වසර 19ක පමණ කුරිරු යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සාමයේ අරුණලු උදා වෙමින් පැවතුණි.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම වළකාලූ යුද්ධය නිමා වෙමින් පැවති අතර රටවල් 12ක ක්‍රිකට් කණ්ඩායම් දෙවැනි ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය (පළමු ශූරයින්ගේ කුසලාන තරගාවලිය හැඳින්වූයේ ICC පිළිමළුන් පිටු දැකීමේ කුසලානය ලෙසයි) සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලි. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙරට ක්‍රිකට්ලෝලීන් ඔල්වරසන් දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලියේ සම ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ කිසිදා අමතක කළ නොහැකි තරගාවලියක මතක සටහන් ඉතිරි කරමිනි.

හොඳම ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නන් පස්දෙනා

ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ඉතා කුඩා රටක් වූවත් අන් කිසිදු ‘මහා රටක්’ නොකරන තරමේ..

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය – ශ්‍රී ලංකාව කඩුලු 8කින් ජයග්‍රහණය කරන ලදි (පන්දු 83ක් අතැතිව).

ශ්‍රී ලංකාව සමඟ එම කාණ්ඩයේ පකිස්ථානය සහ නෙදර්ලන්තය ක්‍රීඩා කළ අතර මෙම තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වූයේ මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල අවස්ථාවක් හිමි වන නිසාවෙනි.

Kookaburra
Kookaburra

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පකිස්ථාන කණ්ඩායමේ නායක වසීම් අක්රම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පළමු පන්දු වාර හය ඇතුළත දී පකිස්ථාන කණ්ඩායමේ ෂහීඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික් සහ යූසුෆ් යොහානා නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඉන් අනතුරුව යුනිස් කාන් සහ මිස්බා උල් හක් එක්ව පකිස්ථාන ඉනිම ගොඩනැගීමට උත්සාහ දැරීය. පකිස්ථාන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ සයිඩ් අන්වර් ලකුණු 52ක් රැස්කරගත් අතර ඔවුන්ට පන්දු වාර 49.4 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 200ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වූ චමින්ද වාස්, පුලස්ති ගුණරත්න සහ දිල්හාර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත් අතර පකිස්ථාන කණ්ඩායමේ මැදපෙළ බිඳ දැමූ මුත්තයියා මුරලිදරන් යුනිස්, මිස්බා හා අක්රම් දවා ගනිමින් කඩුලු 3කට හිමිකම් කීවේය.

තරගය නැරඹීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් 30,000කට අධික ප්‍රමාණයක් රැස්ව සිටි අතර ඔවුන් ඉදිරියේ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වන්නට සනත් ජයසූරිය සමත් විය. තරයේ ආරම්භක පන්දුවාර කිහිපය තුළ ඉක්මන් කඩුලු දෙකක් බිඳ වැටුණත් තුන්වන කඩුල්ලට ලකුණු 156ක නොබිඳුණු සබඳතාවක් එක් කළ සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 14ක් පමණ ඉතිරිව තිබිය දී තරගය ජය ගත් අතර සනත් ජයසූරිය තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය – ශ්‍රී ලංකාව ලකුණු 206 කින් ජයග්‍රහණය කරන ලදි.

පකිස්ථාන කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමඟ තරගය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇති බව බොහෝ දෙනා පෙර සිටම දැන සිටි කරුණකි.

Associated Press
Associated Press

නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රමුඛ පෙළේ තරගයකට මෙහි දී සහභාගී වූයේ වසර 6කට පසුව වන අතර තරගය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු පීඩනයක් එල්ල කරන්නට ඔවුන් සමත් වූයේ නැත. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන ජයසූරිය සහ මාවන් අතපත්තු තරගයට ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 292ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ මාවන් අතපත්තු සිය 6 වැනි අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 101ක් ලබා ගන්නට සමත් විය. ඔහු කුමාර් සංගක්කාර සමඟ එක්ව ලකුණු 116ක සබඳතාවක් ගොඩනැඟූ අතර කුමාර් ලකුණු 41ක් වාර්තා කළේය.   

නෙදර්ලන්ත කණ්ඩායමට තරගයට අවතීර්ණ වීමට කිසිදු ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 86කට ඔවුන්ගේ සියලුම කඩුලු දවා ගත්තේ ලකුණු 206ක ඇති විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කියමිනි. ටිම් ඩි ලීඩ් ලකුණු 31ක් රැස්කරගත් අතර නායක ජයසූරිය හට ඔවුන්ගේ කඩුලු සියල්ලම දවා ගැනීමට අවශ්‍ය වූයේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් 5 දෙනා පමණි. මෙම තරගයේ දී ද පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මුත්තයියා මුරලිදරන් පන්දුවාර 5.3කදී ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගන්නට සමත් විය.

