ශ්‍රී ලංකා ක්‍රිකට් කරලියේ වේගපන්දු පෙරලියක් ඇතිවෙමින් තිබෙන බව ජාතික වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක පවසයි. එහි ප්‍රතිඵල අනාගතයේදී දැක බලා ගත හැකි බව විශ්වාස කරන ඔහු වැඩි දුරටත් පවසන්නේ 19 හැවිරිදි නවක, වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යවන දිනය වැඩි ඈතක නොවන බවයි.

පසුගිය ලිපි: හොකී පිටියෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියට – ලහිරු කුමාර

ලහිරු කුමාර කේප් ටවුන් හීදී පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 6ක් දවා ගන්නට සමත් වුනේ, වයස අවුරුදු 20 සම්පූර්ණ වීමට පෙර ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගත් දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනුයි.

”අපි ඔහුව හඳුනා ගත්තේ වයස අවුරුදු 15 දී. ඔහු වයස අවුරුදු 19න් පහල මට්ටමේදීත් ඉතා ඉහල දස්කම් දක්වා තිබෙනවා. ඔහු සතුව වේගය පැවතුනත් ඔහු පාලනයකින් තොරව සහ කෙටි පන්දු යැවුවා. බොහෝ යොවුන් වේග පන්දු යවන්නන් ඒ වයසේදී පන්දු යවන්නේ පාලනයකින් තොරවයි. නමුත් අපි ඔහු සමඟ පුහුණුවීම් ආරම්හ කලාට පස්සේ ඔහු නිසි ස්ථාන වල පන්දුව පතිත කිරීමට සමත් වුනා. කඩුල්ල වෙතට දෝලනය වන පන්දු යැවීමට ඔහු තුල නිසඟ හැකියාවක් තිබෙනවා. ඔහු පැයට කිලෝමීටර් 140ට වඩා වැඩි වේගයෙන් පන්දු යවනවා. ළඟදීම ඔහු පැයට කිලෝමීටර් 150 වේගයට ලඟා වේවි. ඔහුට තවමත් වයස අවුරුදු 19ක් නිසා ඔහු තවමත් ඉගෙන ගන්නවා. ලොව හොඳම කණ්ඩායමකට එරෙහිව කඩුලු 6ක් ලබා ගැනීම ඉතාම විශිෂ්ඨ දස්කමක්. ඔහු ඒ සඳහා ඉතාමත් හොඳ පන්දු යොමු කළා. සැමවිටම නිසි ස්ථාන වලට පන්දුව පතිත කිරීමේ කලාව ප්‍රගුණ කිරීමට ඔහුට හැකිවුනොත්, ඔහු ඉතාමත් විශිෂ්ඨ ගනයේ පන්දු යවන්නෙක් බවට පත් වේවි.” රාමනායක පවසයි.

පැයට කිලෝ මීටර් 150ක වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක් කණ්ඩායමට ඇතුලත් වීම පිලිබඳ බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කුළුගන්වන සුළු කරුණකි. එය එසේ සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම විදෙස් තරඟ සංචාර වලට සහභාගී වීමේදී තණකොළ සහිත තණ තීරු සැකසීම පිළිබඳව ප්‍රතිවාදී කණ්ඩායම්වලට දෙවරක් සිතා බැලීමට සිදුවනු ඇති. මන්ද, ඔවුන්ගේ සැලැස්ම ඔවුන්ට එරෙහි අවියක් බවට පත්වීමේ ඉඩ ඇති හෙයිනි.

”ලහිරුට සිදුවනවා ඔහුගේ ශාරිරික යෝග්‍යතාවය වර්ධනය කර ගැනීමට සහ පවත්වාගෙන යෑමට. ඔහු වේගයෙන් පන්දු යවනවා. නමුත් වැදගත්ම දේ තමයි නිවැරදි ස්ථානවල පන්දුව පතිත කිරීම. පන්දු යැවීමේ වේගය එන්නේ ජානවලින්. ඔහු සතුව සෑම විටම ඒ වේගය පැවැතුණා. කොහොම වුණත් විශිෂ්ඨ පන්දු යවන්නෙක් බවට පත් වෙන්නනම් ඔහුට සිදුවෙනවා ශාරිරික යෝග්‍යතාවය වගේම ශක්තිය සහ තාක්ෂණයත් දියුණු කරගන්න.” රාමනායක වැඩිදුරටත් පවසයි.

මෙරටින් බිහි වූ තවත් වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක් ලෙස බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ දුෂ්මන්ත චමීර ද පැහැරබර අනාගතයක පෙර ලකුණු පෙන්නුවත්, අවාසනාවන්ත ලෙස ඔහුට 2014 වසරේ වැඩි කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවුණේ ආබාධයක් හේතුවෙන්. නැවත කණ්ඩායමට එක්ව පෝට් එළිසබත්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළද චමීරට එහිදී බොහෝ අවස්ථාවල නිවැරදි ඉලක්කයට පන්දුව යොමු කිරීමට හැකිවුණේ නැහැ.

”ඔහු දැන් සුව අතට පත්වි තිබෙනවා. ඔහුට තිබුණේ පිට කොන්දේ ආතතිය නිසා ඇති වන ආබාධයක් (Stress fracture). එවැනි ආබාධයක් ඇති වුණාම ක්‍රීඩකයින්ගෙන් 100%ක දක්ෂතාවක් බලාපොරොත්තු විය නොහැකියි. ඔහු ආබාධයට ලක්වීමට පෙර අපිට හිටිය හොඳම පන්දු යවන්නන්ගෙන් කෙනෙක්. මට විශ්වාසයි ඔහු නැවතත් සුපුරුදු දස්කම් අතරට පැමිණෙයි කියලා. අපිට සිටිනවා පැයට කිලෝමිටර් 145කට වැඩි වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයින් දෙදෙනෙක්. ඕනෑම කණ්ඩායමක් ඉතාමත් සතුටින් බලාපොරොත්තු වන දෙයක් තමයි ඒක. තවදුරටත් පුහුණුවීම් වලදී පන්දු යැවූ පසු චමීර නැවත සුපුරුදු රිද්මයට පැමිණෙයි.” ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු චම්පක රාමනායක සඳහන් කරයි.

දකුණු අප්‍රිකා තරඟ සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් මේ වන විට  ඉහළ දස්කම් අතර සිටී. සුරංග ලක්මාල් ඒ අතරින් ඉදිරියෙන් පසු වන්නේ ටෙස්ට් තරඟ දෙකක් තුළ කඩුලු 12ක් දවා ගනිමින්.

කෙසේ වෙතත්, වේගපන්දු පුහුණුකරු බලාපොරොත්තු වන්නේ තම පන්දු යවන්නන් සම්පුර්ණ ඉනිම පුරාවටම මීට වඩා නිසි ඉලක්කයක් ඇතිව පන්දු යවනු ඇති බවයි. ”සමහර අවස්ථාවලදී ඔවුන් 100%ක ස්ථාවරත්වයක් ඇතිව නිසි ඉලක්කය පවත්වාගෙන යන්නේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ගත් කළ මම සතුටු වෙනවා. අපි මුල් පිතිකරුවන් 5 දෙනාවම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගත්තත් සැම විටම ඉන් අනතුරුව සබදතාවයක් ගොඩනගන්නට ප්‍රතිවාදීන් සමත් වෙනවා. ඒ, දකුණු අප්‍රිකානු තණතිලිවල අපේ පන්දු යවන්නන් තම ඉලක්කයේ ස්ථාවරත්වය රඳවා ගන්නට අපොහොසත්වීම හේතුවෙන්. කොහොම වුණත් සමස්තයක් වශයෙන් ගත් කළ පන්දු යවන්නන් සියලු දෙනාම පිළිබඳ මම සතුටු වෙනවා. සුරංග ලක්මාල් ඉතා විශිෂ්ඨ ලෙස පන්දු යවනවා. නුවන් ප්‍රදීප්ට කඩුළු දවා ගැනීමට නොහැකි වුනත් ඔහුත් ඉතාම හොඳින් පන්දු යවනවා. ලහිරු කුමාර අතිශයින්ම සිත් ඇදගන්නා යොවුන් පන්දු යවන්නෙක්.”

චම්පක රාමනායක විශ්වාස කරන්නේ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කිරීමේදී තම වේග පන්දු යවන්නන්ගේ දස්කම් අඩු වීමට හේතුව ඔවුන්ගේ අත්දැකීම් මද කම බවයි. නමුත් එහිදී ලැබෙන අත්දැකීම් සමඟ ඔවුන් අනාගතය වෙනුවෙන් යමක් ඉගෙන ගනු ඇතැයි ඔහු බලාපොරොත්තු සහගතව පසුවෙයි.

”තණතීරුවේ විශාල තණකොළ ප්‍රමාණයක් තිබෙන අවස්ථා වලදී ඔබට වැඩිපුර හිතන්න යමක් නැහැ. කරන්න තියෙන්නේ නිරන්තරයෙන්ම නිසි ස්ථානයේ පන්දුව පතිත කිරීම පමණයි.  ඒක තමයි අපි නිරතුරුවම ඔවුන්ට ලබා දෙන උපදෙස. නිවැරදි තැන පන්දුව පතිත කල විට පන්දුව විසින්ම ඉතුරු හරිය බලා ගනීවි. සමහර අවස්ථා වලදී ඇතැම් කාල සීමාවන් තුල අපේ නිවැරදි එල්ලය ගිලිහී ගියා, නමුත් ඔබට වැටහෙනවා ඇති ඔවුන් කිසිම දිනක මේ වගේ තණතීරු වල ක්‍රීඩා කරලා නැහැ. තණතීරුවේ තණකොළ විශාල ප්‍රමාණයක් තිබෙන අවස්තාවලදී හරියටම හිතාගන්න අමාරුයි පන්දුව පතිත කළ යුතු නිවැරදි ස්ථානය කුමක්ද කියලා. වමත් පිතිකරුවන්ට එරෙහිව අපි සතුව සැලසුමක් තිබුනා. ඒ තමයි ඔවුන්ට පහර එල්ල කිරීම සඳහා අත දිග හැරීමට අවශ්‍ය ඉඩ (width) ලබා නොදී සිටීම. නමුත් සැමවිටම තණතීරුවේ වැඩිපුර තණකොළ තිබේ නම් ඔබට සිදු වෙනවා මූලික සිද්ධාන්ත වලට මාරු වෙන්න.”

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට