1996 මාර්තු 13 – කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණය – ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට කළුපැල්ලමක් එක් කළ ඒ රාත්‍රිය අවසන් වුනේ ළඟ එනු දැනුණු පරාජයේ වේදනාවෙන් වියරු වැටුණු ක්‍රීඩාලෝලීන්ගේ බෝතල් ප්‍රහාර සහ ප්‍රේක්ෂකාගාර තුළ තැනින් තැන දක්නට ලැබුණු ගිණි ගොඩවල් රැසක් සමඟයි.

ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවන් ලකුණු 120කට කඩුලු 8ක් දැවී අසරණව සිටි මොහොතක කුපිත වූ ක්‍රීඩාලෝලීන්ගේ වියරුව අවසන් වූයේ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රදානය කරන්නට තරග තීරකගෙන් ලැබුණු විනිශ්චයකිනි. අනතුරුව ඕස්ට්‍රේලියාව පරදවමින් ශ්‍රී ලංකා කණ්ඩායම එවර ලෝක කුසලානය දිනා ගැනීමට ද සමත් විය.

2017 අගෝස්තු 27 – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය – පසුගිය කාලය පුරාවටම පරාජයේ අවමානය විඳිමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියට ඉතිහාසයේ දරුණුම අවමානය විඳ ගැනීමට සිදුවුනේ ක්‍රීඩකයන්ගේ වරදින් නම් නොවේ.1111

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දර්ශනීය විවෘත ප්‍රේක්ෂක සීමාවේ සිටි ඇතැම් පිරිස් ප්ලාස්ටික් ජල බෝතල්වලින් ක්‍රීඩා පිටිය තුලට පහර දීම ආරම්භ කළේ ඉන්දීය කණ්ඩායමට තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ලකුණු 8ක් පමණක් අවශ්‍යව තිබූ මොහොතකයි. මිනිත්තු 30ක පමණ කාලයක් එල්ල වූ මෙම බාධක මැඩ පැවැත්වීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකයේ පවා සේවය ලබා ගැනීමට සිදු විය. අවසානයේ තවදුරටත් ක්‍රීඩාලෝලීන්ගෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බවට ආරක්ෂක අංශ විසින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් හට දැනුම් දීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට ඉතිරි ලකුණු 8 ලබා ගැනීම සඳහා අවස්ථාව හිමිවුණේ 1996 වසරේ මෙන් නොව මෙම තරගයට නීත්‍යානුකූල ආසානයක් සනිටුහන් කිරීමට අවස්ථාව ලබා දෙමිනුයි.

කෙසේ වෙතත් මෙය, ඉන්දියානු සාගරයේ මුතු ඇටය නම් වූ කුඩා දූපත ජාත්‍යන්තරය ඉදිරියේ අතිශය ලැජ්ජාවට පත්වූ දිනයක් විය. කණ්ඩායම කෙතරම් දුර්වල තත්ත්වයකට පත් වුවත් පරාජය නිහතමානීව පිළිගත හැකි ක්‍රීඩාලෝලීන් පිළිබඳ නම්දරා සිටි අප රටට එම ගෞරවය අවමානයක් බවට පත් කර ගැනීම සඳහා අවැසි වූයේ මිනිත්තු කිහිපයක් පමණි. මෙම අඳුරු සිදුවීම පිළිබඳව මෙරට ක්‍රීඩා තරු තම නිල ට්විටර් ගිණුම් හරහා සිය කනගාටුව පළකර තිබුණේ මෙලෙසයි.

ලොව පුරා ක්‍රීඩාලෝලීන් තම තමන්ගේ කණ්ඩායම් ජයග්‍රහණය කරන අවස්ථාවල දී එකාවන්ව ඔවුන්ට සුබ පැතීම සඳහා ජය ඝෝෂා පවත්වයි. එබැවින් කණ්ඩායම් දිගින් දිගටම පරාජය වන විට එම ක්‍රීඩාලෝලීන් කුපිත වීම සාධාරණ ද? පිළිතුර ලොකු අකුරින් ලියූ ‘නැත’ යන්නකි.

විශ්වීය භාෂාවක් බඳු ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩකයින්, පරිපාලකයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් ද ජයග්‍රහණයේ දී උදම් වන්නා සේ ම, පරාජයේ දී නිහතමානීව එය විඳ දරා ගැනීමට පුරුදු වීම ද, අනිවාර්යයෙන් කළ යුත්තකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජීවයෙන් තොර කළු කුහරයක් තුලින් ගමන් ගන්නාක් වැනි තත්ත්වයකට පත්ව ඇති බව සැබවි. වරෙක ක්‍රිකට් නවකයන් වූ බංග්ලාදේශය සහ ශ්‍රේණිගත කිරීමේ පහතම මට්ටමේ සිටින සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ ලද පරාජයන් කිහිපයකින් පසු ඉන්දීය තරග සංචාරය තුළ තවමත් එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට යෙදෙන පීඩනය හමුවේ නැගී සිටීමට අසමත් වන්නා සේම දිගින් දිගටම පරාජයේ වේදනාව විඳිමින් සිටින ක්‍රීඩාලෝලීන් ද මානසික පීඩනය ඉවසා ගත නොහැකි තැනකට පැමිණ ඇති බවක් දක්නට ලැබේ.

දඹුල්ල ක්‍රීඩාංගණය පිටත සිට “හූ” කියූ සහ විරෝධතා පැවැත්වූ ක්‍රීඩාලෝලීන් මෙන්ම, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට බෝතල්වලින් දමා ගැසූ ක්‍රීඩාලෝලීන් ද පිට කළේ තමන් ආදරය කරන ක්‍රීඩාව වැටී ඇති තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ ඇතිව තිබෙන කනස්සල්ලයි. කෙසේ වෙතත් කණ්ඩායමට තම සහය අවශ්‍යම කරන මොහොතේ එම වගකීම ඉටු නොකර කණ්ඩායම තවත් පහතට ඇද දමන තත්ත්වයට තමන් ඇදවැටීම කෙතරම් මානුෂීය දැයි, පළමු ගල ගසන්නට පෙර සැවොම සිතා බැලිය යුතු කරුණකි.

ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් ඉතිහාසය පුරාවටම කණ්ඩායමේ සාර්ථකත්වය මෙන්ම අසාර්ථකත්වය හමුවේ ද තම ක්‍රීඩකයන් වටා එක්ව සිටි බව නොරහසකි. ලෝක කුසලාන තරගාවලි කිහිපයකම ජය පෙනෙන මානයට පැමිණ ආපසු හැරීමට සිදු වූ අවස්ථාවල දී මෙන්ම ලෝක ශූරයන් ලෙස තරගාවලියට පිවිස පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූ 1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ද මෙරට ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාරය වුනේ ‘අපි ඔබ සමඟයි’ යන්නයි.

එමෙන්ම ලොව පුරා ක්‍රීඩා විචාරකයන් මෙරට ක්‍රීඩාලෝලීන්ව හඳුන්වන්නේ පපරේ සංගීතයත් සමඟින් මුසුවන බයිලා තාලයන් ඔස්සේ ක්‍රීඩා පිටිය උත්සව සිරියෙන් බබළවන පිරිසක් ලෙසයි. තරගයේ විසඳුම කුමක් වුවත් ‘ජයග්‍රහණයට වඩා සහභාගීත්වය වැදගත්ය’ යන ක්‍රීඩාවේ මූලික වටිනාකම කූටප්‍රාප්තියට ගෙන යාමට සමත්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් තවත් වැඩි ජවයකින් කණ්ඩායම වටා එක්රොක් විය යුතු කාලය දැන් එළඹ තිබේ.121212

එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අප ක්‍රීඩකයන් වටා එකමුතු විය යුතුව තිබේ. ඔවුන් නැවතත් තරග දිනවන්නන් බවට පත් කරන්නට, ඔවුන් නැවතත් කුසලාන අත දරන්නන් බවට පත් කරන්නට, ඔවුන්ව නැවතත් ප්‍රතිවාදීන් බියට පත් කරවන කණ්ඩායමක් බවට පත් කරන්නට ඔබගේ ආදරය, විශ්වාසය සහ ඉවසීම අවශ්‍යව තිබේ. කණ්ඩායම මේ වන විට පදුරෙනුත් බිමට වැටී ඇති බව රහසක් නොවේ. එබැවින් ආදරණීය සහයක් සඳහා දිගු කෙරෙන දෑතකින් මිස වෛරයෙන් එල්ල වන පා පහරකින් වැටුණු කෙනෙකු නගා සිටුවීමට නොහැකි බව අප තේරුම් ගත යුතුව තිබේ.

ඇතැම් ඉන්දියානුවන් පරාජයේ දී අතිශය වියරුවෙන් රූපවාහිනී යන්ත්‍ර පවා විනාශ කරමින් සහ ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබා ඔවුන්ගේ නිවාසවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් උමතු ලෙස හැසිරෙනු අප අනන්තවත් දැක ඇති නමුත්, අපි ද අපගේ අසල්වැසියන්ගෙන් එම පාඩම උගත යුතු නැත. මන්ද ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව සහ අධ්‍යාපන මට්ටම ඉන්දියාවට වඩා ඉහල තලයක පවතිනවා සේම මිනිස්කම් අතින් පොහොසත් අතීතයකට ද අප හිමිකම් කියන නිසාවෙනි.

තවත් පාලනය විය යුතු ප්‍රධාන කරුණක් ඇත. ඒ අන් කිසිවක් නොව ක්‍රීඩාව ගැන නිසි අවබෝධයකින් තොරව විවිධ නිශේධනීය කරුණු සමාජගත කරන ‘මුහුණු පොතේ වීරයන්’ ය. ඇතැමුන් නිපදවන අමනෝඥ ඡායාරූප සහ පෝස්ට් තවත් බොහෝ දෙනා විසින් කිසිදු සොයා බැලීමකින් තොරව බෙදා හැරීම (ශෙයා කිරීම) තුලින් සිදු වන්නේ ක්‍රීඩාව ගැන නොදන්නා අයෙකුගේ පෞද්ගලික අදහසක් සමාජගත වීම තුලින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තව තවත් වලපල්ලට යාමයි. දඹුල්ලේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවල ඇතිවූ සදාචාර විරෝධී හැසිරීම් සඳහා ක්‍රීඩාලෝලීන් උසිගැන්වීම සඳහා සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වෛරී අදහස් ප්‍රධාන සාධකයක් වූ බව කිව යුතුමය.adasdas

ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවත් ගෞරවනීය ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රෞඪ ජාතියකි. ක්‍රිකට් යනු මෙරටට ක්‍රීඩාවකට වඩා ආගමක් එසේත් නැතහොත් ජීවිතයේ කොටසක් බවට පත් වුනේ අද ඊයේ නම් නොවේ. එබැවින් මෙරට පොදු ජනතාවගේ වීරයෙකු වන කුමාර් සංගක්කාර පසුගියදා ThePapare.com වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී පැවසු කරුණක් යලි සිහිපත් කිරීම අගනේ යැයි සිතමු. ”ශ්‍රී ලංකාව කලබල විය යුතු නැත.”

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිදුවීමට යන දේ පිළිබඳ ඔහුට ඉවෙන් මෙන් දැනුණා දැයි අපි නොදනිමු. නමුත් කලබල නොවී සිටියා නම් ප්‍රෞඪ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වූ කළු පල්ලමේ අවමානය වළක්වා ගැනීමට තිබුණු බව නම් සැබෑවකි.

දැන් මේ තරගාවලිය පරාජය වී අවසානය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අවසන් වී නැත. 2019 ලෝක කුසලානයට සඳහා ස්ථීර සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරි තරග දෙකේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. ”මේ තරග අනිවාර්යයෙන්ම ජය ගත යුතු බව අපි දන්නවා. ඉතින් අපි කොළඹ ඇවිත් කණ්ඩායමේ පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කළ යුතුයි අපි මොනවද දියුණු කර ගත යුතු කරුණු කියලා වැඩ බලන නායක චාමර කපුගෙදර 3 වන තරගයෙන් පසු පැවසුවේ එලෙසයි.

ඉදින්, වසර ගණනාවක් අපගේ දුක් කම්කටොළු අමතක කරන්නට මෙන්ම ජාතියක් වශයෙන් එකම අරමුණක් වටා පෙළ ගැසෙන්නට හේතුවක් වූ අපේ ආදරණීය ක්‍රිකට් යලිත් ජයග්‍රාහී මාවතට ගෙන යාමේ වගකීමෙන් විශාල කොටසක් පැටවෙන්නේ අපගේ කර මතයි. එබැවින් ශ්‍රී ලාංකිකයිනි,  වෛරය වෙනුවට ආදරය රැගෙන ඛෙත්තාරාමයට එන්න.. නිදා සිටින සිංහයන් යලි නැගිටිනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<