ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් තරගයක පළමු විනිසුරුවරිය ඇයයි

490

ඕමානය සහ නැමීබියාව අතර අද (27) දින පැවැත්වෙන දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය විනිසුරු කරනු ලබන ඕස්ට්‍රේලියානු ජාතික ක්ලෙයාර් පොලෝසැක්, ජාත්‍යන්තර පිරිමි එක්දින ක්‍රිකට් තරගයක් විනිශ්චය කරනු ලබන පළමු කාන්තාව ලෙස ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත.

>>එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සංවිධානය කරනු ලබන මෙම දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ඕමානය සහ නැමීබියාව යන කණ්ඩායම් දෙකටම ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබී ඇති නිසා ක්ලෙයාර් පොලෝසැක් හට මෙම ඓතිහාසික අවස්ථාව හිමිවිය.

මේ වනවිට වයස අවුරුදු 31ක් වන ක්ලෙයාර් පොලෝසැක් ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරග 15කට සිය විනිශ්චය ලබාදී ඇත. ඇය පළමු වතාවට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගයක විනිසුරුවරියක් ලෙස කටයුතු කරන්නේ 2016 වසරේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැති ක්‍රිකට් තරගයකදීය.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තරග ඉසව් අතරින් පසුගිය වසරේ පැවති ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක (ඉන්දියාව සහ එංගලන්තය අතර) සහ ඊට පෙර 2017 වසරේ පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තරග 4කදී ද තරග විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට ද ඇය සමත්වී ඇත.

එපමණක් නොව ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි වලදී සහ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි වලදී පවා තරග විනිසුරුවරියක් ලෙස සිය දායකත්වය දක්වා ඇති ඇය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර පිරිමි එක්දින ක්‍රිකට් තරගයක් විනිශ්චය කරනු ලබන පළමු කාන්තාව බවට පත්වීමට තමාට හැකියාව උදාවන බව දැනගැනීමෙන් පසුව මාධ්‍ය අමතමින් මෙසේ පවසා ඇත.

“මං මේ සුබ ආරංචිය දැනගත්තු ගමන් ගොඩාක් සතුටට පත්වුණා. ක්‍රිකට් තරග විනිශ්චය කරනවා කියන්නේ තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කණ්ඩායමක් ලෙස එකතු වෙලා කරන්න ඕනේ දෙයක් ලෙසයි මං නම් දකින්නේ. ඉතින් මගෙත් එක්ක හිටපු අනෙක් තරග විනිසුරුවරුන්ට සහ විනිසුරුවරියටත් ස්තූති කරන්න මං මේක අවස්ථාවක් කරගන්න කැමතියි.”

>>ලසිත් මාලිංගගෙන් සුපිරි කඩුලු දඩයමක්

“මාත් මුලින්ම තරග විනිසුරුවරියක් ලෙස කරලියට එන්න ටිකක් බයෙන් හිටියේ. මොකද මේකේ වැඩි ආධිපත්‍යය තියෙන්නේ පිරිමි අයට නිසා. නමුත් කාලයක් මං මේ අය එක්ක වැඩ කරනකොට මට තේරුණා මෙතන තමාගේ රඳා පැවතීම තියෙන්නේ කණ්ඩායමක් ලෙස වැඩ කරන්න පුලුවන්නම් විතරයි කියලා. ඉතින් මං කියන්නේ අපේ තරුණියන්ට මේ තැනට එන්න කොහෙත්ම බයවෙන්න එපා කියලයි. මෙතන කිසිම ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ.” යැයි පොලෝසැක් වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක සහ තරග විනිසුරු අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් වන ඇඩ්රියන් ග්රිෆිත් මහතා පැවසුවේ ඇය මේ ලබාගත් ජයග්‍රහණය පිටුපස තිබෙන ඇයගේ කැපවීම, ඉවසීම සහ නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව මනාව ලොවට පෙන්නුම් කළ බවයි. එසේම ඇයට ඔහුගේ සුබ පැතුම් එක්කිරීමට ද ග්රිෆිත්  මහතා අමතක නොකළේය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<