ජාවා ලේන් හමුවේ කුරේ සමාජයට දැවැන්ත පරාජයක්

227

මොහොමඩ් අබ්දුල්ලාගේ ගෝල ත්‍රිත්වයත් සමඟින් ගෝල 06-01ක් ලෙස කුරේ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ජාවා ලේන් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අද (19) පැවති සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ එක් තරගයක් අතරතුර දීයි. තරගය සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය.

නිදහස් පහරකින් ජයග්‍රහණය සෝන්ඩර්ස් සමාජයට

සෝන්ඩර්ස් නායක ක්‍රිෂාන්ත අබේසේකර සාර්ථක කර ගත් නිදහස් පහරත් සමඟින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූයේ ගෝල 01-00ක් වශයෙනි…

පසුගිය සතියේ රිනවුන් ක්‍රීඩා සමාජය ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් ජයග්‍රාහි මනසකින් යුතුව අද තරගයට පිවිසි නමුත් කුරේ ක්‍රීඩා සමාජය අද තරග බිමට පිවිසියේ ප්‍රථම වතාවටයි.

ජාවා ලේන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ ඉමානුඑල් උචෙනා වාර්තා කළ දර්ශනීය ගෝලයත් සමඟයි. තරගයේ 17 වැනි මිනිත්තුවේ දී එම ගෝලය සාර්ථක වූ අතර ඉන්පසු ප්‍රථම අර්ධයේ නිමාවට ආසන්න වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා වූයේ නැත.

ලකුණු පරතරය තුනක් දක්වා වර්ධනය කර ගනිමින් ප්‍රථම අර්ධයේ නිමාව සටහන් කර ගන්නට ජාවා ලේන් ක්‍රීඩකයෝ සමත් විය. 42 වැනි මිනිත්තුවේ දී එක් ගෝලයක් සාර්ථක වූයේ මොහොමඩ් අලීම් විසින් එල්ල කල පා පහරෙනි. අනෙක් පන්දුව වාර්තා වූයේ තරගයේ ආබාධ නිසාවෙන් ලද අතිරේක කාලයේ දීයි. එම ගෝලයට හිමිකම් කීවේ මොහොමඩ් අබ්දුල්ලා ය.

ප්‍රථම අර්ධය: ජාවා ලේන් ක්‍රීඩා සමාජය 03 – 00 කුරේ ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයේ දී ඉක්මනින්ම ගෝලයක් වාර්තා කරන්නට කුරේ සමාජ ක්‍රීඩක ඒ. එච්. එන්. ජයවර්ධනට අවස්ථාව හිමි වූවත්, එය සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කර ගන්නට ඔහුට නොහැකි විය. කුරේ සමාජය තවත් අසීරු තත්වයකට ඇද දමමින් ප්‍රතිවාදීන්ගේ සිව්වැනි ගෝලය ඊට මිනිත්තුවකට පසුව සාර්ථක විය. එම ගෝලය අබ්දුල්ලාගේ දෙවැනි ගෝලය විය.

තරගයේ ලකුණක් ලබා ගැනීමට දැඩිව අදිටන් කර ගත් කුරේ ක්‍රීඩා සමාජයේ නිලංක ජයවර්ධන, දම්මික සෙනරත් විසින් යොමු කල පන්දුව සාර්ථකව ගෝලය තුලට යොමු කරමින් ලකුණු පරතරය එකකින් පහතට දමා ගන්නා ලදි.

තරගයේ අවස්ථා කිහිපයක දී ගෝල රාමුව විසින් ගෝල වාර්තා කිරීම් කිහිපයක් සීමා කල අතර එහි දී මොහොමඩ් ශබීර් විසින් එල්ල කල පහර දෙකක්, ලක්මාල් පෙරේරාගේ කෝන අවස්ථාවක් සහ ජනක චාමින්ද විසින් යාර 35ක සිට එල්ල කල ප්‍රබල පහරක් ඊට ඇතුළත් වේ.

කෙසේ වෙතත් තරගයේ ලබා දුන් දඬුවම් පහරක් සහය විනිසුරු සමඟින් නැවත පිරික්සූ ප්‍රධාන තරග තීරක හිරාන් උදයකාන්ත එම දඬුවම් පහරේ තීරණය වෙනස් කළේ නැත. මෙවර ගෝල රාමුව අතරින් දක්ෂ ලෙස පන්දු යවමින් ජාවා ලේන් ලකුණු පුවරුව 5ක් දක්වා වර්ධනය කරන්නට ශාබීර් සමත් විය.

තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට අබ්දුල්ලා සමත් වූයේ තරගයේ 90 වැනි මිනිත්තුවේ දීය. ඒත් සමඟින් තරගය නිමාවට පත් විය.

අවසන් ලකුණු තත්වය: ජාවා ලේන් ක්‍රීඩා සමාජය 06 – 01 කුරේ ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් අබ්දුල්ලා

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය: ඉමානුඑල් උචෙනා 17’, මොහොමඩ් අලීම් 42’, මොහොමඩ් අබ්දුල්ලා 45+2’, 47’, 90’ මොහොමඩ් ශාබීර් 85
  • කුරේ ක්‍රීඩා සමාජය: නිලන්ත ජයවීර 50’

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න පාපන්දු ක්‍රීඩා පිටුවට