හතුරු නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට මිතුරු වෙයි

887

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08) නිල වශයෙන් නිවේදනය කරන ලදි.

මනස්ගාත නැති හතුරුසිංහගේ ආගමනය අවැසිම හෝරාව

මේ සතියේ ක්‍රීඩා ලෝකය කැලඹූ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඉතාලි පාපන්දු කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලියට…

සාර්ථක සාකච්ඡා කිහිපයකට පසු සහ 2017 දෙසැම්බර් 7 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ ඒකමතික අනුමැතිය සහිතව චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

“මහේල-අරවින්ද-සංගාගේ සැලැස්ම ක්‍රිකට් බේරා ගනීවි” – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් තිදෙනෙක් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා…

මෙම දෙසැම්බර් මස 20 වැනිදා තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව 2020 වසර දක්වා ක්‍රියාත්මකයි. ලොව දක්ෂතම පුහුණුකරුවන් අතුරින් අයෙක් ලෙස විශාල පිළිගැනීමකට ලක් වන ඔහු තම මාතෘ භූමියේ සේවය නැවත ආරම්භ කරන්නට සැරසෙන්නේ මීට පෙර 2006 – 2009 කාල සමයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2009 – 2010 කාලයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සෙවණැලි පුහුණුකරු ලෙසත් කටයුතු කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ හතුරුසිංහ බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළේ එරට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව දැන්වීමටයි. දෛවයේ සරදමකට මෙන් හතුරුසිංහ හට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මුලින්ම පැවරෙන රාජකාරිය ලබන වසරේ මුල පැවැත්වෙන බංග්ලාදේශ තරග සංචාරයයි.

පසුගිය වසර තුන තුළ හතුරුසිංහ යටතේ ක්‍රීඩාවේ පෙර නොවූ විරූ දියුණුවක් අත්දකින්නට බංග්ලාදේශය සමත් විය. 2015 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම, 2017 අයි. සී. සී. ශුරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ඉන් ප්‍රධාන ජයග්‍රහණ වන අතර බංග්ලාදේශයේ පැවති ද්වී පාර්ශවීය එක්දින තරගාවලි තුල දී ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව පරාජය කරන්නට ද ඔවුන්ට හැකියාව ලැබුණි. ටෙස්ට් තරග දෙස බැලීමේ දී පළමු වරට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ශ්‍රී ලංකාවේ දී ම ටෙස්ට් තරග ජයක් වාර්තා කරන්නට ද සමත් විය.

එක්සත් රාජධානියේ පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියෙන් පසු එවකට හිටපු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය තනතුරින් ඉල්ලා අස් වූ අතර, එවක් පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ප්‍රධාන පුහුණුකරු තනතුරට සුදුස්සෙක් සොයමින් සිටින ලදි. එවකට පන්දු රැකීමේ පුහුණුකරු වූ නික් පෝතස් මෙතෙක් වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ ද, හතුරුසිංහ ගේ ආගමනයත් සමඟ ඔහුට නැවත පන්දු රැකීමේ පුහුණුකරු තනතුර භාර ගැනීමට සිදුවනු ඇත.

1990 දශකයේ ස්ථාවර ආරම්හක පිතිකරුවකු ලෙස ප්‍රකටව සිටි ‘හතුරු’ ටෙස්ට් තරග 26ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර දේශීය ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකු ලෙස, පළමු පෙළ ලකුණු 10,861 ක සහ කඩුලු 425 ක සාඩම්බර අතීතයකට හිමිකම් කියයි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<