වසර 20කට පසු BRC සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය නැවතත්

328
BRC සික්සස් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අනුග්‍රාහක චෙක්පත පිරිනමමින් ©ThePapare.com
BRC සික්සස් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අනුග්‍රාහක චෙක්පත පිරිනමමින් ©ThePapare.com

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර් සමාජ සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් වූ “BRC සික්සස්” තරඟාවලිය, වසර 20ක නිහැඬියාවකින් පසුව නැවතත් මේ මස 12 සහ 13 යන දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව, BRC ක්‍රීඩා සංගම් ශාලාවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කෙරුනි.

පසුගිය ලිපි:  ක්‍රීඩකයින් 80ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු යටතට

1969දී ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දහස් ගණනක් උනන්දුවෙන් නරඹන තරඟාවලියක් බවට පත්ව තිබුණි. අවසන් වරට තරඟාවලිය පැවැත්වූයේ BRC ක්‍රීඩා සමාජයේ ශතක සංවත්සරය යෙදී තිබූ 1996 වසරේ, එවකට BRC නායක දීපාල් මදුරප්පෙරුම ක්‍රීඩා කරන සමයේදීය.

මෙවර තරඟාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 16කගේ සහභාගීත්වයෙන් BRC ක්‍රීඩාංගනයේදී හා කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත. ප්‍රථම දිනය ලීග් ක්‍රමයටත්, දෙවන දිනය තරඟාවලියේ හොඳම කණ්ඩායම් 8 අතර පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයටත් පැවැත්වීමට නියමිතය.

සහභාගී වන ක්‍රීඩා සමාජයන් 16

BRC, SSC, NCC, CCC, දෙමළ සංගම් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, මූවර්ස් ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය, බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය, බදුරලිය ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය, රාගම ක්‍රිකට් සමාජය, ගාල්ල ක්‍රිකට් සමාජය, සැරසන්ස් ක්‍රිකට් සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය.

මෙවර තරඟාවලියේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇති තවත් කරුණක් නම් ශූරයන්ට පිදෙන රුපියල් මිලියනයක ත්‍යාග මුදලත්, අනුශූරයන්ට පිදෙන රුපියල් 250,000ක මුදලත් ය.

තරඟාවලියේ ප්‍රධාන පෙලේ අනුග්‍රාහකත්වය BRC සමාජය විසින් දරන අතර ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම දෙවන පෙල අනුග්‍රාහකත්වය දරනු ලබයි. විෂන් කෙයා සහ ලිට්‍රෝ ගෑස් යන සමාගම් තෙවන පෙල අනුග්‍රාහකත්වය දරයි.

ඩයලොග් ආයතනය වෙනුවෙන් අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම සිදුවූයේ ඩයලොග් ආසිආටා ආයතනයේ ජංගම විදුලි සංදේශ අංශයේ, ව්‍යාපාර ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා අතිනි.

තරඟාවලිය තුළ විශේෂ නීති රීති කිහිපයක්ම ක්‍රියාත්මක වන අතර පිතිකරුවෙකු ලකුණු 31ක් ඉක්මවා ගිය පසු ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු වශයෙන් විවේකාගාරය වෙත යා යුතු වෙයි. පන්දුවාර 5ක කාලයක් තුළ අවසන් පිතිකරු යුගලය දැවී යන්නේ නම් ඔහුට නැවත පිටියට පැමිණ පිතිකරණයේ යෙදිය හැකිවේ.

වයිඩ් සහ නිපන්දු සඳහා ප්‍රතිවාදීන්ට ලකුණු දෙකක් පිරිනැමෙන අතර ඒ වෙනුවෙන් සාමාන්‍ය පරිදි තවත් පන්දුවක් බැඟින්ද යැවිය යුතු වේ.

සියළු තරඟ රතු පන්දුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර ක්‍රීඩකයන් සුදු වර්ණයෙන් සැරසී ක්‍රීඩා කිරීමටද නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට