වැහි කුනාටු පරදා ඩයලොග් චැම්පියන්ස් ලීග් මේ සතියේ නැවතත් කරලියට

670
Dialog Champions League-Week-2

මෙරට පාපන්දු ලෝලීන් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ඩයලොග් චැම්පියන්ස් ලීග් නැවත ආරම්භය මේ සතියේ සටහන් වනු ඇත. ඒ අනුව තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවන සතියට අදාළ තරග ලබන 6 වැනිදා (සිකුරාදා) ආරම්භ කිරීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: කිසිදු ගෝලයක් වාර්තා නොකරමින් ජයග්‍රහණය නේපාලයට

ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු සතියට අදාළ තරග පැවැත්වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි. කෙසේවෙතත් ආසියානු පාපන්දු සම්මේලන සහයෝගීතා කුසලාන (AFC Solidarity Cup) තරගාවලිය ආරම්භ වීමත් සමඟ ක්‍රීඩා සමාජ රැසක ක්‍රීඩකයන් ජාතික වගකීම වෙනුවෙන් නිදහස් කිරීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කළේ චැම්පියන්ස් ලීග් තරගාවලියේ ඉතිරි කොටස පසුගිය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමටයි. තම ප්‍රබල ක්‍රීඩකයන් නොමැතිව මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩා සමාජ බලවත් විරෝධයක් පල කිරීම පාපන්දු සම්මේලනයට මෙම තීරණය ගැනීම කෙරෙහි බලපෑ ප්‍රධානතම සාධකය විය.

කෙසේවෙතත් චැම්පියන්ස් ලීග් තරගාවලියේ ඉතිරි කොටස නොවැම්බර් මාසයේ පැවැත්වීමට සකස් කර තිබූ සැලසුම් සියල්ල වතුරේ ගියේ වැස්ස වලාහක දෙවියන්ගේ මැදිහත් වීම හේතුවෙනුයි. වරින් වර ඇදහැළුණු ධාරානිපාත වර්ෂා හේතුවෙන් එක් තරගයක් හෝ ආරම්භ කිරීමට නොහැකි වූ අතර, දින නියම කර ගැනීමේ අපහසුතා හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුවූයේ තරගාවලියේ පුනරාරම්භය සඳහා නව වසර ආරම්භ වනතෙක් බලා සිටින්නටයි. අවසානයේ නව වසරේ පළමු සතිය පැරණි තරගාවලියේ දෙවන ගමන සඳහා සුභ නැකත බවට පත්ව තිබේ.

පළමු සතිය පිලිබඳ ආවර්ජනයක්

සුපර් 8 වටයේ පළමු සතිය තුලදී විශිෂ්ඨතම ජයග්‍රහණය සටහන් කලේ, වරක් මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නටද සමත් වූ කණ්ඩායමක් වන සොලිඩ් ක්‍රීඩා සමාජයයි. නාවික හමුදාව සමඟ පැවති තරගය ගෝල 5-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ඔවුන් සමත් වුනේ නාවිකයන්ගේ දුර්වල ආරක්ෂක උපක්‍රම වලින් උපරිම ප්‍රයෝජන ද ගනිමිනුයි.

වත්මන් FA කුසලාන ශූරයන් වන යුධ හමුදා ක්‍රීඩා සමාජය තම සටන්කාමීත්වය මැනවින් ප්‍රදර්ශනය කලේ එක් ක්‍රීඩකයෙක් අඩුවෙන් මෙන්ම ගෝලයක් පසුපසින් සිටි අසීරු අවස්ථාවකින් ගැලවී ගුවන් හමුදාව සමඟ පැවති තරගය ගෝල සම කරමින් එක් ප්‍රසාද ලකුණක් ලබා ගන්න මට්ටමටම රැගෙන එමිනුයි.

පසුගිය තරගාවලියේ ශූරයන් වන කොළඹ පාපන්දු සමාජය සමඟ පැවැත්වුණු සුපිරි 8 වටයේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණු පුවරුවට ලකුණක් එකතු කර ගන්නට නිව් යංග්ස් පාපන්දු සමාජයට හැකි විය.

පළමු සතියේ පෙරළිකාර ජයග්‍රහණය සටහන් කරන්නට සමත් වූයේ බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජයයි. මෙවර තරගාවලියේ ප්‍රධානතම ශූරතා බලාපොරොත්තුව වන රිනවුන් ක්‍රීඩා සමාජය අනර්ඝ සටනකින් පසු පරාජය කරන්නට ඔවුන් සමත් විය. ප්‍රවීණ ක්‍රීඩක ඊ. බී. චන්නගේ ද සහභාගීත්වයෙන් සටනට පිවිසුණු කළුතර ක්‍රීඩකයන් විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල අතර බ්ලු ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් චන්න, තරගයේ වීරයා ලෙසින් සම්මාන ලබන්නටද සමත් විය.

දිගු නිහැඬියාවකින් පසු පාපන්දු පිටිය උණුසුම් කරන ප්‍රබල සටනකට සියල්ල සූදානම්ව ඇති පසුබිමක මෙරට පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්තයන් හට තම දක්ෂතා උපරිම මට්ටමට රැගෙන ඒම සඳහා දැන් කාලය එළඹ තිබේ. ජයග්‍රහණයේ මතකය වියැකී යන තරම් කාලයක් ගත වුවද පළමු සතියේ ලද සාර්ථකත්වය දෙවන සතියටත් රැගෙන යාමට සොලිඩ් සහ බ්ලු ස්ටාර් කණ්ඩායම් අනිවාර්යයෙන්ම උත්සාහ දරනු ඇත.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට