20න් පහළ සත් සාමාජික කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

324

2018 අන්තර් පාසල් අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරයින් බවට පත්වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන අගෝස්තු 11 වැනිදා හා 12 වැනිදා හොං කොං හි පැවැත්වෙන ආසියා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීමට නියමිතය.

සාන්ත ජෝසප්, විද්‍යාර්ථ, කිංග්ස්වුඩ් සහ රිච්මන්ඩ් සත් සාමාජික ශූරතා දිනයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙන්ම මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ද අනුශූරයින් ලෙස

සුදත් සම්පත් මහතා ගේ පුහුණුකාරිත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික තරගාවලියේ ශූරයින් බවට පත්වූ අතර 2017 වසරේ දී අනුශූරයින් බවට පත්විය.

ඉතා අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ඉබ්‍රහිම් මහතා 2014 වසරේ දී ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2016 වසරේ දී ආසියානු කනිෂ්ඨ සාමාජික ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන ලදි. වත්මන් CR & FC ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ද වන්නේ නිල්ෆර් ඉබ්‍රහිම් මහතා ය.

2017 දී නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ නමුත් තරගාවලියේ අවසාන මහා තරගයේ දී හොං කොං කණ්ඩායම හමුවේ ලකුණු 36-00ක පරාජයක් අත්විඳීමට සිදු විය.

2017 වසරේ පාසල් තරග වාරය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට ද මේ තරගාවලිය සඳහා සහභාගී විය හැකි අතර නවීන් හේනකන්කානම්ගේ හට නැවතත් නායකත්වය හිමිවීමට ඉඩ ඇත. ඊයේ (8) නිමා වූ අන්තර් පාසල් සත් සාමාජික තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.   

2016 දී කෙවින් ඩික්සන් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව පළමු වතාවට වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික තරගාවලියක් ජය ගත් අතර ඒ ආසියානු මට්ටමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම දක්ෂතාවයයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<