ලෝකයේ හොඳම පන්දු යවන්නා බුම්රාහ් – තෙන්ඩුල්කාර්

245

ජාස්ප්‍රිට් බුම්රාහ් මේ වන විට ලොව හොඳම පන්දු ‍යවන්නා බවට පත්ව ඇති බව හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පවසනවා. කලක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයාව සිටි සචින් මෙලෙස අදහස් දක්වා ඇත්තේ පසුගිය ඉරිදා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුවයි.

එම තරගයේ දී බුම්රාහ් පන්දුවාර 4ක දී ලකුණු 14කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. එම තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කළේ එක් ලකුණකිනි.

බංග්ලාදේශය කොදෙව්වන්ට අනතුරු අඟවයි

අයර්ලන්ත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ …..

බුම්රාහ්ගේ පන්දු 24ටම එකදු හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නොහැකි විය. ඔහුගේ පන්දුවාර 4 තුල පන්දු 13ක දී ම ලකුණු ලබා ගැනීමට ද චෙන්නායි කණ්ඩායම අසමත් විය. මෙම දක්ශතාවන් බුම්රාහ් හට අවසන් තරගයේ වීරයා සම්මානය ද හිමිකර දීමට සමත් විය. අවසන් මහා තරගයෙන් අනතුරුව IPLT20.com වෙත තෙන්ඩුල්කාර් හා යුවරාජ් සිං අදහස් දක්වා සිටියා.

“මේ වෙද්දී ලෝකයේ හොඳම පන්දු ‍යවන්නා බවට බුම්රාහ් පත්වී අවසන්.” තෙන්ඩුල්කාර් පැවසීය. තෙන්ඩුල්කාර් ‍යුවරාජ්ගෙන් බුම්රාහ්ගේ පන්දුවලට මුහුණ දීමට අපහසු වීමට හේතු විමසා සිටි අතර එහි දී යුවරාජ් පවසා සිටියේ ඔහුගේ පන්දු ‍යැවීමේ අසාමාන්‍ය ඉරියව්ව නිසා ඔහු එවන පන්දුව හදුනා ගත නොහැකි බවයි.

“මම හිතන්නේ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ උපරිමයට ඔහු ළඟා වී තිබෙනවා.“ යුවරාජ් පවසා සිටි අතර තෙන්ඩුල්කාර් ද එයට එකඟත්වය පලකර ඇත.

“ඔහුගේ දක්ෂතා බැලුවම ඔහු ලෝකයේ හොඳම පන්දු ‍යවන්නා බවට සැකයක් නෑ. නමුත් ඔහුගේ තවත් දක්ෂතා අපිට ඉදිරියේ දී බලා ගන්න පුළුවන් වෙයි.” තෙන්ඩුල්කාර් තවදුරටත් පවසා සිටියා.

බුම්රාහ් මුම්බායි කණ්ඩායමේ හා මුම්බායි ක්‍රීඩාලෝලීන්ගේ නොමද ආදරයට ලක්ව සිටි. පසුගිය වසර කිහිපයේ දී ද බුම්රාහ් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විශාල වගකීමක් ඉටු කළ අතර මෙවර තරගාවලියේ දී ද ඔහුගේ දක්ෂතා කැපී පෙනිනි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්දුවාර 60කට වඩා යැවූ ක්‍රීඩකයන්ගෙන් අඩුම ලකුණු ලබා දීමේ සාමාන්‍යය (Economy Rate) රශීඩ් ඛාන්ට හිමිවී ඇති අතර එය 6.28කි.

මෙවර තරගාවලියේ දී බුම්රාහ් කඩුලු 19ක් දවා ගත් අතර රශීඩ් ඛාන් කඩුලු 17ක් දවා ගැනීමට සමත් විය. පන්දුවාර 40කට වඩා යැවූ ක්‍රීඩකයන් අතර හොඳම ලකුණු සාමාන්‍ය රශීඩ් ඛාන් (6.28), රවීන්ද්‍ර ජඩේජා (6.35), යුස්වේන්ද්‍ර චාහල් (6.55) පමණක් බුම්රාහ්ට  ඉදිරියෙන් පසුවේ. ඔවුන් අතරින් වැඩිම කඩුලු ලාභියා බුම්රාහ් බවට පත්ව ඇත.

කගීසෝ රබාඩා සුව අතට?

ආබාධයකට ලක්ව සිටින දකුණු අප්‍රිකා සුපිරි වේගපන්දු ………….

“මම උත්සාහ කරනවා කලබල නැතුව ඉන්න. කලබල නැතුව මගෙ වැඩේ සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. සරලව පන්දු ‍යවන්න මම හැමවෙලේම බලනවා. මම හිතන්නේ ඒක තමයි සාර්ථකත්වයට හේතුව” තම දක්ෂතාවයන් පිළිබඳව අදහස් දක්වමින් බුම්රාහ් පවසා සිටියා.

මෙවර තරගාවලියේ දී ජාස්ප්‍රිට් බුම්රාහ් පන්දුවාර 17ත් 20ත් අතර පන්දු 172ක් යවා ඇත. කගීසෝ රබාඩා එම සටහනේ දෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ පන්දු 120ක් යවමිනි. මෙම පන්දුවාර තුල දී බුම්රාහ්ගේ ලකුණු සාමාන්‍ය 7.67ක් ලෙස සටහන්ව ඇති අතර ඔහුට දෙවැනි වන ක්‍රිස් මොරිස්ගේ අවසන් පන්දුවාර තුල ලකුණු සාමාන්‍ය 8.61කි.

මෙම අවසන් පන්දුවාර තුල දී ජාස්ප්‍රිට් බුම්‍රාහ් කඩුලු 13ක් දවා ගැනීමට සමත්ව ඇති අතර කගීසෝ රබාඩා අවසන් පන්දුවාර තුල දී ලබා ගත් කඩුලු 17ට පමණක් ඔහු දෙවැනි වේ.

ජාස්ප්‍රිට් බුම්රාහ් පිතිකරුවන් වෙත එල්ල කරන පීඩනය නිසා පිතිකරුවන් ඔහු හමුවේ අසරණ වන අතර ඔහු ලබා ගත් කඩුලු හා ඔහුගේ ලකුණු සාමාන්‍ය ඒ පිළිබඳව සාක්ෂි සපයයි. තරගයේ තීරණාත්මක අවස්ථාවන් වලදී ඔහු විසින් එල්ල කරන පීඩනය නිසා ප්‍රතිවාදීන්ට තරගය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන් අවම වේ.

මුම්බායි කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක සහීර් ඛාන් පවසා ඇත්තේ බුම්රාහ් මුම්බායි කණ්ඩායමට විශාල සේවයක් සිදු කරන බවයි. “ඔහු කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරනවා. මුම්බායි කණ්ඩායම වෙනුවෙනුත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙනුත්”

“කලබල නැතිව හදිසි නැතුව කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන්ගෙන් ඉගෙන ගනිමින් එතරම් පීඩනයක් ගන්නේ නැතුව ඔහු පන්දු ‍යවනවා. ඒක තමයි ඔහුගේ සාර්ථකත්වය” සහීර් ඛාන් බුම්රාහ්ගේ පන්දු යැවීමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියා.  

විශිෂ්ට තරගයකින් පසු IPL රන් කිරුළ මුම්බායි පිළට!

සමස්ථ ක්‍රිකට් ලෝකයම තම වසඟයට ගනිමින් ඊයේ ……..

සහීර් ඛාන් බුම්රාහ් පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු මුරණ්ඩු ක්‍රීඩකයෙක් බවත් කණ්ඩායම වෙනුවෙන් නව සැලසුම් සකස් කිරීමට ඔහුගෙන් විශාල දායකත්වයක් ලැබෙන බවත් කියා සිටියා. ජාස්ප්‍රිට් බුම්රාහ් සමඟ පන්දු ‍යැවීම ගැන කරන කතාබහ ඉතාමත් වටිනා බවත් සහීර් ඛාන් පවසා ඇත.

එවැනි සාකච්ඡාවන් කිහිපයක්ම සහීර් ඛාන් හා ජාස්ප්‍රිට් බුම්රාහ් අතර සිදුව ඇති අතර outswing පන්දු යැවීම පිළිබඳව ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. අවසන් තරගයේ දී බුම්රාහ් විසින් මහේන්ද්‍ර සිං දෝනි වෙත එල්ල කරන ලද පන්දු වල එම ලක්ෂණ පැවති අතර දෝනිට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ද සමත් විය.

“ඔහු outswing පන්දු ගැන මාත් එක්ක ගොඩක් කතා කරා. තරගාවලියේ ආරම්භයේ පටන් අපි ඒ ගැන කතා කරා” සහීර් ඛාන් පිළිබඳව අදහස් දක්වමින් බුම්රාහ් පවසා සිටියා.  “මම ඔහුට කිව්වා මම ඒ පන්දු ‍යවන්නම් කියලා. ඔහු තමයි කිව්වේ මම ඒක වැඩියෙන් පාවිච්චි කරන්න ඕනෙ කියලා. මම අද ඒ විදිහට කරා. ඔහුට ගොඩක් සතුටුයි” තවදුරටත් අදහස් දක්වමින් බුම්‍රාහ් පැවසීය.

2019 ලෝක කුසලානයේ දී ද ජාස්ප්‍රිට් බුම්‍රාහ් ඉන්දියාවේ ප්‍රධානම තුරුම්පුවක් වනු නොඅනුමානය. එංගලන්තයේ තණතිලි වලදී ඔහුගේ පන්දු වඩාත් සාර්ථක වනු ඇත.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<