සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන ටෙස්ට් තරගය ද දින 4ක් තුළ දී අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක හා ලකුණු 53ක පරාජයක් හිමි කර දෙන්නට ඉන්දීය කණ්ඩායම අද (6) සමත් විය.

ශ්‍රී ලංකා පිළ තම මව්බිමේ දී ම අන්ත අසරණ වෙයි!

වර්තමානයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින ගැටලු සහ අභියෝග තවදුරටත් උත්සන්න කරමින් අද (06) නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට්

ඒ සමඟින් මෙම ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේ, තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ය. තරගයෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යට අදහස් දැක්වමින් පවසා සිටියේ,

“අපි පළමු ඉනිමට සාපේක්ෂව දෙවන ඉනිම තුළ හොඳින්ම පන්දුවට පහර දුන්නා, නමුත් ලකුණු 622ක් වගේ ඉලක්කයක් හඹා යන කොට ඒ එන පීඩනය සාර්ථකව මැඩපවත්වා ගැනීමට නොහැකි වුනා.”

මෙම තරගයේ දෙවන ඉනිම තුළ කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම පිතිකරණ දස්කම් මනාව උපයෝගී කර ගත් අතර, ඔවුන් දෙදෙනාම ශතක වාර්තා කර ගැනීමට සමත් විය.

“දිමුත් හා කුසල් මෙන්ඩිස් අපේ සැලසුම් අනුව හොඳින්ම පිතිකරණයේ නිරත වුනා. නමුත් පසුපෙළ පිතිකරුවන්ට එවන් දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නට බැරි වුනා.”

මෙම තරගයේ දී රවීන්ද්‍ර ජඩේජා ශ්‍රී ලංකා පිතිකරුවන් හට මුහුණපෑමට සිදු වූ විශාල අභියෝගයක් විය. ඔහු මෙම තරගයේ දී සිය තුන් ඉරියව් දස්කම් පෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල කළේ සුළුපටු පීඩනයක් නොවේ.

“ජඩේජා කියන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පන්දු යැවීමෙන් මෙන්ම තුන් ඉරියව් අංශයේම කැපීපෙනෙන අතිදක්ෂයෙක්. ඔහුගේ සැලසුම් එකිනෙකට වෙනස්ව අපට එක්වරම හඳුනා ගැනීමට අපහසුයි. ඒ වගේම මෙම තරගයේ කාසියේ වාසිය අපට ජයග්‍රහණය කරන්නට බැරි වුනා. එයත් විශාල පාඩුවක් වුනා මෙම තරග දෙකේ දී ම.” චන්දිමාල් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම තරගය අතරතුර පාදයේ කලව ආශ්‍රිතව ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ගැන ද සිය මතය ඉදිරිපත් කිරීමට චන්දිමාල් අමතක කළේ නැත.

“ප්‍රදීප්ට අනිවාර්යයෙන්ම ඉදිරි සති දෙක තුන තුළ විවේකයක් ගන්න වෙනවා. අපට තව දවස් කිහිපයක්ම තියෙනවා ඊළඟ තරගයට හොඳින්ම සූදානම් වීමට. ඒ දින කිහිපය තුළ අපේ උපරිම ශක්තිය යොදවලා පුහුණුවීම් කරලා අංක එකේ ටෙස්ට් කණ්ඩායමට පල්ලෙකැලේ දී හොඳ අභියෝගයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මෙම තරගයේ දී එක් වේගපන්දු යවන්නෙකු සමඟ ක්‍රීඩා කරලා දැඩි අපහසුතාවයකට පත්වුනා. නමුත් අපේ කණ්ඩායමේ සමබරතාවය රැක ගැනීමට එය එසේ කරන්නට සිදු වුනා.”

මෙම තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම තුළ වැඩිම ලකුණු ලාභියා වූ දිමුත් කරුණාරත්න පිළිබඳව චන්දිමාල් මෙසේ අදහස් දක්වන ලදි.

“දිමුත්ගේ ඉනිම මෙම තරගය තුළ දියත් වූ සුපිරිතම ටෙස්ට් ඉනිමක්, ඔහු ආරම්භක පිතිකරුවෙක් වශයෙන් තමන්ගේ කාර්යභාරය අපේ සැලසුම්වලට අනුව ක්‍රියාත්මක කිරීමට සමත් වුනා. ඔහු පසුගිය වසර 3, 4 පුරාවටම දෙවන ඉනිම තුළ හොඳින්ම සාර්ථක වූ පිතිකරුවෙක්.”

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින දක්ෂ පන්දු යවන්නන් දෙපලක් වන සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් දැනට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු නොවන හෙයින් තෙවන ටෙස්ට් තරගයේ දී බොහෝ දුරට නවක වේගපන්දු යවන්නෙකු සංචිතයට ඇතුළත් කිරීමට වැඩි ඉඩකඩක් පවතී.

“ප්‍රදීප් හා සුරංග ලක්මාල් නැති එක අපිට ලොකු පාඩුවක්. අපි අපේ ක්‍රිකට් තේරීම් කමිටුවත් එක්ක ඉදිරියේ දී සාකච්ඡා කරලා තෙවන ටෙස්ට් තරගයට කණ්ඩායමක් තෝරා පත්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ටෙස්ට් කණ්ඩායම් නායක චන්දිමාල් අවසන් වශයෙන් මාධ්‍ය සාකච්ඡාවේ දී සිය අදහස් දැක්වීය.

එසේම අද සවස් කාලයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අයහපත් ලකුණු සීමාව ඉක්මවා ගිය ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා හට තරග තහනමක් පැනවූ අතර ඒ හේතුවෙන් දෙරට අතර ලබන 12 වැනිදා මහනුවර පල්ලෙකැලේ දී ආරම්භ වන තෙවන ටෙස්ට් තරගය ඔහුට මඟ හැරෙනු ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට