පදක්කම් නොලත් දක්ෂතාවෙන් සපිරි රන්දෙණි ක්‍රීඩකයෝ

293

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සමිත් ඉසුරු, රවිඳු මිලාන් සහ ඉෂාර මධුවන්ත යනු පාසල් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රීඩකයෝ තිදෙනෙකි. මේ ඔවුන්ගේ කතාව ය.

පාසල් ක්‍රිකට් පිටිය කැලඹූ මොරටු පුත්‍රයා “නිශාන් මධුශ්ක”

නිශාන් මධුශ්ක ප්‍රනාන්දු මොරටු පුරවරයෙන් ක්‍රිකට් ලොවට දායාද වූ තවත් එක් දක්ෂ ක්‍රීඩකයෙකි. මොරටු විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන්….

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්  සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාව අභියසටම පැමිණ හැරී ගියේ ය. ඔවුන් දෙදින ක්‍රිකට් තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ රාජකීය විද්‍යාලය හමුවේ පසු බැස ගිය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ අවසන් පූර්ව තරගයේ දී පසු බැස ගියහ.

කණ්ඩායමක් ලෙසින් පදක්කම් ලැබීමට භාග්‍යවන්ත නොවූවත් ඔවුන් ක්‍රිකට් පිටියේ කතාබහට නතු වෙන ක්‍රීඩකයන් තිදෙනෙක් කරළියට හඳුන්වා දෙමින් සැමගේ අවධානය දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. මේ අතුරින් පළමුවෙන්ම කියැවෙන්නා සමිත් ඉසුරු ය. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 1000ක් සහ කඩුලු 95ක් දවා ගනිමින් දක්ෂතා දක්වන්නේ ය. රවිඳු මිලාන් දක්ෂතා දක්වන්නේ කඩුලු 105ක් ලබා ගනිමිනි. ඉෂාර මධුවන්ත ද ලකුණු 1000ක් ලබා ගනිමින් කාගේත් කතා බහට ලක් වෙන්නේ ය.

මේ ඔවුන්ගේ කතාවයි.  

සමිත් ඉසුරු

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ සුපිරි ක්‍රීඩකයා වන්නේ උපනායක සමිත් ඉසුරු ය. ඔහු මෙවර නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී පිතිකරුවෙක් ලෙසින් ලකුණු 1012ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 95ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

දකුණතින් පන්දුවට පහර දෙන ඉසුරු මෙම ලකුණු ප්‍රමාණය රැස් කිරීමට තරග 15ක ඉනිම් 26කට මුහුණ දී තිබේ. වාර්තා කර ඇති ශතක ප්‍රමාණය 3කි. අර්ධ ශතක 3කි. ඔහුගේ හොඳම ඉනිම වන්නේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 179යි. පන්දු 189ක දී වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.

ඊට අමතරව කටුගස්තොට කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 121ක් ලබා ගන්නා අතර එම ඉනිම පන්දු 179කින් වාර්තා විය. හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් විය. ඉසුරුගේ අනෙක් ශතකය ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව වාර්තා විය. පන්දු 108කට මුහුණ දී හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය. හොරණ තක්ෂිලා විද්‍යාලය (55), මීගමුව සාන්ත පීතර විද්‍යාලය (65), දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලය (75) ට එරෙහිව අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළේය.

දකුණතින් පා දඟපන්දු යවන ඉසුරු මෙවර ලබා ගත් කඩුලු 95ට තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා කිරීමට සමත් වෙන්නේ ය. ඔහුගේ තරගයක පන්දු යැවීමේ හොඳම දක්ෂතාව වන්නේ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට එරෙහිව ලකුණු 98කට ලබා ගත් කඩුලු 13යි. එම තරගයේ දෙවැනි ඉනිමේ දී ඔහු ලකුණු 45කට කඩුලු 8ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම ද වාර්තා කරන්නේ ය.

බලපිටියට රේවත විද්‍යාලයට එරෙහිව ලකුණු 96කට කඩුලු 10ක් ද, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 94කට කඩුලු 10ක් ද, දෙහිවල එස්. ද එස්. ජයසිංහ විද්‍යාලයට එරෙහිව 121කට කඩුලු 10ක් ද සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 74කට කඩුලු 10ක් ද ඔහු දවා ගනිමින් දක්ෂතා දක්වන්නේ ය. මේ අතරින් ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 7ක් ද වාර්තා වන්නේ ය.

ඉසුරු පසුගිය වසරේ දී පිතිකරුවෙක් ලෙසින් කඩුලු 456ක් ද, පන්දු යවමින් කඩුලු 30ක් දවා ගනිමින් ද දක්ෂතා දැක්විය. එමෙන්ම එම වසරේ දී පෑ දක්ෂතා හේතුවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමට ලක්කෙරෙන සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම පන්දු රකින්නා ශූරතාව හිමිවෙන්නේ ද ඉසුරුට ය.

ඉසුරු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමෙනි. එවකට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කළ එම කණ්ඩායම පළමු කොටසට උසස් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට ද ඉසුරු සමත් වෙන්නේ ය.

“මේ තරමින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දක්වමින් දක්ෂතා දැක්වීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මේ දේවල් අපි ලැබුවේ මහන්සි වීමේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි. මේ පිටුපස ඉන්න දැවැන්තයන් වන්නේ අජන්ත කුමාර සර් සහ චමුක මිලාන් සර්. ඔවුන් දෙදෙනා ඇතුළු පාසලේ සෑම දෙනාමත් ගෙදර සියලුම දෙනාමත්  දැක්වූ සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා. පාසල් ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ අපි ක්‍රීඩා කරන්නේ දෙවැනි කොටසේ. ලබන වසරේ දී කණ්ඩායමේ නායකයා ලෙසින් මගේ ඉහළින්ම තිබෙන බලාපොරොත්තුව වෙන්නේ දෙවැනි කොටසින් පළමු කොටසට ඇතුළත් වීමට කණ්ඩායම මෙහෙයවීමත් ඊට අවශ්‍ය දක්ෂතා දැක්වීමයි. ” ඉසුරු පැවැසුවේ ය.

රවිඳු මිලාන්

කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වන්නේ රවිඳු මිලාන් ය. දකුණතින් පිට දඟපන්දු යවන රවිඳු මෙවර තරගාවලියේ දී තරග 15කට සහභාගී වී කඩුලු 101ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 36කට ලබා ගත් කඩුලු 7යි. එම තරගයේ දී දෙවැනි ඉනිමේ දී ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 68කට කඩුලු 13ක් දවා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ය.

රවිඳු ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වෙන්නේ හරි අපූරු ආකාරයකට ය. ඔහුගේ පළමු පාසල වන්නේ කුරුඳුගහහැතැප්ම සාන්ත මරියා විද්‍යාලය ය. නමුත් ඔහු 6 වැනි පන්තියේ සිට ම කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් පුහුණු වීමේ යෙදෙන්නේ ය. ඒ ඔහු ඒ කෙරෙහි දැක්වූ අසීමිත ආශාව නිසා ය. එවකට ඔහුගේ පුහුණුකරු වන්නේ දිනේෂ් කුමාර මහතා ය.

මේ ලෙසින් කාලය ගත වෙද්දී එවකට කරන්දෙණිය විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය රංජිත් ප්‍රියන්ත මහතාගේ මැදිහත් වීම මත රවිඳුට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට පිවිසීමට වරම් ලැබෙන්නේ. එම වසරේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගන්නා ඔහු එම වයස් කාණ්ඩයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කිරීමට ද වරම් ලබන්නේ ය.

එසේ ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹූ රවිඳු මේ වසරේ දී අමතක නොවන පන්දු යැවීම් කිහිපයකින්ම තම කඩුලු ගිණුම සරසා ගන්නේ ය. ඇල්පිටිය ආනන්ද විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය සහ තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කළ කළුතර තිස්ස මහා විද්‍යාලයට එරෙහිව ඔහු තරගය කඩුලු 10කට වැඩි අවස්ථා වාර්තා කරන්නේ ය. ඊට අමතරව ඔහු කෑගලු විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, මීගමුව සාන්ත පීතර විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා ලෙසින් තරග නිමා කර ඇත.

පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වා ඇති රවිඳු නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව වාර්තා කළ අර්ධ ශතක ඉනිම් සමගින් ලකුණු 385ක් ද රැස් කරන්නේ ය.

“මට ක්‍රිකට් ගහන්න ආසාවක් තිබුනත් මේ තරම් දුර එන්න කවදාවත් හිතුවේ නැහැ. ඒත් අද මම නොදැනීම මේ තැනට ඇවිත් ඉන්නවා. මේ පිටුපස දිනේෂ් සර්, ප්‍රියන්ත සර්, අජන්ත සර් සහ චමුක සර් තමයි වැඩි දෙයක් කරමින් සිටියේ. මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පාසල් කාලයේ අවසන් අවුරුද්දේ දී කඩුලු 100ක් ලබා ගැනීමට හැකි වීම ගැන තිබෙන්නේ පුදුම සතුටක්. මේ පිටුපස සිටි සියලු ම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.” රවිඳු පැවසුවේ ය.

ඉෂාර මධුවන්ත

පාසල් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000ක් ලබා ගත් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ අනෙක් ක්‍රීඩකයා වන්නේ ඉෂාර මධුවන්ත ය. වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ඉෂාරගේ පාසල් ක්‍රිකට් සමයේ අවසන් තරගාවලියයි මේ.

මෙවර තරගාවලියේ දී තරග 15කට මුහුණ දී ඉනිම් 27ක දී ලකුණු 1108ක් ලබා ගන්නේ ය. මෙම ලකුණු ප්‍රමාණයට ශතක 4ක් සහ අර්ධ ශතක 5ක් එක් කිරීමට ඔහු සමත් වන්නේ ය. ඔහුගේ ඉනිම් අතර ඉහළින් ම කියැවෙන්නේ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට එරෙහිව පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 5ක් සමගින් ලබා ගත් ලකුණු 148යි. ඊට අමතරව කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 145කට මුහුණ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 137ත්, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පන්දු 116කට මුහුණ දී හතරේ පහර 18ක් සමඟින් ලබා ගත් ලකුණු 110ත් සහ හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව පන්දු 130කට මුහුණ දී  හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 105ත් ශතක ලැයිස්තුවේ ඇත.

කෑගලු විද්‍යාලය (70), බලපිටිය රේවත විද්‍යාලය (65) සහ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය (77) ට එරෙහිව රැස් කරන ලද අර්ධ ශතක ඉනිම් ද ඔහුගේ ලකුණු ගිණුම ශක්තිමත් කර ඇත.

ඉෂාර මෙම වසරට පෙර වසරේ දී ලකුණු 686ක් ලබා ගෙන ඇත. එමෙන්ම ඔහු පිට පිට නිමා වූ වසර දෙකක දී පාසල් ක්‍රිකට් සංගමයේ ඇගයීමට පාත්‍ර වී ඇත. ඒ අනුව 2016/17 වසරේ දී ඩයලොග් සහ මොබිටෙල් සම්මාන උළෙල දෙකේ දී හොඳම පන්දු රකින්නා ශූරතා කුසලානය හිමිකර ගැනීම සහ 2017/18 වසරේ දී ඩයලොග් සම්මාන උළෙලේ හොඳම පන්දු රකින්නා අනුශූරතාවය දිනා ගත්තේ ය.

“මෙවර තරගාවලිය ආරම්භ වෙන වෙද්දී ම මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ලකුණු 1000ක් ගහන්න ඕන කියලා. ඒක මට සැබෑ කර ගන්න හැකි වුනා. ඇත්තටම සතුටුයි. මේ දක්ෂතාවලට එන්න මාව දිරිමත් කළේ අජන්ත සර් සහ චමුක සර්. ඒ දෙදෙනාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ක්‍රිකට් ජීවිතයට උදව් කළ සෑම දෙනාමත් මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරනවා.” ඉෂාර පැවැසුවේ ය.

මේ දක්ෂයන් සියලු දෙනාටම ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<