බංගලියන්ට හතුරු වූ හතුරුසිංහ ලංකාවට මිතුරු වෙයිද?

656
Chandika Hathurusingha

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) වෙත භාර දී තිබේ. හතුරුසිංහ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වන තෙක් අදාළ තනතුරේ රැඳී සිටීම සඳහා ගිවිසුම් ගතව සිටින ලදි.

තරංගට සිව්වැනි අර්ධ ශතකය මඟ හැරේ

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායක උපුල් තරංග බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ..

විශ්වාස කටයුතු ක්‍රිකට් ආරංචි මාර්ග වෙතින් ThePapare.com වෙත වාර්තා වන්නේ චන්දික හතුරුසිංහ ලබන වසරේ ජනවාරි මාසයේ සිට වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පසුගිය ජුනි මාසයේ සිට පුරප්පාඩු වී පවතින්නේ ග්‍රැහැම් ෆෝඩ් එම තනතුර හැර යාමත් සමඟයි.

වරෙක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘සෙවණැලි පුහුණුකරු’ ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවීමට එවක ක්‍රිකට් පරිපාලනය කටයුතු කළේ 2010 වසරේ දී යි. ඒ සමඟම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු සාර්ථක පුහුණුකරුවකු ලෙස කණ්ඩායම කිහිපයක් සමඟින් කටයුතු කර තිබේ. ස්ථාවර ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හතුරුසිංහ ටෙස්ට් ක්‍රිකට් තරග 26ක් සඳහා සිය දායකත්වය ලබා දී ඇත. දේශීය ක්‍රිකට් පිටියේ ද අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහුගේ නම ඉදිරියේ පළමු පෙළ ලකුණු 10,861ක් මෙන්ම කඩුලු 425ක් ද සටහන්ව තිබේ.

ගුණතිලක හා තරංග ශීලාත් පිටිය දෙවනත් කරති

නොවැම්බර් මස 4 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංග්ලාදේශ…

ග්‍රැහැම් ෆෝඩ්ගේ හදිසි නික්ම යාමත් සමඟ එවක පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතස් වැඩ බලන ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කළ අතර පසුගිය සිම්බාබ්වේ, ඉන්දියා සහ පාකිස්තාන තරගාවලි සඳහා කණ්ඩායම සහභාගී වුනේ ඔහුගේ අධීක්ෂණය යටතේ යි.

ThePapare.com වෙත වැඩි දුරටත් තොරතුරු අනාවරණ වූයේ චන්දික හතුරුසිංහ මහතා ඇමරිකානු ඩොලර් 30,000ක මාසික වේතනයක් (රුපියල් ලක්ෂ 46ක් පමණ) මත ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට එකඟ වී ඇති බවයි.

”අපි පුහුණුකරුවන් කිහිප දෙනෙකු සමඟම සාකච්ඡා පවත්වමින් සිටිනවා. වත්මන් වැඩබලන පුහුණුකරු නික් පොතස් ද ඇතුළුව තිදෙනෙක් හෝ සිව් දෙනෙකු සමඟ. මේ වසර අවසන් වීමට මත්තෙන් අපි මේ පත් කිරීම පිළිබඳ අවසන් වැඩ කටයුතු සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ ජනවාරි මාසය වන විට, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු යටතේ ක්‍රියාත්මක වීමට හැකි වේවි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේ එලෙසින්.

චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ පසුගිය වසර 3 ඇතුළත ඉතා විශාල පිබිදීමක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් තුළ දක්නට ලැබුණි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමත්, 2017 ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමටත් අමතරව ඔවුන් සිය රටේ දී ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව පරාජය කිරීමට සමත් විය. එමෙන්ම ටෙස්ට් පිටියේ දී පළමු වරට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව බංග්ලාදේශයේ දී පරාජය කිරීමට සමත් වූ ඔවුන් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක්  ශ්‍රී ලංකාවේ දී පරාජය කරන්නටත් සමත් විය.

කුසල් මෙන්ඩිස්ව ඉවත් කළේ මේක නිසයි – ලැබ්රෝයි පැහැදිලි කරයි

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත..

මේ අතර එළඹෙන වසරේ දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 තරගයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරය කිරීමට ද නියමිතයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිලාන් සමරවීර මෙරට ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට සමත් වූ අතර, චන්දික හතුරුසිංහගේ නිර්දේශය මත බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද මීට පෙර කටයුතු කළ තිලාන්, වත්මන් ඉන්දීය තරග සංචාරයේ සිට වසර තුනක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සේවය ලබා දීමට ගිවිසුම් ගතව සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<