කොළඹ සහ ජාවා ලේන් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය

727
City League football

සතියේ පාපන්දු පිටිය උණුසුම් කරමින් තවත් පාපන්දු තරග දෙකක් මේ සති අන්තයේ දී පැවැත්විය. එක් තරගයක දී කොළඹ පාපන්දු සමාජය හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජය ලබන්නට රිනවුන් කණ්ඩායමට සිදු වූ අතර අනෙක් තරගයේ දී ජාවා ලේන් කණ්ඩායම විසින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරාජය ලැබුවේ ගෝල 2-0ක් ලෙසයි.

මතභේද මැද රිනවුන් කණ්ඩායම කොළඹින් පරාජය වෙයි

2016 ඩයලොග් ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරයන් තේරීමේ සටනට සහභාගී වූ කොළඹ පාපන්දු සමාජයත්, රිනවුන් පාපන්දු සමාජයත් මේ සති අන්තයේ දී යළි තරග වැදුණේ නගර සභා ක්‍රීඩාංගණයේ දී යි. ඩයලොග් ශුරයින්ගේ කුසලානය ජය ගත් කොළඹ පාපන්දු සමාජය විසින් රිනවුන් පාපන්දු කණ්ඩායමට යළිත් වරක් පරාජය වන්නට මෙහි දී සිදු විය.

සතුටුදායක ප්‍රේක්ෂක ජනකායක් මධ්‍යයේ තරගය පැවැත්වුණේ කොළඹ පාපන්දු සමාජයට, ‘තමන් ශ්‍රී ලංකා පාපන්දු පිටියේ දැවැන්තයන්’ බව සනාථ කිරීමට යළි අවස්ථාවක් ලබා දෙමිනි.

තරගය ආරම්භයේ දී ම ලද නිදහස් පහරක් සර්වාන් ජොහාර් විසින් හොඳින් එල්ල කළ අතර ප්‍රතිවාදී ක්‍රීඩක උස්මාන් හමීඩ් හට එය එකවර නවතා ගන්නට නොහැකිවීම නිසා, නාගුර් මීරා ඉදිරියට පැමිණ පන්දුව හිසින් ගෝලය වෙත එල්ල කළේය. ඉන් මිනිත්තු කිහිපයකට පසු රිනවුන් කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූයේ මොහොමඩ් ෆසාල්ගෙන් දඬුවම් සීමාව ඇතුලත දී සිදු වූ වරදක් හේතුවෙනි. නමුත් සහය විනිසුරුවන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය නිදහස් පහරක් බවට පරිවර්තනය කරන්නට විනිසුරු වීරක්කොඩි තීරණය කළේය.

එහි දී ඇතිවූ මතභේදාත්මක තත්වය මත දී රිනවුන් පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා සහ ක්‍රීඩකයන් විසින් විනිසුරුට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල විය. කොළඹ පාපන්දු සමාජයේ ගෝල රකින්නා වන මොහොමඩ් ඉම්රාන් ප්‍රතිවාදී ඉදිරි පෙළ ක්‍රීඩක ජොබ් මයිකල්ට කළ අභියෝගය වෙනුවෙන් රතු කාඩ්පතක් නියම විය යුතු බව පෙනුණත්, විනිසුරු විසින් එය කහ කාඩ්පතකට සීමා කිරීම නිසා මතභේදාත්මක තත්වය දුරදිග ගියේය.

ලකුණු සම කරමින් රිනවුන් ක්‍රීඩක මොහොමඩ් මුජීබ් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ පිටියෙන් පිටත ජය ඝෝෂා නැගෙන්නට විය. ඊට ගෝලයකින් පිළිතුරු දෙන්නට නාගුර් මීරා ගත් උත්සාහය වළකාලන්නට උස්මාන් හමීඩ් සමත් විය. කෙසේ නමුත් දක්ෂ ලෙස අවස්ථා නිර්මාණය කළ සර්වාන් ජොහාර් විසින් තවත් වරක දී ලබා දුන් පන්දුවක් හරිහැටි පාලනය කර ගන්නට ප්‍රතිවාදී ආරක්ෂකයන් අසමත් වීම නිසා අෆීස් ඔලායෙමි නිදහසේ ගෝලයක් වාර්තා කළේය.

පළමු අර්ධය – කොළඹ පාපන්දු සමාජය 2-1 රිනවුන් පාපන්දු සමාජය

පළමු අර්ධයේ මෙන් තරගකාරී සහ ගුණාත්මක ක්‍රීඩා රටාවක් දෙපිලෙන්ම දිස් නොවිණි. ඒ පිළිබඳ කොළඹ පුහුණුකරු මොහොමඩ් රූමි සිය අප්‍රසාදය පලකලේ පිටියෙන් පිටත සිටයි. රිනවුන් කණ්ඩායමට ද වටිනා අවස්ථාවන් හතරක් මඟ හැරුණු අතර ඉන් දෙකක්ම තරගයේ අගභාගයේ දී මඟ හැරුණේ මොහොමඩ් ඉම්රාන්ගේ ගෝල රැකීමේ දක්ෂතාවය ද ප්‍රදර්ශනය කෙරෙමිනි.

