‘Center’ ස්ථානයෙන් ‘Number 8’ වලට මාරු වුන බුවනෙක උඩන්ගමුව

806

මධ්‍යම කඳුකරයේ අගනගරය වන මහනුවරින් රග්බි ක්‍රීඩාවට පිවිසෙන බුවනෙක ‘බුවා’ උඩන්ගමුව වේගයෙන් මෙන්ම ශක්තියෙන් ද පරිපූර්ණ ක්‍රීඩකයෙකි.  

පැවැත්වෙන සෑම තරගයක දී ම ප්‍රතිවාදී පාහේ ක්‍රීඩකයින් පසුකර යමින් උත්සාහක දිනුම් වාර්තා කර ගනිමින් සහ ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට ඉදිරියට පැමිණීමේ දී ප්‍රබල අභියෝගයක් වෙමින් ඔහු කණ්ඩායමට ලබා දෙන දායකත්වය සුවිශේෂී වේ.

‘Number 8’ ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු සිය ක්‍රීඩා දිවියේ පරිවර්තනයක් සිදු කරන්නේ 2015 වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජයේ දී ය. ඒ අනුව ඒ දක්වා ඔහු පසු පෙළ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරනු ලැබුවත්, මෙම පරිවර්තනයත් සමඟ ඔහුට කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩා කරන්නට සිදු විය. කෙසේ නමුත් මෙම පරිවර්තනය සිදු කිරීම සඳහා ඔහුට එතරම් ළැදියාවක් එකල තිබුණේ නැත.

මහනුවර ප්‍රහාරයෙන් පොලිසියට දැඩි අලාභ හානි

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ අවසන් තරගය අද (30) මහනුවර ක්‍රීඩා…..

කෙසේ නමුත් එතැන් පටන් ඔහු ඉතාමත් ආඩම්බරයෙන් යුතුව අංක 08 ජර්සියෙන් සැරසෙමින් සිය උපරිමය කණ්ඩායමට ලබා දීමට සමත්ව ඇත්තේ මේ දක්වා කණ්ඩායමේ සිය ස්ථානය ද තහවුරු කර ගනිමිනි. එමෙන්ම මෙම පරිවර්තනය, ඔහුට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ද ඉවහල් වූ අතර ඒ අනුව ඔහුගේ පුහුණුකරු ඔහුව ‘Number 08’ ස්ථානය වෙත මාරු කිරීම පිළිබඳව ඔහු ඉතාමත් සතුටින් පසුවෙයි.

උඩන්ගමුව රග්බි ක්‍රීඩාවට අත්පොත් තබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි. සිය ජිවිතයට නැවතත් නොපැමිණෙන එම සුන්දර පාසල් කාලය සහ පාසල් රග්බි පුහුණුවීම් කටයුතු පිළිබඳව ඔහු මතක් කරන්නේ දැඩි සතුටකින් යුතුව ය.

පාසල් රග්බි ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු 2010 වසරේ දී සමස්ත ලංකා සත් සාමාජික තරගාවලිය සහ 2012 වසරේ ‘B’ කාණ්ඩයේ, 2013 වසරේ ‘Singer’ පාසල් රග්බි ලීග් කුසලානය ජයග්‍රහණය කළ සිය පාසල් කණ්ඩායම්වල සාමාජිකයෙක් වශයෙන් කටයුතු කළ අතර අනතුරුව සිය වෘත්තීමය ක්‍රීඩා දිවියේ දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟින් ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් කුසලාන, ක්ලිෆර්ඩ් කුසලානය සහ සත් සාමාජික කුසලාන ද ජයග්‍රහණය කිරීමට ඔහු සමත්ව ඇත. ඒ අනුව ඔහු කුසලාන කිහිපයක්ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති කණ්ඩායම්වල සාමාජිකත්වය දරා ඇත.

2017 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු අදියර තුළ ඉහළම දක්‍ෂතා දැක්වූ ‘Number 08’ ක්‍රීඩකයා වශයෙන් ඔහුව හඳුනාගත හැක. එමෙන්ම මේ දක්වා ඉහළම දක්‍ෂතා දැක්වූ ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙස ද ඔහුව හඳුනා ගැනීමේ වරදක් නැත. පන්දුව ඉදිරියට රැගෙන යාමේ දී ඔහු දක්වන දක්ෂතාවය ඉතා සුවිශේෂී වන අතර අනෙක් පසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් 4-5 දෙනෙක් වෙත එකවර යාමට ඔහු දක්වන දක්‍ෂතාවය හරහා මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල පසු පෙළ ක්‍රීඩකයින් හට පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුම් වාර්තා කර ගැනීමට ඉතා මැනෙවින් ඉඩකඩ සෑදේ.

නාවිකයන් CH පිටියේ ලකුණු පුවරුව වැලිසරට ඔසවා ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තරගයක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC…

ThePapare.com අපි මෑතක දී ඔහු සමඟ සුහද පිළිසඳරක යෙදුණු අතර එහි දී ඔහු අප සමඟ දැක්වූ අදහස් මෙසේය;

ඔබ වෘත්තීමය රග්බි ක්‍රීඩාවට පිවිසෙන්නේ ඇයි?

මගේ සහෝදරයා අරවින්ද උඩන්ගමුව. ඔහු මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. ඉතින් අපි ඔහුගේ තරග බලන්න යන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා තමයි පොඩි කාලෙම මට රග්බි ක්‍රීඩා කරන්න උනන්දුවක් ආවේ.

ඔබට පවුලේ අයගෙන් ලැබුණ සහයෝගය කොයි වගේද?

මට අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇය තමයි මගේ පසුපසින් සිටියේ. මට අවශ්‍ය පෝෂක වගේ දේවල් හැම දෙයක්ම දීලා රග්බි ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න උදව් කළේ ඇය.

රග්බි ක්‍රීඩාවේ ඔබට අමතක නොවන සිදුවීම මොකක්ද?

2013 වසරේ දී පාසල් රග්බි ලීග් ශූරතාවය දිනා ගත්ත එක. අපි ‘A’ කාණ්ඩයට පැමිණියත් කවුරුත් අපිට අවස්ථාවක් ලබා දුන් නැහැ. අපි තරගවල දී ක්‍රීඩා කරන කොට පවා අපිට කිව්වේ “B කාණ්ඩය ලේසි වුනා කියලා මේක එහෙම ලේසි වෙන් නැහැ. එන්න අපි පෙන්නන් නම් මේක කරන්නේ කොහොමද” කියලා. ඒත් අන්තිමේ දී අපිට පුළුවන් වුනා ඒක කරන හැටි පෙන්නන්න. එහි දී පළමු තරග දෙකේ දී අපි ත්‍රිත්ව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය පරාද කළාට පස්සේ අපිට විශ්වාසයක් ආවා තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මට කවදාවත් අමතක වෙන් නැහැ කුසලානය ජයග්‍රහණය කරලා වේදිකාව උඩ අපි අපේ පාසල් ගීතය ගායනා කරපු ඒ අවස්ථාව.

ඔබ ‘Center’ ස්ථානයේ ඉඳලා ‘Number 08’ ස්ථානය දක්වා මාරු වෙන්නේ ඇයි?

‘Center’ ස්ථානයේ ඉඳන් ‘Number 8’ ස්ථානය දක්වා? ඒක මටත් ඕන වුන දෙයක් නෙමෙයි. ඒ කාලේ මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ජොහාන් ටේලර් තමයි මගෙන් ඒ වෙනස්කම කරන්න කියලා ඉල්ලුවේ. ඔහු පැවසුවා මට ‘Number 08’ ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය ගුණාංග තියෙනවා කියලා. මුළු ජීවිත කාලෙම මට ඕන වුණේ ‘Center’ ක්‍රීඩකයෙක් වෙන්න. නමුත් දැන් ඒ ගත්ත තීරණය ගැන ප්‍රශ්නයක් නැහැ. මම ගොඩක් දුර ඇවිත් තියෙන්නේ. මම තාමත් මම ක්‍රීඩා කරන ආකාරය ගැන සතුටින් ඉන්නේ.

ඔබේ ප්‍රියතම රග්බි ක්‍රීඩකයා කවුද?

මා නෝනු. ඔහු තමයි හොඳම ‘Center’ ක්‍රීඩකයා. ඔහු ප්‍රතිවාදීන් වෙත යන්න බය නැහැ. ඒ වගේම ඔහු ඉතාමත් වේගවත්. ඒකෙන් මට පාසල් කාලයේ දී සහ මහනුවර ක්‍රීඩා සමාජයේ දී, මම ‘Number 08’ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරපු ආකාරය මතක් වෙනවා.

රග්බි ක්‍රීඩා දිවිය අවසානයේ ඔබේ අනාගතය කොහොම වෙයිද?

මම ආසයි පුහුණුකරුවෙක් වෙන්න. සමහර විට ඉදිරි පෙළ ක්‍රීඩා පුහුණුකරුවෙක්. නමුත් කියන්න බැහැ. මගේ වයස තාම අවුරුදු 23යි. මට තව ගොඩක් කාලයක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවා වෙයිද කියලා.

අවසාන වශයෙන් කාට හරි ස්තුති කරන්න තියෙනවා නම්?

මුලින්ම මම කැමතියි මගේ දෙමාපියන්ට, සහෝදරයාට සහ සියලුම නෑදෑයින්ට ස්තුති කරන්න. ඒ වගේම මගේ කනිෂ්ඨ පුහුණුකරුවන් වෙච්ච කස්තුරිආරච්චි මහතාට සහ ජේ. බී. හේරත් මහතාට මට රග්බි ක්‍රීඩාව පිළිබඳව මූලික දැනුම ලබා දුන්නට. ඒ වගේම මට දුන්න මාර්ගෝපදේශකත්වය වෙනුවෙන් මගේ වයස අවුරුදු 16න් පහළ පුහුණුකරු නිර්මාල් විජේසිංහ මහතාට. ඒ වගේම වෝල්ටර් සර්ට සහ සී. එස්. ඒකනායක මහතාටත්. ඒ වගේම මට මේ ස්ථානයට එන්න උදව් කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් ධර්මරාජ විද්‍යාලයේ හැමෝටමත් මම ස්තුතිවන්ත වෙනවා.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<