කොළඹ-පිට පළාත් ගැටුමෙන් පිට පළාත් කණ්ඩායම ජයගනී.

619

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මහත් සේවාවක් ඉටුකළ චන්ද්‍රිශාන් පෙරේරා මහතා වෙනුවෙන් සහ එළඹෙන මැයි මස පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකා රග්බි සංචිතය නම් කිරීමට තේරීම් තරගයක් ලෙස පැවැති කොළඹ සහ පිට පළාත් අතර තරගය ඊයේ (09) දින හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර එහිදී ලකුණු 24-12ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට පිට පළාත් ක්‍රීඩකයින් සමත්විය.

Video – පලඟ ශූරතාවය ඔසවන්නේ කවුද?

සති 5ක වෙහෙසකාරී පළමු වටයෙන් පසු පලඟ …..

චන්ද්‍රිශාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මහත් සේවාවක් ඉටුකර ඇති අතර ඔහු ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්ෂක ලෙස, ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටු සභාපති ලෙස හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඔහුගේ සේවය සපයා ඇත. එවන් උතුම් මිනිසෙක් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් හැව්ලොක් ක්‍රීඩා පිටියට යුහුසුළුව එක් රැස් වූ ආකාරයක් දක්නට ලැබුණි.

තරගය කෘත්‍රීම ආලෝකය යටතේ පස්වරු 6.45ට කොළඹ කණ්ඩායම නියෝජනය කළ රීසා මුබාරක්ගේ පා පහරින් ආරම්භ වූ අතර එයින් පටන් තරගයේ මුළුමනින්ම ග්‍රහණය කරගැනීමට පිට පළාත් ක්‍රීඩකයින් සමත්විය. රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් පිට පළාත් කණ්ඩායම ඉතා පහසුවෙන් තරගය අතට ගන්නා විට එම ග්‍රහණයෙන් මිදීමට කොළඹ ක්‍රීඩකයින්ට නොහැකි විය. තරගයේ 8වන මිනිත්තුවේදී වේගවත් ධාවනයක නිරත වෙමින් කොළඹ කණ්ඩායමේ පසුපෙළ විනිවිද ගිය රීසා රෆයිඩීන් දැකුම්කලු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිළිණ විජේසිංහට නොහැකි විය. (පිට පළාත් 5 – 0 කොළඹ)

​සුමංගල හා ​කිංග්ස්වුඩ් ​පලඟ ශූරතාවය අරඹන්නට ​සූ​දානම්

වෙහෙසකාරී සති 5කින් පසු පාසල් රග්බි ලීගය …….

තම ඉදිරිපෙළ සහ පසුපෙළ සුසංයෝගය භාවිතා කරමින් තරගයේ ග්‍රහණය තමන් සතුකර ගැනීමට කොළඹ ක්‍රීඩකයින් කොතෙක් උත්සාහ කළද පිට පළාත් කණ්ඩායමේ ආරක්ෂණය හමුවේ ‘ගඟට කැපූ ඉණි මෙන්’ එම සියලු උත්සාහයන් අසාර්ථක විය. තමන්ගේ වේගය මනා ලෙස උපයෝගී කරමින් පිට පළාත් ඉදිරිපෙළට මුවා වී ඉදිරියට ගමන් කල රොෂාන් වීරරත්න වටිනා උත්සාහක දිනුමක් වාර්තා කරමින් කණ්ඩායමේ ලකුණු තත්වය ලකුණු 5කින් ඉහළ දැමූ අතර එයට තවත් ලකුණු 2ක් එක් කරමින් ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සැමුවෙල් මදුවන්තට හැකිවිය. (පිට පළාත් 12 – 00 කොළඹ)

එයින් අනතුරුව කොළඹ ක්‍රීඩකයින් වෙත මහත් පීඩනයක් එල්ල කරමින් තමන්ගේ ග්‍රහණය තව තවත් තර කළ පිට පළාත් ක්‍රීඩකයින් කොළඹ ක්‍රීඩකයින්ට කිසිඳු අවස්ථාවක් ලබා නොදෙමින් පන්දුව තමන් අතම තබාගෙන ක්‍රීඩා කිරීමට වග බලා ගත්තේය. කොළඹ ආරක්ෂක බැමි නොතකමින් ඉදිරියටම ඇදුනු කවිඳු පෙරේරා අනගි උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එයට මනා ලෙස සහය දුන් තිළිණ විජේසිංහ ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (පිට පළාත් 19 – 00 කොළඹ)

ප්‍රථම අර්ධය – පිට පළාත් කණ්ඩායම 19 – 00 කොළඹ කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භ වූ පසු තරගයේ වෙනසක් සිදු කරමින් කොළඹ ක්‍රීඩකයින් තරගයේ සුක්කානම අතට ගත් අකාරයක් දක්නට ලැබුණි. එහෙත් පන්දුව තමන් සතුව තබා ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ ඔවුන්ගේම අතපසුවීම් නිසාය. එහෙත් තම උත්සාහය අත් නොහළ ප්‍රොප් ක්‍රීඩක ප්‍රසාද් මදුසංක Line Out අවස්ථාවකින් ප්‍රයෝජන ගනිමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ කොළඹ ලකුණු පුවරුව ආරම්භ කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට රීසා මුබාරක්ට හැකි විය.  (පිට පළාත් 19 – 07 කොළඹ)

තරගයේ 68වන විනාඩියේදී ප්‍රසාද් මදුසංක වාර්තා කළ උත්සාහක දිනුමට සමාන උත්සාහක දිනුමක් වාර්තා කළ පිට පළාත් කණ්ඩායමේ නුවන් පෙරේරා තවත් ලකුණු 5ක් එක්‌ කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය ශක්තිමත් කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔහුට නොහැකි විය. (පිට පළාත් 24 – 07 කොළඹ)

සාන්තුවරයන් ඉසිපතන, වෙස්ලි, විද්‍යා සමඟ දෙවැනි වටය අරඹයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ……

තරගය ක්‍රීඩා භූමියේ අන්ත දෙකටම මැදිවී දෙපැත්තටම දෝලනය වන ආකාරයක් දක්නට ලැබුණි. පිට පළාත් ක්‍රීඩකයින් පන්දුව හොඳින් ග්‍රහණයට ගෙන ඒ තුළින් කොළඹ කණ්ඩායම් අන්තයට පැමිණෙන විට ඔවුන් නැවතත් හරවා යැවීමට කොළඹ ක්‍රීඩකයින් පන්දුවට පා පහර දෙමින් පන්දුව ගුවන් ගත කරමින් පිට පළාත් ක්‍රීඩකයින් මෙල්ල කිරීමට උත්සාහ කරනු දක්නට ලැබිණි. තරගයේ 72වන මිනිත්තුවේදී පන්දුව තමන් සතු කර ගනිමින් වේගවත් ධාවනයක නිරතවූ සචිත් සිල්වා කොළඹ කණ්ඩායම වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එයත් සමඟින් තරගය අවසන් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

අවසන් ලකුණු තත්වය –  පිට පළාත් කණ්ඩායම 24 (4T, 2C)  – 12 (2T, 1C) කොළඹ කණ්ඩායම

ThePapare.com තරගයේ වීරයා – තිළිණ බණ්ඩාර (පිට පළාත් කණ්ඩායම)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:  

  • පිට පළාත් කණ්ඩායම: රීසා රෆයිඩීන් 1T, රොෂාන් වීරරත්න 1T, කවිඳු පෙරේරා 1T, නුවන් පෙරේරා 1T, තිළිණ විජේසිංහ 1C, සැමුවෙල් මදුවන්තට 1C
  • කොළඹ කණ්ඩායම: ප්‍රසාද් මදුසංක 1T, සචිත් සිල්වා 1T, රීසා මුබාරක් 1C  


රග්බි පුවත්, සජීව තරග විකාශයන්, තරග වාර්තා සහ ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<