මීට හරියටම වසරකට පෙරාතුව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසින් කිරුළු දරාගෙන මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 3-0ක් ලෙස අන්ත පරාජයකට පත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. කෙසේ වෙතත් අද වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පෙරමුණේ වැජඹෙන ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක් ලෙස පරාජයට පත්කිරීමට සමත්ව සිටියි.

වාර්තා රැසක් සමඟින් ඉන්දියාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්!

2014 වර්ෂය ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගනිමින් ජයග්‍රාහීව නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව ගෙවී ගිය වසර

මේ අයුරින් මාස 12ක් වැනි සීමිත කාලයක් තුල දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කණපිට හැරුණු අන්දම දැවැන්ත ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන අතර වත්මන් ටෙස්ට් නායකත්වය හොබවන දිනේෂ් චන්දිමාල් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අද දිනයේ දී මාධ්‍ය අමතමින් සිදු කළේය. ඔහුට අනුව තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විවිධ ආබාධවලට ලක්වීමෙන් ඇතිවූ අවාසිදායක තත්වයන් මෙවන් භයානක ඉරණමක් අත්වීමට මූලිකම හේතුවයි.

 මං කියන්න කැමතියි, අපිට විශාලම ගැටලුව ඇති වුනේ ආබාධ තත්වයන් නිසයි. ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී අපේ සියලුම ක්‍රීඩකයින් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සිටියා. කිසිම විදිහක ආබාධයක් තිබුණේ නෑ. සෑම දෙනාම තමන්ගෙ උපරිමය දුන්නා. මෙවර තරගාවලියෙ දී නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, රංගන හේරත් වගේම අසේල ගුණරත්නත් ආබාධවලට ලක්වෙලයි හිටියේ. ගෙවුණු මාස 6 දී ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අය. ඒකයි ප්‍රධානම ප්‍රශ්නය වුනේ. මට නිදහසට කරුණු දැක්වීමට අවශ්‍ය නෑ. අපි ඉදිරියේ දී මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි.” චන්දිමාල් කියා සිටියි.

 නිමාවුණු තරග තුනේ දී ම ශ්‍රී ලංකාව කිසිම ටෙස්ට් තරගයක් පස්වැනි දිනය දක්වා රැගෙන යාමට පවා අසමත් වූ අතර එය ඉන්දියාව වැනි ගුණාත්මක කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ සත්කාරක ශ්‍රී ලංකාවට ඇතිවූ බලවත් ලැජ්ජාවක් බවට පත්ව තිබේ. ඔවුන්ට පල්ලෙකැලේ දී පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉනිම දෙකේ දී ම ලකුණු 200 සීමාවටවත් ලඟා වීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් තරගය දින 3කටත් අඩු කාලයක දී නිමාවට පත්විය. ඒ ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 171ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි දරුණුතම ඉනිමක පරාජය ලෙසත්, මව්බිමේ දී හිමි වූ දෙවැනි දැවැන්තම ඉනිමක පරාජය ලෙසත් වාර්තා විය.

 ඒක මටත් කණ්ඩායමටත් ඉතාමත් අසීරු වුනා. එහි ගෞරවය ඉන්දියාවට හිමි විය යුතුයි. ඔවුන් තරගාවලිය උපරිම හොඳින් ක්‍රීඩා කළා. අපිට තරගය 5 වැනි දිනය දක්වා අරගෙන යන්න පුළුවන් වුනා නම් එයින් දෙයක් ඉගෙන ගැනීමට තිබුණා. ඒ දේ නොවීම ගැන කනගාටුයි. මොනවා වුනත් දවස් දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුල දී ටෙස්ට් තරගයක් පරාජය වීම ගැන ඔබට කිසිම නිදහසට කරුණක් කිව නොහැකියි.” ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

 දිනේෂ් චන්දිමාල් සිම්බාබ්වේ ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා පිළේ අභිනව ටෙස්ට් නායකයා ලෙස වැඩ භාර ගත් අතර එම තරගයේ දී ලකුණු 388ක් හඹාගොස් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු නිව්මෝනියා රෝගයට ගොදුරු වීම නිසා ගාල්ලේ දී පැවති ඉන්දු – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වීමට හැකි වූයේ නැත. ඉන් අනතුරුව නැවතත් කණ්ඩායම හා එක්වුණු චන්දිමාල්ට ඉනිම 4ක දී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණි. එහි ලකුණු සාමාන්‍යය 24ක් ලෙස සටහන් විය. එය තරග 2කට වැඩි ටෙස්ට් තරගාවලියක දී ඔහු ලබාගෙන තිබෙන අඩුම ලකුණු සාමාන්‍යයයි. එසේම සත්කාරක කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් අතරින් තරගාවලිය පුරාවට ලකුණු 50 ඉක්මවීමට නොහැකි වූ එකම ක්‍රීඩකයා ද වූයේ ඔහුයි.

 ස්ථිරව දක්ෂතා අතර රැඳෙන්නට නොහැකි වීම මේ තරගාවලියෙ දී මුහුණ දුන් ලොකු ගැටලුවක්. මං කිව්වා වගේ, සමහර ක්‍රීඩකයින්ට සෑම තරගාවලියක දී ම හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකියි. පළපුරුදු ක්‍රීඩකයින් එවන් අවස්ථාවල දී උපරිමය දිය යුතුයි. එවිටයි නවකයින්ට ඔවුන්ගේ මග යා හැකි වන්නේ. නායකයෙකු ලෙස, මං මේ වගකීම භාර ගැනීමට කැමතියි. අපිට ක්‍රීඩකයින් මානසිකව පහළට වැටීමට ඉඩ දිය නොහැකියි. අපි ක්‍රියාවලිය හරියට කර ගෙන යනවා. එහි ප්‍රතිඵල ඉක්මනින් නොලැබෙන්න පුළුවන්, ඒත් අපිට විශ්වාසයි අනාගතය හොඳ වෙයි කියලා. මං බලාපොරොත්තු වෙනවා හැමදෙනාම මීළඟ තරගාවලියේ සිට හොඳින් ක්‍රීඩා කරාවි කියා.” චන්දිමාල් බලාපොරොත්තු සහගතව පවසා සිටියි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට