව තවත් ඈතට තල්ලු කිරීමට හේතුවිය. අවසන් මොහොතේ අකිල ධනංජය සහ මලින්ද පුෂ්පකුමාර සිය පිතිකරණයෙන් යම් සටනක් ලබා දීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගේ උත්සාහය තරඟ ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමට තරම් ප්‍රබල නොවීය. කොළඹ පිළ වෙනුවෙන් පන්දුවෙන් ඉහළම දක්ෂතා දැක්වූ තිසර පෙරේරා ලකුණු 42කට කඩුලු 4ක් බිඳ හෙලීය. මීට අමතරව සචිත්‍ර සේනානායක සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 137ක විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් ශූරතා කුසලානයට හිමිකම් කීමට අද කොළඹ කණ්ඩායමට හැකි විය. තරඟය පුරාවට පිත්තෙන් සහ නායකත්වයෙන් ඉහළම දක්ෂතා පෙන්වූ දිනේෂ් චන්දිමාල්ට අවසන් තරඟයේ වීරයා සම්මානය හිමිවිය. එසේම තරඟාවලියේ වීරයා ලෙස නම් කිරීමට ද චන්දිමාල් තරම් සුදුස්සෙකු ගෙවුණු තරඟ රාශිය පුරාවට බිහි නොවීය. ශූරයින්ගේ කුසලානයටත් තව බොහෝ කල් නොමැති බැවින් චන්දිමාල් තම රිද්මය හඳුනා ගැනීම සහ තිසර තුන් ඉරියව්වෙන්ම යම් දියුණුවක් පෙන්නුම් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබවාදී ආරංචියක් බවට පත්වනු ඇත.

කොළඹ – කඩුලු 8ක් දැවී ලකුණු 307 (පන්දුවාර 50) දිනේෂ් චන්දිමාල් 113*, ශෙහාන් ජයසූරිය 77, ඩිල්ශාන් මුණවීර 27, කිත්රුවන් විතානගේ 25, තිසර පෙරෙරා 18, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 16, චතුරංග ද සිල්වා 2/53, අකිල ධනංජය 2/56, දසුන් ශානක 2/63.

ගාල්ල – සියල්ලන්ම දැවී ලකුණු 170 (පන්දුවාර 30.3) චතුරංග ද සිල්වා 34, ශම්මු අශාන් 30, සදීර සමරවික්‍රම 29, අකිල ධනංජය 24, මලින්ද පුෂ්පකුමාර 15*, උපුල් තරංග 10, තිසර පෙරේරා 4/42, සචිත්‍ර සේනානායක 2/34, දුෂ්මන්ත චමීර 2/40.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට