ජයග්‍රහණය කොළඹ පාපන්දු සමාජය, සහ මාතර සිටි කණ්ඩායම්වලට

404

2017 වසර සඳහා වන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 6 වන තරග සතියේ පැවති තරගවල දී ජයග්‍රහණ වාර්තා කරන්නට ගියවර ශූරතාවය දිනූ කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම සහ මාතර සිටි කණ්ඩායම සමත් විය.

‘Dialog’ ශූරයින්ගේ කුසලානය 2017 තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා

මෙම සතියේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරග 5ක් අධික වර්ෂාපතනය නිසා හා ක්‍රීඩාංගණ ජලයෙන් යටවීම නිසා වෙනත් දිනවලට කල් දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි. ඒ අනුව මොරගස්මුල්ල SC සහ සෝන්ඩර්ස් SC, ජාවා ලේන් SC සහ සොලිඩ් SC, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ බ්ලූ ස්ටාර් SC, සුපර් සන් SC සහ පෙලිකන්ස් SC, රිනවුන් SC සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග එසේ කල් දමන ලදි.

නිව් යන්ග්ස් SC සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති තරගය ගෝල 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ යුද හමුදා ක්‍රීඩා සමාජය මෙම තරග වාරයට ලබාගත් තරමක පසුගාමී ආරම්භයක් තවදුරටත් ඉදිරියට රැගෙන යමිනි. ඒ අනුව නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය මේ වන විට ලකුණු සටහනේ 3 වන ස්ථානය හිමි කරගෙන සිටියි.

ක්‍රිස්ටල් පැලස් FC හා පොලිස් ක්‍රීඩා සමාජය අතර ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට අපොහොසත්ව සිටි අතර අනතුරුව ඊට දැඩි වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැර දැමීමට තීරණය කරන ලදි.

කොළඹ පාපන්දු සමාජය – අප් කන්ට්‍රි ලයන්ස්

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවති කොළඹ පාපන්දු සමාජය හා අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම අතර තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩකයින් සමත් විය.

මීට පෙර පැවති තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ගෝල 7-1ක් වශයෙන් පරාජයට පත්කළ කොළඹ පාපන්දු සමාජය ඊට පෙර පැවති තරගය සුපර් සන් SC කණ්ඩායම හමුවේ අනපේක්‍ෂිත ලෙස ගෝල 2-0ක් වශයෙන් පරාජයට පත්විය.

ලැබුණු නිදහස් පහර අවස්ථාවක් සාර්ථක කරගත් කොළඹ කණ්ඩායමේ මෝමාස් යාපෝ තරගයේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. කෙසේ නමුත් පළමු අර්ධයේ දී අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් විය. නමුත්  කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක කවීෂ් ප්‍රනාන්දු ඔවුන්ට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

පළමු අර්ධය: අප් කන්ට්‍රි ලයන්ස් 0 – 1 කොළඹ පාපන්දු සමාජය

ප්‍රතිවාදීන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය මැඩපැවැත්වීම සඳහා තරගයේ දෙවැනි අර්ධයේ දී කොළඹ පාපන්දු සමාජ කණ්ඩායම ආරක්‍ෂක ක්‍රීඩකයින් 5 දෙනෙක් සහිතව තරගය ක්‍රීඩා කළ අතර එම උපාය සාර්ථක වූ ආකාරය දැකගත හැකි විය. ඒ අනුව තරගය අවසන් වන්නට පෙර ඔවුන් තවත් ගෝල 2ක් වාර්තා කර ගැනීමට සමත් විය.

තරගයේ 54 වන මිනිත්තුවේ දී මොහොමඩ් ෆාසාල් ලැබුණු තවත් නිදහස් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් කණ්ඩායමේ 2 වන ගෝලය වාර්තා කර ගන්නට සමත් වූ අතර ඊළඟ ගෝලය 68 වන මිනිත්තුවේ දී වාර්තා කර ගනු ලැබුවේ ‘Left-back’ ස්ථානයේ ක්‍රීඩා කරන චලන චමීර විසිනි.

සම්පූර්ණ කාලය: අප් කන්ට්‍රි ලයන්ස් 0 – 3 කොළඹ පාපන්දු සමාජ

ගෝල ලාභීන්

  • කොළඹ පාපන්දු සමාජය – මෝමස් යාපෝ 28’, මොහොමඩ් ෆාසාල් 54’, චලන චමීර 68’

කහ කාඩ්පත්

  • අප් කන්ට්‍රි ලයන්ස් SC – එම්. ගෙපෝස් 27’
  • කොළඹ පාපන්දු සමාජය – කවීෂ් ප්‍රනාන්දු 24’

රිනවුන් කණ්ඩායම තියුණු ජයක් ලබයි

අද (18) මොරගස්මුල්ල පාපන්දු පිටියේ දී පැවති, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර තරගය…

මාතර සිටි – නිගම්බෝ යූත් SC

ලකුණු සටහනේ අවසන් ස්ථාන 2 අතර සිටින කණ්ඩායමක් වන නිගම්බෝ යූත් කණ්ඩායම ගෝල 3-1 ක් වශයෙන් පහසුවෙන් පරාජයට පත්කරමින් ජයග්‍රහණය වාර්තා කරගන්නට මාතර සිටි කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී ය.

තරගයේ පළමු අර්ධය තුළ ශක්තිමත් ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමට මාතර සිටි කණ්ඩායම සමත් වුවත් එහි දී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට අපොහොසත් විය.

පළමු අර්ධය: මාතර සිටි 0 – 0 නිගම්බෝ යූත් SC

කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධය ආරම්භ වී සුළු වේලාවක් ගත්වද්දී තරගයේ පළමු ගෝලය වාර්තා කර ගන්නට මාතර සිටි කණ්ඩායමේ නුවන් ශෂිකප්‍රිය සමත් විය. අනතුරුව බ්‍රයන් වීරප්පුළි 68 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ 2 වන ගෝලයත් 71 වන මිනිත්තුවේ දී බී. ප්‍රින්ස් ඔවුන්ගේ 3 වන ගෝලයත් වාර්තා කරගන්නට සමත් විය.

තරගයේ අවසන් මිනිත්තුවේ දී නිගම්බෝ යූත් කණ්ඩායමේ දිලිප් පීරිස් විසින් ඔවුන් ලබාගත් එකම ගෝලය වාර්තා කරගන්නා ලදි.

සම්පූර්ණ කාලය: මාතර සිටි 3 – 1 නිගම්බෝ යූත් SC

ගෝල ලාභීන්

  • මාතර සිටි – නුවන් ශෂිකප්‍රිය 52’, බ්‍රයන් වීරප්පුළි 68’, බී. ප්‍රින්ස් 71’,
  • නිගම්බෝ යූත් SC – දිලිප් පීරිස් 90’

කහ කාඩ්පත්

  • නිගම්බෝ යූත් SC – වී. ටී. ධම්මික, රාජරත්නම් මිනෝන්, කමල් සිල්වා

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<