අර්ධ අවසන් වටය – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව කඩුලු 7 කින් ජයග්‍රහණය කරන ලදි (පන්දු 60ක් අතැතිව).

ඕස්ට්‍රේලියා කණ්ඩායම තුළ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටියත් තරගය ශ්‍රී ලංකාවේ පැවතීම හේතුවෙන් තරගයේ වැඩි වාසිය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. අනෙක් අර්ධ අවසන් තරගය දකුණු අප්‍රිකාව සමඟ තියුණු තරගයකින් අනතුරුව ජය ගත් ඉන්දියාව ඒ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබුණි.

Reuters
Reuters

ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මැතිව් හේඩ්න් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් ආරම්භක පිතිකරු යුගලය පන්දුවාර 7කදී ලකුණු 49ක් වාර්තා කර ගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දෙන්නට සමත් විය. කෙසේ නමුත් මෙම සබඳතාව බිඳ දමන්නට අරවින්ද ද සිල්වා සමත් වූ අතර ඉන් අනතුරුව පන්දුවාර 5ක් ඇතුළත දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 8ක් තුළ දී බිඳ හෙලන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. එම පීඩනය සාර්ථකව දරා ගන්නට ඕස්ට්‍රේලියානුවන් අසමත් වූ අතර ඔවුන්ට පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි. ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වූ ෂේන් වෝන් ලකුණු 36ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ බලකාය මෙම තරගයේ දී ද සුපුරුදු දක්ෂතා අතරට පැමිණි අතර මුත්තයියා මුරලිදරන් ලකුණු 26 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව කුමාර් ධර්මසේන, අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු රැකීම ද තරගය පුරාවට දුර්වල මට්ටමක පැවති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 10ක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක් අතැතිව තරගයේ ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ජයසූරිය, අතපත්තු සහ සංගක්කාර පිළිවෙළින් ලකුණු 42, 51 හා 48 ක් රැස්කර ගන්නා ලදි.

අවසන් තරගය – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව – තීරණයක් නොමැතිව අවසන් විය

තරගාවලිය පුරාවට වර්ෂාවෙන් බාධා එල්ල නොවුණත් අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූයේ තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කණ්ඩායම් දෙක අතරේ සමව බෙදී යමිනි.

තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අවසන් මහා තරගය අතිරේක දිනයට කල් තැබුණු අතර අවස්ථා දෙකේ දී ම කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

පළමු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර සනත් ජයසූරිය වේගවත් ලකුණු 74ක් රැස් කළේය. නමුත් ඉන්දියානු දඟ පන්දු යවන්නන්ගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ වේගය අඩාල විය. කුමාර් සංගක්කාර ලකුණු 54ක් රැස්කරගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ ලකුණු 244ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන්දියානු පන්දු යවන්නන් එහි දී අමතර ලකුණු 22ක් ලබා දී ඇත.

ඉන්දියානු ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගත් විරේන්ද්‍ර ෂෙවාග්, පුලස්ති ගුණරත්න යැවූ ආරම්භක පන්දු වාරයේ දී ලකුණු 14ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන් අනතුරුව පැයකට වැඩි කාලයක් අධික වර්ෂාව ඇඳ හැලීම නිසා තරගය අත්හැර දැමීමට තීරණය කරන ලදි. ඉන්දියාව තරගයට වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටි ප්‍රබල දඟ පන්දු යැවීමේ බලකාය හේතුවෙන් තරගයේ වාසිය පැහැදිලිවම ශ්‍රී ලංකා කණ්ඩායම සතුවිය.

දෙවන දිනය

Getty Images
Getty Images

වර්ෂාව හේතුවෙන් පිටිය වඩාත් මන්දගාමී වී තිබූ අතර මෙවර සනත් ජයසූරිය ලකුණු ලබා ගැනීමට පෙර දවා ගන්නට ඉන්දියානු පන්දු යවන්නන් සමත් විය. තරගයේ එක් අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71කට කඩුලු 4ක් දැවී තරමක් අසීරු තත්වයක පසු වුවද තරගාවලියේ පෙර පැවති තරගවල දී එතරම් සාර්ථක නොවූ පිතිකරු යුගළයක් වූ මහේල ජයවර්ධන සහ රසල් ආර්නල්ඩ් දෙදෙනා එක්ව ලකුණු 108ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගන්නට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 222ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දියානු ඉනිමේ පන්දුවාර 9ක් ගෙවී යද්දී මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල විය. විරේන්ද්‍ර ෂෙවාග් හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් පන්දු 22කදී ලකුණු 25ක් රැස් කළ ද දිනේෂ් මොන්ගියා සහ සචින් ටෙන්ඩුල්කාර් පන්දුවට පහර දීමේ දී අපහසුතාවයට පත්කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර එමනිසා ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 222 තරගය ජයග්‍රහණය කරන්නට ප්‍රමාණවත් වන්නට ද ඉඩ තිබුණි.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න