ආබාධ මැද වාර්තා වූ රූට්ගේ ශතකය; එංගලන්තයට ජය!

232

ශූරයින්ගේ කුසලාන තරගාවලිය අරඹමින් ඕවල් පිටියේ දී පැවති පළමු එක්දින තරගය ජය ගන්නට ඊයේ (01) සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ වසර 11කට පසුව ශූරයින්ගේ කුසලානයකට එක්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමිනි. එහි දී පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයන් සමගින් වුවද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගිය ජෝ රූට් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

>> ලකුණු 356ක් රැක ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඔයින් මෝර්ගන් මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ මුල්ම වරට පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායමට ලබා දීමට පියවර ගත්තේය. ඒ බංග්ලාදේශ පිතිකරුවන්ව විශේෂඥ වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විත තම පන්දු යැවීමේ බල ඇණිය ආධාරයෙන් මැඬලීමේ බලාපොරොත්තු ඇතිවයි. නමුත් ඔවුන්ට එරෙහිව සාර්ථක ප්‍රතිරෝධයක් දැක්වූ බංග්ලාදේශ පිතිකරුවන් සත්කාරක එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ධනාත්මක පිතිහරඹයක නිරත වීමට සමත් විය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් සමගින් එක්වුණු සෞම්‍ය සර්කාර් සහ ඉම්රුල් කයිස් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක් ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක් ද එක් කරමින් ඒ සඳහා පදනම සකසා දුන්හ. බංග්ලාදේශයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය නිර්මාණය වන්නේ එතැන් සිටයි. අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම් සහ තමීම් ඉක්බාල් එංගලන්ත පන්දු යවන්නන්ට රිසිසේ පහර දෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 166ක සුපිරි සබඳතාවයක් ගොඩ නගන්නේ ඒ අනුවයි.

2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ප්‍රථම ශතක ලාභියා ලෙසින් තමීම් ඉක්බාල් අද පන්දු 142කින් ලකුණු 128ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ විශිෂ්ට ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. මුෂ්ෆිකර් රහීම් හතරේ පහර 8ක් සමගින් ලකුණු 79යි. කෙසේවෙතත් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනාම ලියාම් ප්ලන්කට් ක්‍රියාත්මක කළ 45 වැනි පන්දුවාරයේ දී දැවී ගියේය.

බංග්ලාදේශ පිතිකරුවන් ඉනිමේ මුල් කොටස පාලනය කළද අවසන් පන්දුවාර කිහිපයේදී මනා සංයමයකින් යුතුව පන්දු යැවූ එංගලන්ත කණ්ඩායම බංග්ලාදේශ මැදපෙළ පිතිකරුවන්ට විශාල පහරවල් කරා යාමට ඉඩක් ලබා නොදුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ශකීබ් අල් හසන් අද ලකුණු 10කට සීමා වෙද්දී සබ්බීර් රහ්මාන් පන්දු 15කින් ලකුණු 24ක් රැස්කර ගනිමින් බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 305ක් දක්වා ඔසවා තබන්නට සමත් විය. පන්දු යැවීමේදී ලියාම් ප්ලන්කට් ලකුණු 59කට කඩුලු 4ක් දවා ගත්තේය.

අඩ හෝරාවක පමණ විවේකයෙන් අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලකුණු 6 දී බිඳ දැමීමට බංග්ලාදේශ නායක මෂ්රෆි මොර්ටාසාට හැකියාව ලැබුණි. ඒ ශෝට් ෆයින්-ලෙග් හි සිට මුස්ටාෆිසූර් රහ්මාන් රැකගත් සුවිශේෂී උඩපන්දුව හේතුවෙනි. නමුත් මෙම ආරම්භක වාසියෙන් බංග්ලාදේශයට ඵල නෙලා ගැනීමට ඉඩ නොදුන් ඇලෙක්ස් හේල්ස් සහ ජෝ රූට් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක අනර්ඝ සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්තයට ජය මාවත පෙන්වීය.

[rev_slider ct17-dsccricket]

කෙසේවෙතත් දැවැන්ත පහරකින් තම ශතකය සැමරීමට උත්සාහ කල ඇලෙක්ස් හේල්ස් ලකුණු 95කට දැවී යාම අද එංගලන්ත ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබුණු එකම අවාසනාවන්ත සිදුවීම බවට පත්විය. නමුත් තම සගයාට නොහැකි වුනු කාර්‍යභාරය සම්පූර්ණ කළ ජෝ රූට් පන්දු 129කදී නොදැවී ලකුණු 133ක් රැස් කරමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම ශූරයින්ගේ කුසලානයට එක් පියවරකින් ආසන්න කිරීමට සමත් විය. රූට්ගේ 10 වැනි එක්දින ශතකය ලෙසින් වාර්තා වුනු මෙම සුපිරි ඉනිමට දැකුම්කළු හතරේ පහර 11ක් සහ එක් දැවැන්ත හයේ පහරක් අන්තර්ගත විය.

මීට අමතරව නායක ඔයින් මෝර්ගන් නොදැවී ලකුණු 75ක් රැස් කරමින් රූට්ගේ ඉනිමට උපරිම සහයෝගය දැක්වීය. මෝර්ගන්ගේ ස්ථාවර ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 2කින් සමන්විත විය. පන්දු යැවීමේදී සබ්බීර් රහ්මාන් සහ මෂ්රෆි මොර්ටාසා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. සත්කාරක එංගලන්තය මෙම තරගය ජය ගත්තේ කඩුලු 8කිනි. ඒ තරගය නිමාවීමට පන්දු 16ක් ඉතිරිව තිබියදීයි.

බංග්ලාදේශය මෙම තරගය පරාජයට පත්වීමට අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිකරණ රටාවක නියැලීමට නොහැකි වීමත්, පන්දු යවන්නෙකු අඩුවෙන් කණ්ඩායමට එක් කිරීමත් දැඩි ලෙස බල පෑවේය. කෙසේවෙතත් එංගලන්තයේ දී තරගයක් ජය ගැනීමට ලකුණු 300ටත් වඩා අවශ්‍ය වන බව මේ වනවිට ක්‍රමයෙන් පැහැදිලි වෙමින් තිබේ. ශ්‍රී ලංකාව අනිද්දා (03) දකුණු අප්‍රිකාව සමගින් තම මුල්ම තරගයට සහභාගි වන්නට නියමිතව ඇත්තේද මෙම ක්‍රීඩාංගණයේදීයි.

බංග්ලාදේශය – කඩුලු 6ක් දැවී ලකුණු 305 (පන්දුවාර 50): තමීම් ඉක්බාල් 128, මුෂ්ෆිකර් රහීම් 79, සෞම්‍ය සර්කාර් 28, සබ්බීර් රහ්මාන් 24, ඉම්රුල් කයිස් 19, ලියාම් ප්ලන්කට් 4/59, බෙන් ස්ටෝක්ස් 1/42.

එංගලන්තය – කඩුලු 2ක් දැවී ලකුණු 308 (පන්දුවාර 47.2): ජෝ රූට් 133*, ඇලෙක්ස් හේල්ස් 95, ඔයින් මෝර්ගන් 75*, සබ්බීර් රහ්මාන් 1/13, මෂ්රෆි මොර්ටාසා 1/56.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට