පාපන්දු ක්‍රීඩකයන්ට සම්මේලනයෙන් අලුත් පාඩමක්

1465
Career guidance for footballers

අනාගතයේදී පාපන්දු ක්‍රීඩකයන්ට E. B. චන්න ක්‍රීඩකයාට අත්වූ අවාසනාවන්ත ඉරණම අත් නොවීමට පියවරක් ගන්නට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත. ඒ සඳහා එම සම්මේලනයේ සභාපති වරයාගේ යෝජනාවකට අනුව ඉදිරියේදී ක්‍රීඩකයන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය හැඩගස්වා ගැනීම සහ අනාගත සැලසුම් සකස් කිරීම පිලිබඳ උපදේශන පාඨමාලා සංවිධානය කිරීමට නියමිතයි.

පසුගිය ලිපි: “මුදල් පිළිබද අක්‍රමිකතා තිබුනේ අපේ පත්වීම් වලට කලින්” – අනුර ද සිල්වා

පාපන්දු ක්‍රීඩකයන්ගේ අනාගතය පිලිබඳ සමාජයේ දැඩි කතාබහට ලක්වුණේ හිටපු පාපන්දු නායක චන්න, මිනී වලවල් කපන කම්කරුවෙක් ලෙස සේවය කරන බව මාධ්‍ය මගින් අනාවරණ කිරීමත් සමගයි. මේ පිලිබඳ බොහෝ දෙනා පල කල අදහස් වලට අනුව මෙරට පාපන්දු ක්‍රීඩාවේ ගුණාත්මක භාවය පිළිබඳවද සැක සංකා මතුවන්නට පටන් ගන්නා ලදී.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ හිටපු සභාපති රංජිත් රොද්‍රිගෝ මහතා පවසන්නේ චන්නගේ ජීවන රටාව බිඳ වැටීමට හේතුව ඔහුගේම වැරදි බවයි.

ඇතිවී තිබෙන තත්ත්වයත් සමග ශ්‍රී ලංකා පාපන්දු සංගමය තීරණය කර ඇත්තේ අනාගත ක්‍රීඩකයින් චන්නගේ තත්ත්වයට ඇද වැටීම වලක්වා ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් උපදේශන සේවා සහ වැඩමුළු පවත්වා ඔවුන් දැනුවත් කරන බවයි.

”අපි එවන් වැඩසටහන් සංවිධානය සඳහා ඉදිරි පියවර අරන් තියනවා. අපි උත්සාහ කරනවා අපේ අනුග්‍රාහක කාර්ගිල්ස් සමාගම සමග සම්බන්ධ වෙලා ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයන්ගේ අනාගතය වඩාත් ඉහල තලයකට ගෙනයාම සඳහා වැඩසටහන් සංවිධාන කරනවා.” යැයි පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී චන්නගේ අසරණ තත්ත්වය පිලිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරන ලදී.

”ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සංගමයේ මූල්‍ය ආධාර ලැබෙන තුරු අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි ලබාදෙන ආධාර වැඩි කරන්න අපිට දැන් හැකිවෙලා තියනවා, ඒ කාර්තුවකට රුපියල් ලක්ෂ 5 කටත් වඩා වැඩියෙන්.”

”අපි මූලික ආරම්භයක් ලෙස සැලසුම් කරලා තියනවා යාපනය, හැටන්, මාතර, බදුල්ල සහ කල්පිටිය යන ප්‍රදේශ වල නව පුහුණු මධ්‍යස්ථාන ගොඩනගන්නට. ඒවා සඳහා පූර්ණ කාලීන පුහුණුකරුවන් පවා යොදා ගැනීමට බලාපොරොත්තු ‍වෙනවා. එවිට එම ප්‍රදේශ වල ක්‍රීඩකයන්ට වඩාත් පහසුවෙන් පුහුණුවීම් සඳහා සම්බන්ධ වී වඩාත් ඉහල මට්ටමේ ක්‍රීඩකයන් බවට පත් විය හැකියි.”

”පුහුණුවීම් වලට අමතරව අපි එම ක්‍රීඩකයන්ට ජීවන  නිපුනතා සහ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කර ගැනීමටද මගපෙන්වීමක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. එමගින් ඔවුන් විනය ගරුක ක්‍රීඩකයන් බවට පත් වනවා වගේම පාපන්දු ක්‍රීඩාවට රටේ ජනතාව තුල තිබෙන පිළිගැනීම වැඩි දියුණු කර ගැනීමටත් එය උපකාරී වෙනු ඇති”

සභාපති වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ වසර 2022 වන විට පාපන්දු ක්‍රීඩාව මෙරට වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කරගැනීමේ එක් පියවරක් වශයෙන් බවයි.

වත්මන් ජාතික පාපන්දු කණ්ඩායම, වඩාත් විනය ගරුක සහ ගෞරවනීය ක්‍රීඩකයන් පිරිසක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සැලසුම් මොනවාදැයි මාධ්‍යවේදීන් මෙහිදී සභාපති වරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

”ඔවුන්ට අපි ලබා දෙන නේවාසික පුහුණුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා කුසලතා වර්ධනය පමණක් නොවේ. එමගින් ඔවුන් හොඳ පුරවැසියන් ලෙස ඉදිරි ජීවිත ගමන සාර්ථක කරගනු ඇති බවටත් අපි බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩාවක නිරතවීම වැඩිහිටියෙකු සතු වගකීම් වලින් බේරීමට හේතුවක් නොවේ.” යැයි ඔහු පිළිතුරු දෙමින් පැවසීය.

තමන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළ කාලය තුල ක්‍රියා කළ ආකාරය උදාහරණ ලෙස ගෙනහැර දක්වමින් සභාපතිවරයා පැවසුවේ මෙවන් කරුණක්.

”මම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු කාලයේදී මම උදේ පුහුණුවීම් සඳහා සහභාගී වෙලා පුහුණුවීම් නිම වුනු වහාම රැකියාව සඳහා පිටත් වුනා. මොකද මට මගේ වෘත්තීය ගමන් මග හැඩගස්වා ගැනීමට අවශ්‍ය වූ නිසා.”

චන්න සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනය පළ කළ අදහස් බොහෝ අවස්තාවලදී විවේචනාත්මක ඒවා වූ නමුත් අනාගතයේදී තවත් ක්‍රීඩකයෙක් එවන් තත්ත්වයකට පත් නොවීමට වග බලා ගැනීම වෙනුවෙන් ඉදිරි පියවරක් තැබීමට තරම් ඔවුන් දූරදර්ශී වීම සතුටට කරුණක්.

මන්ද ‘රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය නොවැළඳීමට වග බලා ගැනීම’ සැමවිටම ප්‍රයෝජනවත් වන බැවිනි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට