කොළඹ සුපර් ක්‍රොස්: අශාන් සහ ශානුක වැඩ පෙන්වයි

324

පළමු වරට සංවිධාන කෙරුණු කොළඹ සුපර් ක්‍රොස් මෝටර් ධාවන තරගාවලිය පසුගිය දා වැලිසර නාවික හමුදා මෝටර් ධාවන පථයේ දී සාර්ථකව පැවැත්වෙන ලදි.

අගනුවරට ආසන්නයෙන්ම පිහිටි බොරළු මෝටර් ධාවන පථයේ පැවැත්වීම හේතුවෙන් ‘කොළඹ සුපර් ක්‍රොස්’ ලෙස නම් ලද මෙම තරගාවලිය මෙරට මෝටර් ධාවන තරග කාල සටහනට එක්වූ නවතම ඇතුළත් කිරීම මෙන්ම බොහෝ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාලෝලීන්ට නවමු අත්දැකීමක් එක් කළ ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක් විය. එමෙන්ම මෙය බස්නාහිර පලාතට අයත් පළමු බොරළු සහිත මෝටර් ධාවන පථය ද වේ.

සුපිරි මෝටර් රථ ධාවන අත්දැකීමක් අගනුවරට

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන පථ ගොන්නට එක්වූ නවතම සාමාජිකයා වන නාවික හමුදා රේසිං ධාවන සමාජ..

මෙම තරගාවලියේ දී මෝටර් රථ ඉසව් 11ක් සහ යතුරු පැදි ඉසව් 11ක් ලෙස මුළු ඉසව් 22ක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබූ අතර තරගයට පෙර දින ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ධාවන පථය නිසි අයුරින් සකස් කිරීම සඳහා සංවිධායකයන් හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. මෝටර් රථ ධාවන පථයේ ස්ථාන කිහිපයක්ම නිසි අයුරින් වියළී නොතිබීම හේතුවෙන් තරග සංවිධායක මණ්ඩලය පියවර ගත්තේ පළමුවෙන් යතුරු පැදි තරග පැවැත්වීමටයි.

යතුරු පැදි ධාවන පථය කිලෝ මීටර් 1.8ක දුරකින් යුක්ත වූ අතර එය තරගකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද නවමු අත්දැකීමක් තිලිණ කරන්නට සමත් විය. කෙසේ වෙතත් මෝටර් රථ ධාවන පථයේ දුර කිලෝමීටර් 1.2ක් පමණක් වූ අතර බොහෝ ධාවකයන්ගේ මතය වුනේ එම ධාවන පථයේ දුර තරමක් මද බව සහ වංගු (කොන්) සහිත ප්‍රදේශ තව දුරටත් සංවර්ධනය කළ යුතු බවයි.

රත්නායක සොයුරන්ට වාසිදායක දිනයක්.

Rathnayake

නිවුන් සොහොයුරන් වන මිනුක සහ රිවිණු රත්නායක ද්විත්වය J කාණ්ඩයේ (කනිෂ්ඨ) එන්ජින් ධාරිතාව 50 දක්වා වූ යතුරු පැදි තරග අංශය තුල තම අණ සක පතුරුවන්නට සමත් විය. සාමාන්‍යයෙන් PW ඉසව්ව ලෙස හැඳින්වෙන මෙම තරග අංශය සඳහා ඔවුන් දෙදෙනා එකම වර්ගයේ ඇඳුම් සහ එකම වර්ගයේ යතුරු පැදි භාවිත කරමින් සහභාගී වූ අතර ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය ප්‍රදර්ශනය කරන ලදි. රිවිණු මුල සිටම තරගයේ පෙරමුණ ගත් අතර කිහිප වරක්ම උත්සාහ කළ ද තරගයේ නියමිත වට දෙක පුරාවටම ඔහුව අභිබවා යන්නට මිනුකට නොහැකි විය.

රත්නායක නිවුන් සොයුරන් PW ඉසව්ව ජය ගනිද්දී ඔවුන්ගේ ඥාති සොයුරකු වන භානුක රත්නායක ෆොක්ස් හිල් තරගාවලියේ දැක්වූ දස්කම් මෙම තරගාවලියට ද රැගෙන එන්නට සමත් වුනේ නොකඩවා දෙවන ශූරතාවටත් හිමිකම් කියමින්. භානුක J- MX  කාණ්ඩයේ සිලින්ඩර් ධාරිතාව 65 සිට 85 දක්වා (ද්විත්ව පහර) සහ සිලින්ඩර් ධාරිතාව 150 දක්වා (සිව් පහර) 16න් පහළ ඉසව්ව ජය ගන්නට සමත් විය. තරග ආරම්භය එතරම් සාර්ථක නොවුනත් වට 4කින් යුතු තරගයේ දෙවන වටය තුල දී භානුක ඉදිරියට පැමිණි පසු ඔහුව පසු කර යන්නට කිසිවෙකු සමත් නොවීය. ආබාධයකින් සුවය ලබමින් සිටින පසුගිය වසරේ 13න් සහ 16න් පහළ ජාතික ශූරයා වූ D.M.D. කල්හාර මෙම තරගයට සහභාගී වුවද 100%ක් ශාරීරික යෝග්‍යතාවයේ නොසිටි බවක් ප්‍රදර්ශනය කළ ඔහුට හිමි වුනේ 5 වන ස්ථානයයි. කෙසේ වෙතත් ඒ සඳහා හිමි වන ලකුණු ද ඔහුගේ සමස්ත ශූරතාව සඳහා එක් වනු ඇති.

සුපිරි ඉමාල් මංචනායක

18402572_10156185715574251_7534057465472204034_nමෝටර් ධාවන තරග වැනි ක්‍රීඩාවක නිරතුරුවම ජයග්‍රහණය සඳහා වාසනාවත් බලපාන අතර කිසිවිටකත් ජයග්‍රාහකයා පිළිබඳ තහවුරු කළ හැකි අනාවැකි පල කිරීම ඉතා අසීරු කාර්යයකි. කෙසේ වෙතත් මෙම සියලු අවිනිශ්චිත භාවයන් අභිබවා යමින් පසුගිය තරගාවලි රැසක දී ම බොරළු සහිත ධාවන පථවල දී සුපර් මෝටාඩ් ඉසව් සඳහා ඉමාල් මංචනායක හැර වෙනත් ජයග්‍රාහකයෙකු සොයා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණි. ධාවන පථයේ තත්ත්වය සහ කාලගුණ තත්ත්වය කුමක් වුවත් ඉමාල්ගේ ජයග්‍රහණය ස්ථීර ප්‍රතිඵලයක් වීම පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු අතර කොළඹ සුපර් ක්‍රොස් තරගාවලියේ දී ද එම ප්‍රතිඵලයේ කිසිදු වෙනසක් දක්නට නොලැබුණි. ඔහු සුපර් මෝටාඩ් යතුරුපැදි අංශයේ ජයග්‍රාහකයා බවට පත් වුනේ කිසිවෙකුගේ අභියෝගයකින් තොරවයි.

‘සඳරුවන්’ ධජය ගුවනට එක් කළ ශානුක.

18274873_10156185912159251_326485997288030136_n
ශානුක සඳරුවන්

මංගල ‘කොළඹ සුපර් ක්‍රොස්’ තරගාවලියේ තරග සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන, 9 වරක් ජාතික ශූරයා ලෙස අභිෂේක ලැබූ ප්‍රවීණ යතුරු පැදි ක්‍රීඩක ගයාන් සඳරුවන් තරග කිරීම සඳහා සම්බන්ධ නොවුනේ ආබාධයක් හේතුවෙනුයි. කෙසේ වෙතත් සඳරුවන් නාමයෙන් තොර ජයග්‍රාහක පුවරුවක් යතුරු පඩි අංශයේ පැවතීමට ඉඩ ලබා නොදුන් ගයාන්ගේ සොයුරු ශානුක සඳරුවන් තමන් සහභාගී වූ ඉසව් සියල්ලේම ජයග්‍රාහකයන් අතරට එක් වුනා පමණක් නොව තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස සම්මානයට පාත්‍ර වන්නට ද සමත් විය.

M කාණ්ඩයේ සාමාන්‍ය හෝ නවීකරණය කරන ලද සිලින්ඩර් ධාරිතාව 175 සිට 250 දක්වා (සිව් පහර) යතුරු පැදි තරගයට සහ සිලින්ඩර් ධාරිතාව 100 සිට 125 දක්වා (ද්විත්ව පහර) තරගයට ක්‍රීඩා කළ ශානුක එම ඉසව් දෙකම පහසුවෙන් ජය ගන්නට සමත් විය.

කෙසේ වෙතත් MX කාණ්ඩයේ – සිලින්ඩර් ධාරිතාව 175 සිට 250 දක්වා (සිව් පහර) සහ සිලින්ඩර් ධාරිතාව 100 සිට 125 දක්වා (ද්විත්ව පහර) තරගවල දී ශානුකට එතරම් පහසුවෙන් ජයග්‍රහණ කරා යාමට අවස්ථාව හිමි වුනේ නැත. එම ඉසව් පිළිබඳ තිබූ ප්‍රේක්ෂක ආකර්ෂණය ද මදක් හීන වීමට හේතුවක් වුනේ ආබාධ හේතුවෙන් ගයාන් සඳරුවන්, ඉවෝන් ගුරුසිංහ සහ ෂෙහාන් අධිකාරී වැනි සුපිරි ධාවකයන් සහභාගී නොවීම හේතුවෙනුයි.

නමුත් කොළඹ සුපර් ක්‍රොස් තරගාවලිය නැරඹීමට පැමිණි මෝටර් ක්‍රීඩාලෝලීන්ට අගනා අත්දැකීමක් විඳ ගැනීමට හැකිවුණේ MX 250 තරග ඉසව්වේ දී ජින් ලියනගේ සහ ශානුක සඳරුවන් අතර පවතී තරගකාරීත්වය හේතුවෙනුයි. එහි පළමු තරගයේ දී ලියනගේ තරගයේ ආරම්භයේ දී ම ඉදිරියට පැමිණෙන්නට සමත් විය. නාවික හමුදා ධාවන කණ්ඩායමේ ම සාමාජිකයකු වන ශානුක තම හැකියාවන් පෙන්වමින් ඉදිරියට පැමිණියේ පැන්නුම් සහිත ප්‍රදේශ වලදීයි. කෙසේ වෙතත් ධාවන පථයේ කොන් (හැරවුම්) වල දී ශානුකගේ දුර්වලතා වලින් ප්‍රයෝජන ගත් ජින් ලියනගේ එම තරගයේ දී ශානුක දෙවන  ස්ථානයට ඇද දමන්නට සමත් විය.

තම දුර්වලතා මනාව වටහා ගනිමින් එම ඉසව්වේ දෙවන තරගයට එක්වූ ශානුක එහි දී ධාවනයේ යෙදුණේ හැරවුම් ප්‍රදේශවල දී ලියනගේ හට ධාවන පථයේ ඇතුළු අග්‍රය දෙසට පිවිසීමට ඉඩ ලබා නොදෙමිනුයි. එම උපක්‍රමය සාර්ථක කර ගනිමින් දෙවන තරගය ජය ගත් ශානුක ‘කොළඹ සුපර් ක්‍රොස්’ තරගාවලි ඉතිහාසයේ පළමු ‘දක්ෂතම යතුරුපැදි ධාවක’ සම්මානය තමන් සතු කර ගන්නා ලදි.

මෝටර් රථ අංශයේ ආධිපත්‍ය අශාන් සිල්වාට

Ashan Silvaඩුබායි හී දී තරග වලට සහභාගී වී සිටීම හේතුවෙන් මෙරට තරග වලින් තරමක් ඈත්ව සිටිය ද, පසුගිය මස පැවති ෆොක්ස් හිල් ධාවන තරගයේ දී යලිත් ශ්‍රී ලංකා ධාවන පථයට එක්වූ අශාන් සිල්වා මෙම තරගාවලියේ සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා වූ SL GT කාණ්ඩයේ මෝටර් රථ තරග දෙකම ජය ගන්නට සමත් විය. තරග ආරම්භයේ සිටම විශිෂ්ට පාලනයකින් සිය රථය ධාවනය කළ අශාන් මෙම ධාවන පථයේ පිහිටි අසීරු හැරවුම් ස්ථාන සියල්ල පහසුවෙන් පාලනය කිරීමට සමත් විය. පළමු තරගයේ දී අශාන් පෙරමුණේ සිටම තරගය ආරම්භ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර පසිඳු පීරිස් සහ උෂාන් පෙරේරා පිළිවෙළින් ආරම්භක සැකැස්මේ දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා ලදි.  ෆොක්ස් හිල් තරගාවලියේ දී මෙන්ම මෙම තරගයේ දී ද රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් උෂාන් හට පළමු තරගය අතරතුර දී ම ඉවත්වීමට සිදු වූ අතර එහි දී පසිඳු අශාන්ට පසුපසින් තරගය අවසන් කරද්දී තුන් වන ස්ථානය හිමි වුනේ නිශාන් වාසලතන්ත්‍රී හටයි. දෙවන තරගයේදීත් පළමු සහ දෙවන ස්ථාන වල වෙනසක් නොවූ අතර තුන්වන ස්ථානය හිමි කර ගන්නට මනිෂ් ගුණතිලක සමත් විය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට