ස්ලිම්ලයින්, කෙස් රොදක ඉඩකින් ශූරයන් වෙයි

355

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග අද (29) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී අවසන් විය. එහි දී 17 වැනි වතාවටත් ක්ලිෆර්ඩ් පිරිමි ශූරතාවය දිනා ගැනීමට MAS ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් වූයේ නැවතත් විවාදාත්මක තත්වයන් යටතේයි. කෙසේ වෙතත් කාන්තා අංශයේ දී MAS යුනිචෙලා ක්‍රීඩිකාවන් පැහැදිළිව ශූරතාවය දිනාගත්තේය.

යුද හමුදා සහ ‘MAS’ කණ්ඩායම්වලින් කැපී පෙනෙන දස්කම්

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය ඊයේ (28) කොළඹ රාජකීය විද්‍යාලයීය ‘MAS’ බොක්සිං කවයේ දී නිමාව දුටුවේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වටවල…

ඉතිහාසය තුළ මෙතෙක් 35 වතාවක් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලිය දිනා ඇති යුධ හමුදා ක්‍රීඩා සමාජය පිරිමි අංශයේ දී සහ කාන්තා අංශයේ දී ස්ලිම්ලයින් ක්‍රීඩකයින්ට සහ යුනිචෙලා ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වූවත් තරගාවලිය ශූරයන්ට සහ ශූරියන්ට වාසිදායක අයුරින් නිමා විය.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු සම්මාන ලැබුවාය. ඇය අද  කි.ග්‍රෑම් 51 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තියෙන් ක්‍රීඩා කළ අවසන් මහා තරගය නරඹන විටත් පැහැදිලි වූ කරුණ නම් ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කරළියේ දී ඇගේ මට්ටමට එන්නට නම් අන් ක්‍රීඩිකාවන් තවතවත් උත්සාහ කළ යුතු බවයි. කෙසේ වෙතත් තෙවැනි වටයේ දී ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ප්‍රියදර්ශනී උත්සාහයෙන් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි. දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ප්‍රියදර්ශනී සම්මාන ලැබීය.

දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ N.M. හෙට්ටිආරච්චි සම්මාන ලැබුවේය. කි. ග්‍රෑම් 69 වෙල්ටර් වෙයිට් බරපන්තියේ මූලික තරගවල දී ප්‍රතිවාදියෙකුගේ හිසක් වැදීම නිසා ඔහුගේ වම් ඇස යම්තාක් දුරකට වැසී තිබුනත් අවසන් පූර්ව සහ අවසන් මහා තරගවලට ඔහු සහභාගී විය. කෙසේ වෙතත් ඔහු හොඳින් ක්‍රීඩා කළ ද, අවසන් මහා තරගයේ දී ඔහුගේ තීරණය ලැබෙන විට ප්‍රේක්ෂකාගාරය නොසන්සුන් වූයේ අවසන් මහා තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. මධුරංග විසින් ඔහුට දැඩි අභියෝගයක් එල්ල වූ නිසයි. දක්ෂතම පරාජිතයාගේ සම්මානය යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඩී. මධුරංග හට හිමිවිය.

දිනය තුළ පැවති අනෙකුත් අවසන් මහා තරගවල ප්‍රතිඵල මෙසේයි.

 කාන්තා අංශය 

කි. ග්‍රෑම් 75 – මිඩ්ල් වෙයිට්

  • ශූරිය – එස්. චන්ද්‍රසේකර (යුනිචෙලා)
  • අනුශූරිය – එම්. බණ්ඩාර (පොලිස් ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 64 – ලයිට් වෙල්ටර් වෙයිට්

  • ශූරිය – පී. අතපත්තු (යුනිචෙලා)
  • අනුශූරිය – හේෂානි පෙරේරා (MAS ලීනියා)

කි. ග්‍රෑම් 57 – ෆෙදර් වෙයිට්

  • ශූරිය – කේෂානි හංසිකා (යුනිචෙලා)
  • අනුශූරිය – එල්.ජී. චන්ද්‍රිකා (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 81 – ලයිට් හෙවිවෙයිට්

  • ශූරිය – එච්. ජයදේව (යුනිචෙලා)
  • අනුශූරිය – එම්. ජයවර්ධන (පොලිස් ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 69 – වෙල්ටර් වෙයිට්

  • ශූරිය – පී. කේ. සුමුදු (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එල්. උදයන්ගනී (යුනිචෙලා)

කි. ග්‍රෑම් 60 – ලයිට් වෙයිට්

  • ශූරිය – ක්‍රිෂ්මි ධර්මතිලක (යුනිචෙලා)
  • අනුශූරිය – කේ. තිවංකා (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)  

කි. ග්‍රෑම් 54 – බැන්ටම් වෙයිට්

  • ශූරිය – එස්. කුරේ (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එස්. තල්ගස්පිටිය (යුනිචෙලා)

* මෙම තරගයේ තීරණය ලැබෙන විට ද ප්‍රේක්ෂකාගාරය නොසන්සුන් විය. තල්ගස්පිටිය ක්‍රීඩිකාව ඉතා හොඳින් ක්‍රීඩා කිරීම ඊට හේතුවයි.

කි. ග්‍රෑම් 48 – ලයිට් ෆ්ලයි වෙයිට්

  • ශූරිය – කේ. නිල්මිණි (යුනිචෙලා)
  • අනුශූරිය – අනුත්තරා රණසිංහ (MAS තුරුලිය)

 පිරිමි අංශය 

කි. ග්‍රෑම් 91 + සුපර් හෙවිවෙයිට්

  • ශූරයා – බී. රත්නදිවාකර (ස්ලිම්ලයින්)
  • අනුශූරයා – ඊ. තිලකරත්න (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 81 – ලයිට් හෙවිවෙයිට්

  • ශූරයා – එන්. ප්‍රනාන්දු (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – ආර්. සඳකැලුම් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 60 – ලයිට් වෙයිට්

  • ශූරයා – බී. ජයම්පති (ස්ලිම්ලයින්)
  • අනුශූරයා – ජේ. විමුක්ති කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 52 – ෆ්ලයි වෙයිට්

  • ශූරයා – ඉෂාන් බණ්ඩාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – ඊ. මධුෂාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 91 – හෙවිවෙයිට්

  • ශූරයා – එස්. සම්පත් (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – කේ. කරුණානායක (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 75 – මිඩ්ල්වෙයිට්

  • ශූරයා – එස්. ජීවන්ත (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එන්. නිකලස් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 64 – ලයිට් වෙල්ටර් වෙයිට්

  • ශූරයා – දිනිඳු සපරමාදු (ස්ලිම්ලයින්)
  • අනුශූරයා – බී. රාජකරුණා (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

* මෙම තරගයේ තීරණය ලැබීමෙන් අනතුරුව නොකඩවා මිනිත්තු 10ක පමණ හූ හඬක් ඇසිණි. ප්‍රේක්ෂකාගාරයේ මතය වූයේ දිනිඳු ඔහුගේ සුපුරුදු ක්‍රීඩා දස්කම් අතර නොසිටි බවයි.

කි. ග්‍රෑම් 56 – බැන්ටම් වෙයිට්

  • ශූරයා – ටී. වීරක්කොඩි (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – සඳරුවන් කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කි. ග්‍රෑම් 49 – ලයිට් ෆ්ලයිවෙයිට්

  • ශූරයා – අයි. පෙරේරා (ස්ලිම්ලයින්)
  • අනුශූරයා – ජේ. සංජය (ස්ලිම්ලයින්)

දින පහක් පුරා පැවති තරගාවලිය අවසන් වූයේ එසේයි. ජාත්‍යන්තර බොක්සිං තරග කිහිපයක් ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බව අසන්නට ලැබෙන බැවින් ඒවයේ පුවත් ද ලබා ගන්නට ThePapare.com සමඟින් දිනපතා එක්වන්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<