නම කැත කළ අයගෙන් ගේල්ට ඇමරිකානු ඩොලර් 220,000ක්

2408

බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ට එරෙහිව නොයෙකුත් විනය චෝදනා එල්ල වූ වසරක් ලෙස 2017 වසර සටහන් කළ හැකිය. එහෙත් ඉන් එක් චෝදනාවක අසත්‍යභාවය නිසා හානි වූ කීර්තිනාමය වෙනුවෙන් ගේල් හට වන්දි ලැබී තිබේ.

2015 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සම්භාහකවරියක වශයෙන් සේවය කළ ලියෑන් රසල් මෙනෙවියට ගේල් විසින් තම රහස් ප්‍රදේශය පෙන්වූ බවට 2016 වසරේ දී ගේල්ට චෝදනා එල්ල විය. මෙය මුලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයක් වන Fairfax Media විසින් හෙළි කළේ 2016 ජනවාරි මාසයේදීයි.

කෙසේ නමුත් 2017 වසරේ දී ගේල් විසින් අදාළ මාධ්‍ය සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයක නඩුවක් පවරනු ලැබිණි. උසාවියෙන් වාර්තා වූ පරිදි, ඔහු ඇඳුම් කාමරයේ දී තමන් හැඳ සිටි තුවාය පහත් කොට “ඔයා මේකද හොයන්නේ?” යැයි අසා ඇතැයි ලියෑන් රසල් මෙනෙවිය ප්‍රකාශ කොට තිබිණි*. * – ABC NEWS (2017-11-25)

ලියෑන් රසල් මෙනෙවියට අනුව අදාළ සිද්ධිය සිදු වූ අවස්ථාවේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ඩ්වේන් ස්මිත් ද කාමරය තුළ සිට ඇත. එහෙත් කරුණු සලකා බැලීමේ දී ඔප්පු වී ඇත්තේ Fairfax මාධ්‍ය වාර්තාකරණය සාවද්‍ය එකක් බවයි.

වසරකටත් වැඩි කාලයක් ඉක්මයද්දී නඩු තීරණය ලබා දෙමින් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලුසී මැකලම් මහත්මිය අදාළ මාධ්‍ය වාර්තාවන්ගේ අසත්‍යභාවය තහවුරු කළාය. Fairfax මාධ්‍යයට තමන් පළකළ වාර්තාවන්ගේ සත්‍යභාවය තහවුරු කරන්නට නොහැකි වීම නිසා ක්‍රිස් ගේල් හට ඕස්ට්‍රේලියානු ඩොලර් 300,000ක වන්දියක් (ඇ.ඩො. 220,000) ගෙවන ලෙස ඇය Fairfax Media වෙත නියෝග කොට ඇත.

ක්‍රිස් ගේල් නිතැතින්ම විනෝදකාමී පුද්ගලයෙකු වන නිසා ඇතැම් ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද මෙවැනි චෝදනා වලින් ඔහුව මනින්නට පෙළඹේ. වරෙක ඔහු රූපවාහිනී මාධ්‍යවේදිනියකට ප්‍රසිද්ධ මාධ්‍යයේ දී “Don’t blush baby” (රතුවෙන්න එපා බබෝ) යනුවෙන් පැවසීම මුළුමහත් කාන්තා පරපුරටම කළ නිගාවක් ලෙස කාන්තාවාදීන් විසින් සලකන්නට වූ අතර ඔහුව සමාජ ජාලාවල දැඩි ප්‍රහාරයට ලක්විය.

මාධ්‍ය වාර්තාකරණයේ දී තම සීමා මායිම් නොදැන හතර අතට ප්‍රචාර පතුරුවන සෑම සමාගමකටම ලැබුණු පිළිතුරක් ලෙස මෙය සැලකිය හැකිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<