සම්පූර්ණ කාලය – කොළඹ පාපන්දු සමාජය 2-1 රිනවුන් පාපන්දු සමාජය

“කණ්ඩායම ක්‍රීඩා කළ විදිය ගැන මට හරි සතුටුයි, මොකද අපි එෆ්. ඒ. කුසලානයට සූදානම් වෙන්න වුවමනා නිසා අපේ තීරණාත්මක විදේශික ක්‍රීඩක මොමාස් යාපෝ මේ තරගයට ඇතුළත් කළේ නැහැ. දැන් රිනවුන් කණ්ඩායම පරාජය කරලා අප විශ්වාසය ගොඩ නගා ගත්තා.” කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු මොහොමඩ් රූමි එසේ පැවසුවේය.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

  • කොළඹ – නාගුර් මීරා 6′, අෆීස් ඔලායෙමි 44′.
  • රිනවුන් – මොහොමඩ් මුජීබ් 18′.

කහ කාඩ්පත්.

  • කොළඹ – නාගුර් මීරා 8′, මොහොමඩ් ඉම්රාන් 16′, ඩිලාන් කෞශල්‍ය 26′, නිරාන් කනිෂ්ක 69′, රව්මි මොහිදීන් 77′.
  • රිනවුන් – ජොබ් මයිකල් 15′, ෆාසුල් රහුමාන් 61′.

රිස්කාන්ගේ ප්‍රහාරය මොරගස්මුල්ල කළඹයි

සිටි පාපන්දු ලීගයේ සභාපති කුසලාන අවසන් මහා තරගයේ දී ජාවා ලේන් කණ්ඩායම සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය තරග වැදුණු අතර එහි දී ගෝල 2-0ක් ලෙස ජය ගත්තේ ජාවා ලේන් කණ්ඩායමයි.

තරගය පැවැත්වුණු නාගරික ක්‍රීඩාංගණය නරඹන්නන්ගෙන් පිරී පැවතිණි. ශක්තිමත් ආරක්ෂක පෙළකින් සමන්විත වූ ජාවා ලේන් ක්‍රීඩකයන් සාර්ථකව ප්‍රතිවාදීන් මෙල්ල කර ගනු තරගය පුරාවටම දැකිය හැකි විය.

තරගයේ 14 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් නජිබ්ඩීන් විසින් පිටියේ දකුණු අන්තයෙන් සාර්ථකව ඉදිරියට ගෙන ආ පන්දුව හරස් පහරකින් මොහොමඩ් රිස්කාන් හට ලබා දුන් අතර එය ගෝලය තුළට යවන්නට ඔහුට හැකි විය. පිටියේ මැද පෙළ සිය ආධිපත්‍යට යටත් කොටගත් රිස්කාන් හොඳින් පන්දු පාලනය කරනු දැකිය හැකි විය.

21 වැනි මිනිත්තුවේ දී ද ක්‍රියාත්මක වූ රිස්කාන්, මොහොමඩ් අලීම් විසින් ලබා දුන් පන්දුව සාර්ථකව ප්‍රතිවාදී ගෝලය තුළ පතිත කළේය. මොරගස්මුල්ල කණ්ඩායම වෙනුවෙන් එම්. සී. ගුණසේකර සිදු කළ උත්සාහයක් අතරතුර දී පන්දුව ගෝලයේ හරස් දණ්ඩේ වැදී පිටතට විසි විය.

පළමු අර්ධය – ජාවා ලේන් 2-0 මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

රිස්කාන්ගේ සුපිරි දස්කම් දෙවන අර්ධය තුළ දී ද ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ අතර ගෝල ත්‍රිත්වයක් සඳහා ඔහුට ලැබුණු අවස්ථාවක් මඟ හැරී ගියේ පන්දුව ගෝලයෙන් පිටතට එල්ල වූ බැවිනි.

එක ගෝලයක් හෝ ලබා ගැනීමේ හොඳ අවස්ථාවක් මොරගස්මුල්ල කණ්ඩායමට හිමිවුවත් ධම්මික සෙනරත් ඉතා දක්ෂ ලෙස ජාවා ලේන් ගෝලය ආරක්ෂා කළේය.

සම්පූර්ණ කාලය – ජාවා ලේන් 2-0 මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් රිස්කාන් (ජාවා ලේන්).

“ප්‍රතිඵලය ගැන හරිම සතුටුයි. ප්‍රතිවාදීන්ගෙන් හොඳ සටනක් ලබුණත් අපට ලැබුණු අවස්ථා අප හොඳින් පාවිච්චි කරලා ගෝල 2ක් ලබා ගත්තා. ඒත් ඒක 4ක් 5ක් වුණත් වෙන්න තිබුණා. ජයග්‍රහණය තමයි අපේ හිතේ තිබුණේ. අපි ඒක සාර්ථක කර ගත්තා.”

ජාවා ලේන් පුහුණුකරු මොහොමඩ් නසාර්, තරගයෙන් අනතුරුව එසේ පැවසීය.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ පුහුණුකරු රොහාන් වික්‍රමරත්න, තරගයෙන් අනතුරුව පැවසුවේ,

“අපි අලුත් කණ්ඩායමක් වගේම අත්දැකීමුත් අඩුයි. අපේ නිත්‍ය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් අපට අහිමි වුනා මේ තරගය වෙනුවෙන්. හැම අංශයකින්ම ප්‍රතිවාදීන් අපිව අභිබවා ගියා. මේ වසරේ තරගාවලිය හොඳ අත්දැකීමක් වේවි යැයි බලා ඉන්නවා.”

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

  • ජාවා ලේන් – මොහොමඩ් රිස්කාන් 14′, 21′.

කහා කාඩ්පත්

  • ජාවා ලේන් – චාමර ද සිල්වා 57′, ෆාහිම් නිසාම්ඩීන් 77′, මොහොමඩ් රිස්කාන් 86′.
  • මොරගස්මුල්ල – දිනිඳු කුමාර 24′, සම්පත් ඩයස් 63′.    

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට