ෆින්ච්ගේ ප්‍රහාරය නිසා අවසන් පන්දු වාරයේ ජය කැන්ගරුවන්ට

1083
Sri Lanka vs Australia

ශූරයින්ගේ කුසලානයට පෙරාතුව අයි.සී.සීය මගින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති පුහුණු තරග දෙකෙන් පළමු තරගය ඊයේ (26) ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕවල් හිදී ක්‍රියාත්මක විය.

අළු මතින් නැගී සිටි ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරදයි

මීට දින දෙකකට පෙර ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ ලද අනපේක්ෂිත පරාජයේ අඳුරු මතකය අද සුපිරි ජයග්‍රහණයක සෙවනැල්ලෙන් වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ඉතාමත් උණුසුම් අන්දමින් ගලා ගිය මෙම තරගය තියුණු සටනකින් අනතුරුව කඩුලු 2කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලකුණු 300කට වැඩියෙන් ලබා ගැනීමත්, මැතිව්ස්, අසේල සහ ප්‍රදීප් වැනි ක්‍රීඩකයින් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමත් මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පැත්තෙන් දකින්නට ලැබුණු සුබවාදී කරුණු බවට පත්විය.

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු වැඩ බලන නායක ඩේවිඩ් වෝනර් තීරණය කළේ ඕවල් තණතිල්ල පළමුවෙන්ම භාවිතා කිරීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාව ලබා දීමටයි. ඊයේ පුහුණු තරගයට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාර්ක් සහ ජෝන් හේස්ටින්ග්ස් සහභාගි නොවූ අතර ජෝස් හැස්ල්වුඩ් නම්කර තිබුනේ පිතිකරණය සඳහා පමණි. වෝනර්ගේ තීරණය වඩාත් නිවැරදි බවට ඉඟි පළ කරමින් ශ්‍රී ලංකා පිළේ මුල් කඩුලු 4 ලකුණු 92ක් තුල දී දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූහ.

කෙසේ වෙතත් ආබාධ තත්වයන් සුව අතට හැරීමෙන් අනතුරුව නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව සිටින නිරෝෂන් දික්වැල්ල ඊයේ පන්දුවට මුහුණ දුන් ආකාරය ශූරයින්ගේ කුසලානය පිළිබඳ ප්‍රේක්ෂක බලාපොරොත්තු වැඩි දියුණු කිරීමට හේතුවිය. ඒ ඔහු ස්කූප් පහරවල් කිහිපයක් ද සමගින් ඊයේ පන්දු 30කින් ලකුණු 41ක් රැස් කරගත් බැවිනි. නමුත් ඔහුගේ ඉනිමේ නිමාව ද සටහන් වූයේ හෙන්රිකස්ගේ වේගය අඩාල කල පන්දුවකට එල්ල කළ ස්කූප් පහරක් නිසාවෙනි. නිරෝෂන්ගේ සහය ආරම්භක පිතිකරු උපුල් තරංග ඊයේ ලකුණු 13කට සීමා විය.

කුසල් මෙන්ඩිස්ට සහ දිනේෂ් චන්දිමාල්ට ද ඊයේ වැඩි වේලාවක් ඕවල් පිටිය මැද රැඳෙන්නට කැන්ගරු වේග පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැත. කුසල් මෙන්ඩිස් හෙන්රිකස්ගෙන් ලැබුණු පන්දුව වටහා ගත නොහැකිව මිඩ්-ඕෆ් කලාපයට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යද්දී චන්දිමාල්ගේ පා ඉන්න බිඳ දමන්නට ජේම්ස් පැටින්සන්ගේ වේග පන්දුවකට හැකියාව උදාවිය. කෙසේ වෙතත් සයවැනි කඩුල්ල වෙනුවෙන් නායක මැතිව්ස් සහ චාමර කපුගෙදර අතරේ ගොඩ නැගුණු ලකුණු 60ක සබඳතාවය ශ්‍රී ලංකාව අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට හේතු විය.

කපුගෙදර ඊයේ හතරේ පහර 4ක් සමගින් ලකුණු 30ක් වාර්තා කිරීමට සමත් විය. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි අසේල ගුණරත්න නායකයාට අනගි සහයක් ලබා දෙමින් පන්දු 56කින් නොදැවී ලකුණු 70ක් රැස් කළේය. තම කෙටි ක්‍රීඩා දිවියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සුවිශේෂී දස්කම් දක්වා ඇති අසේලගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. කෙසේ වෙතත් මේ වන විට ශතකය පෙනි පෙනී දැවී යාම පුරුද්දක් කරගෙන සිටින මැතිව්ස් ඊයේත් ලකුණු 95කට අවාසනාවන්ත ලෙස පිටිය හැර ගියේය. නමුත් ශ්‍රී ලංකා පිළේ නැංගුරම බවට පත්වූ ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 106ක් තුල ගොඩ නැගූ ඉනිම කණ්ඩායමට අතිශයින්ම වැදගත් විය.

තරගයේ අවසන් කොටසේ දී ඕවල් පිටිය දෙවනත් කළ සීක්කුගේ ප්‍රසන්න පන්දු 19කින් ලකුණු 31ක් වාර්තා කර ගත්තේය. ඒ එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමගිනි. යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරය ජය ගත් ප්‍රසන්න සහ අසේල අවසන් පන්දුවාර 5දී කැන්ගරු පන්දු යවන්නන්ගෙන් ලකුණු 61ක් උදුරා ගැනීමට සමත් වූහ. ඒ නිසාවෙන්ම ශ්‍රී ලංකාවට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 318ක් රැස්කර ගැනීමට අවස්ථාව උදා විය. පන්දු යැවීමේ දී මොයිසස් හෙන්රිකස් කඩුලු 3ක් බිඳ හෙලූ අතර හෙඩ්, කමින්ස්, පැටින්සන් සහ හැසල්වුඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මෙම විශාල ලකුණු පුවරුව හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක පදනමක් සකසා දුන්හ. කෙසේ වෙතත් ඊයේ තම සුපුරුදු ප්‍රහාරය දියත් නොකළ ඩේවිඩ් වෝනර් ඊයේ පන්දු 32කට මුහුණ දෙමින් රැස්කලේ ලකුණු 19ක් පමණි. එම අඩුව පිරිමැසූ සහය ආරම්භක පිතිකරු ඒරෝන් ෆින්ච් පන්දු 109කින් දැවැන්ත ලකුණු 137ක් වාර්තා කළේය. තරගය කණපිට හැරවූ මෙම සුපිරි ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු මැදපෙළ නියෝජනය කළ ක්‍රිස් ලින්, හෙන්රිකස් සහ මැක්ස්වෙල් ඊයේ අඩු ලකුණු සංඛ්‍යා වලට දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණ. විශේෂයෙන්ම සුපිරි ප්‍රහාරකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ග්ලේන් මැක්ස්වෙල්ව ඊයේ පළමු පන්දුවේ දී ම දවා ගැනීමට නුවන් ප්‍රදීප් සමත් විය. මැතිව් වේඩ් ඊයේ ලකුණු 13ක් ලබා සිටිය දී මාලිංගගේ පන්දුවකට ගොදුරු විය.

ෆින්ච්ගේ ප්‍රහාරය නිමා වීමෙන් අනතුරුව බොහෝ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තම වගකීම පැහැර හරිද්දී අධිෂ්ඨානශීලී ඉනිමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 85ක් රැස් කරමින් තම කණ්ඩායමට අවසන් පන්දු  වාරයේ ජයග්‍රහණයක් හිමි කර දුන්නේය. පන්දු 73ක් තුල වාර්තා වුනු ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. කුලසේකර ක්‍රියාත්මක කළ අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනු ලකුණු 4 පන්දු 4කින් සපුරා ගත් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 2ක ජයක් තහවුරු කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 57කට කඩුලු 3ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන්ට කඩුලු 2ක් හිමිවිය. මීට අමතරව ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. කෙසේ වෙතත් ලකුණු 300කට වැඩියෙන් හඹා යාමේ දී වුවද මාලිංගට එරෙහිව ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට ඕස්ට්‍රේලියානුවන් පියවර ගත්හ. පන්දුවාර 8කදී ඔවුන් මාලිංගට එරෙහිව ලබා ගත්තේ ලකුණු 32ක් පමණි. යම් හෙයකින් ඉතිරි පන්දුවාර 2 ද මාලිංග ක්‍රියාත්මක කළා නම් තරග ප්‍රතිඵලයේ වෙනසක් වන්නට ද ඉඩ තිබුණි. ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන සහ අවසන් පුහුණු තරගය 30 වැනිදා බර්මිංහැම් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 318 (පන්දුවාර 50): ඇන්ජෙලෝ මැතිව්ස් 95, අසේල ගුණරත්න 70*, නිරෝෂන් දික්වැල්ල 41, සීක්කුගේ ප්‍රසන්න 31, චාමර කපුගෙදර 30, දිනේෂ් චන්දිමාල් 17, උපුල් තරංග 13, මොයිසස් හෙන්රිකස් 3/46, ට්‍රැවිස් හෙඩ් 1/13, පැට් කමින්ස් 1/47.

ඕස්ට්‍රේලියාව – කඩුලු 8ක් දැවී ලකුණු 319 (පන්දුවාර 49.4): ඒරෝන් ෆින්ච් 137, ට්‍රැවිස් හෙඩ් 85, ක්‍රිස් ලින් 19, ඩේවිඩ් වෝනර් 19, මාර්කස් ස්ටොයිනිස් 15, නුවන් ප්‍රදීප් 3/57, ලක්ෂාන් සඳකැන් 2/69, ලසිත් මාලිංග 1/36, අසේල ගුණරත්න 1/36.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට