2006 වර්ෂයේ පැවති රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය, රාජකීයයන් වෙත පවරා දුන් කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් සිය ‘මහා ක්‍රිකට් තරග’ දිවිය ඇරඹූ ඔහු, 2008 වර්ෂයේ දී කණ්ඩායමේ උපනායකයා මෙන්ම, ප්‍රධාන වේග පන්දු යවන්නා වශයෙන් ද ක්‍රීඩා කළේය. ඉන් එක් නිල් මහා සටනක දී ඔහු ලකුණු 138ක් ලබාගෙන කඩුලු 6ක්ද දවා ගත්තේ “මහා තරගයේ වීරයා” යන ගෞරවය ද තමා සතු කර ගනිමිනි.

128 වැනි සටනේ සිට 130 වැනි නිල් මහා සටන දක්වා රාජකීය විද්‍යාලයේ ප්‍රධාන වේග පන්දු යවන්නා වූ ඔහු පිත්තෙන් ද දස්කම් දක්වමින් පළමු පෙල තරග 8කදී අර්ධ ශතක 4ක් ද වාර්තා කර ඇති අතර, මේ වන විට රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර ද හොබවයි.IMG_0676

“මේක ලෝකයේ පවත්වන පැරණිතම මහා ක්‍රිකට් තරගය. එය ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ලෝකයෙන්ම කිහිප දෙනෙකුට පමණයි. ඒ වගේ තරගයක් ක්‍රීඩා කරලා, ශතකයකුත් වාර්තා කරලා, දිනන්නත් ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.” දීප්තිමත් රාජකීය පුත්‍රයෙකුගේ අභිමානය ඔහුගේ මුවින් පිට වූයේ එසේය.

ඔහුට “නිල් මහා සටන” ගැන ඇත්තේ මෙවන් අදහසක්,

“ඒක ක්‍රීඩාවේ සහෝදරත්වය වර්ධනය කරනවා වගේම ඉන් පිටත යාළුමිත්‍රකම් වුණත් අළුත් කරන දිනයක්.”

කුඩා ශිෂ්‍යයෙකුව සිටින අවධියේ දී පාසල් මහා ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන් ක්‍රීඩාව පිළිබඳ තම ආශාව වැඩි වූ බව ඔහු පැවසුවේය.

“පොඩි කාලේ දී මං අපේ Big Match එක බලන්න ගිහිල්ලා තියෙනවා. එතැන දී ආසාවක් ඇති වුනා මමත් කවදාහරි මගේ පාසල වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕනෙ කියලා. පාසල් කාලේ දී අපි අපේ පාසලේ ක්‍රීඩකයන් ගැන කතා කරද්දී මටත් හිතුණා මමත් ඒ වගේ වුනා නම් කියලා.”Charith Fernando

කුඩා කල ඔහු සතු වූ එම බලාපොරොත්තුව සඵල වෙමින් පාසල් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට ඔහු තේරී පත් වූයේ 2006 වර්ෂයේ දීය.

“මම මුලින්ම ක්‍රීඩා කළේ පා දඟ පන්දු යවන්නෙක් හැටියටයි. අනිත් හැමෝටම වඩා වේගයෙන් පන්දු යවන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණු නිසා මට වේග පන්දු යවන්නෙක් වෙන්න හිතුණා. 2006 අවුරුද්දේ මං ක්‍රීඩා කළේ ආරම්භක වේග පන්දු යවන්නා හැටියටයි. 2007දීත් මං ආරම්භක වේග පන්දු යවන්නා වුනා. 2008 වසරේ මට තිබුණු අත්දැකීම් එක්ක මම පිතිකරුවෙක් වශයෙනුත්, ආරම්භක වේග පන්දු යවන්නා වශයෙනුත් ක්‍රීඩා කළා.”

මහා ක්‍රිකට් තරග දිවිය තුළ දී ජයග්‍රහණයක සතුට සමරන්නට තරම් වාසනාවන්තයෙකු වූ චරිත්, තම අමතක නොවන අත්දැකීම වශයෙන් ද සඳහන් කළේ 2006 වසරේ දී රාජකීය විද්‍යාලයීය කණ්ඩායම ලබා ගත් මහා ක්‍රිකට් තරග ජයග්‍රහණයයි.

