චමරි අතපත්තු හදිසියේම ඕස්ට්‍රේලියාවට

121

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස නායිකා චමරි අතපත්තු, 2019 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ් තරගාවලියේ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වේ.

හර්ෂිතා තරගාවලියේ මංගල අර්ධ ශතකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා………..

ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලි පස්වැනි අදියර 2019 ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වූ නමුත් තරගාවලිය ආරම්භයේ දීම අතපත්තුට මේ තරගාවලියේ කිසිදු සංචිතයක් සඳහා එක් වීමට අවස්ථාව උදා වූයේ නැත. 

කෙසේ නමුත් මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකාරිනිය වූ සොෆී මෙලනෝ ඇයගේ පුද්ගලික මානසික තත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන දුෂ්කරතා කිහිපයක් නිසා කෙටි කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබෙන නිසා අතපත්තු හට එක් වරම මේ අවස්ථාව ලැබී ඇත.

මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම මේ වන විට 2019 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලියේ තරග 9ක් සඳහා සහභාගී වී ඉන් තරග 5ක් ජයගෙන තිබෙන නමුත් අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ට ඉතිරිව තිබෙන තරග 3න් අවම ලෙස තරග දෙකක් ජය ගත යුතුව තිබේ. එවැනි වාතාවරණයක් තිබෙන පසුබිමකයි එක් වරම අතපත්තුව ඔවුන්ගේ සංචිතයට එක් කර ගැනීමට රෙනගේඩ්ස් කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය සතුව සිටින ප්‍රබල තුරුම්පුවක් බවට පත් වෙමින්  පසුගිය තරගාවලි කිහිපය තුළ හොඳින් ලකුණු අතර සිටි අතපත්තු මේ වන විට ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් ඉතාමත් හොඳ දස්කම් දැක්වීමට සමත්ව තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මානසික ගැටලු

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ තුන් ඉරියව් ……

පසුගිය දා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඕස්ට්‍රේලියාවේ දී පැවති විස්සයි විස්ස තරගාවලිය අතරතුර පන්දු 66ක දී ලකුණු 113ක් රැස් කරගනිමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස ශතකයක් ලබා ගත් දෙවන ක්‍රීඩිකාව බවට ද පත්වීමට අතපත්තු සමත් විය. 

අතපත්තු මීට පෙර 2017 වසරේ දී ද ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් තරගාවලියේ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම නියෝජනය කළ අතර එහි දී තරග 14කට ක්‍රීඩා කරමින් ලකුණු 175ක් වාර්තා කර ගන්නා ලදි. එසේම 2020 වසරේ පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන නිසා අතපත්තු හට ලැබුණු මේ අවස්ථාව ඉතාමත් අගනා අවස්ථාවකි. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් විදේශයන්හි පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහා  ක්‍රීඩා කර ඇත්තේ අතපත්තු පමණක් වන අතර ඇය IPL තරගාවලියට සාපේක්ෂව පැවති කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී සුපර් නෝවා කණ්ඩායම නියෝජනය කළාය. ඊට අමතරව එංගලන්තයේ පැවැත්වෙන KIA සුපර් ලීගය ද නියෝජනය කිරීමට ඇයට අවස්ථාව ලැබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<