“මගේ පළවෙනි මහා ක්‍රිකට් තරගයෙන්ම ජයග්‍රහණය ලබා ගන්නට අපි සමත් වුනා. තවමත් මං ඒ ගැන මතක් කරලා සතුටු වෙනවා.” මහා ක්‍රිකට් තරගය ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ කොටසක් බැව් ඔහුගේ ඒ වචන කිහිපයෙන් ඔප්පු විය.

පාසල් ක්‍රීඩකයෙකු ඉන් ඉහල මට්ටමට ඔසවා තැබීම සඳහා මහා ක්‍රිකට් තරග විසින් ඔවුන්ට ලබා දෙන පන්නරය පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු නොවේ. අප ඒ පිළිබඳව ද ඔහුගෙන් විමසුවෙමු.

“ප්‍රේක්ෂකයන් ගොඩක් මැද, ඒ වගේම පාසලේ ශිෂ්‍යයන් බොහෝ පිරිසක් ඉදිරියේ ක්‍රීඩා කරද්දී ක්‍රීඩකයෙකුට තමන්ගේ පාසල ගැන ලොකු හැඟීමක් ඇතිවෙනවා. ඒකම තමයි කවදාහරි ඔවුන් ජාතික මට්ටමට එද්දී තමන්ගේ රට ගැනත්, ජනතාව ගැනත් ඇතිවෙන්නේ.” චරිත් පැවසීය.

[rev_slider dfcc728]

තම පාසල් කණ්ඩායම වෙනුවෙන් මහා තරග තුනක් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයෙකුට ලැබෙන විරල අවස්ථාවක්. එම විරල අවස්ථාවේ හිමිකරුවෙකු වූ චරිත් ප්‍රනාන්දු, පාසල් මහා ක්‍රිකට් තරගයෙන් පසුව තමන්ට ලැබුණු වටිනාකම් සහ තමා ඉන් උගත් දෑ ගැන සිහිපත් කළේ මෙසේය.

“හැමෝම මාව අදුර ගත්තා. මං දන්නේ නැති අය පවා මාව හඳුනා ගෙන මට කතා කළා. ඒවාට නිහතමානීව ප්‍රතිචාර දක්වන්න මම ඉගෙන ගත්තා. මොකද ඕනෑවට වඩා මාන්නයක් ඇති කර ගත් අයට සිද්ධ වෙන දේවල් මං දැකලා තියෙනවා. ඒක තමයි මං ඉගෙන ගත්ත ලොකුම දේ.”

තම පාසල වෙනුවෙන් දස්කම් දක්වන ඕනෑම නැගී එන ක්‍රීඩකයෙකුට එය මහඟු ආදර්ශයකි.Charith Fernando

අවසන් වශයෙන්, මේ වසරේ දී පැවැත්වීමට නියමිත “138 වැනි නිල් මහා සටන” ගැන ඔහුගේ බලාපොරොත්තු මොනවාද යන්නත් අප විමසා  සිටියෙමු.

“හැමෝම කැමතියි තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා නම්. ඉතින් ඒ හැඟීම මටත් තියෙනවා. ඒ වගේම අවුරුදු 138ක් පුරාවට රාජකීය – සාන්ත තෝමස් කණ්ඩායම් දෙක ක්‍රීඩා කරගෙන ආවා වගේ මේ අවුරුද්දෙදිත් කණ්ඩායම් දෙකම තම තමන්ගේ පාසල ගැන හැඟීමෙන් ක්‍රීඩා කරාවි කියලා මං බලාපොරොත්තු වෙනවා.”

සැබෑ ක්‍රීඩකයෙකුගේ ගුණාංග තවමත් තමා තුළ ගැබ්ව ඇති බව ප්‍රකට කරමින් ThePapare.com සමඟ පැවති පිළිසඳර ඔහු එලෙස අවසන් කළේය.

මේ වසරේ “නිල් මහා සටන” අභිමානවත් 138 වැනි වියට පා තබද්දී, කණ්ඩායම් දෙකටම මෙවර සටන සාර්ථක කරගන්නට ThePapare.com අපි සුබ පතන්නෙමු!

එළඹෙන මාර්තු 9, 10 සහ 11 යන දිනයන් වල දී “නිල් මහා සටන” පැවැත්වෙන අතර ඒ පිළිබඳ සියලු තතු විත්ති ThePapare.com තුළින් බලාපොරොත්තු වන්න.

  තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න