ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත ළඟ තිබිය දී ශ්‍රී ලංකාව පසුගිය සතියේ බෝර්නියෝ සත් සාමාජික තරගාවලියට සහභාගී වුනේ තරග අත්දැකීම් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය අවසන් කලේ පළඟ අනුශූරයන් බවට නැතහොත්, කණ්ඩායම් 10 අතුරින් 6 වන ස්ථානයට පත් වෙමිනුයි. හොං කොං, මැලේසියාව සහ සිංගප්පූරුව ද මෙම තරගාවලිය සඳහා සිය ජාතික කණ්ඩායම් සහභාගී කරවන ලදි.

ධනුෂ්ක රංජන්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම බෝර්නියෝ තරගාවලියේ දී සහභාගී වූ තරග 7න් ජය ගැනීමට සමත් වූයේ තරග 3ක් පමණි. එය අවිවාදයෙන්ම පරිපාලකයන් සහ පුහුණුකරුවන් බලාපොරොත්තු වූ මට්ටමට පහළ දස්කමකි. එබැවින් ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තම හැකියාවන් මෙන්ම මානසික ශක්තිය ද අනිවාර්යයෙන්ම වර්ධනය කර ගත යුතුව තිබේ.

ලක් දියණියෝ රග්බි කිරුළු පලඳිති

සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩයම ප්‍රථම වරට බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය…

සිංගප්පූරුවට, මැලේසියාවට සහ මැලේසියානු ක්‍රීඩා සමාජයක් වන කෝබ්‍රා කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුව ද, ඒවා සියල්ල එතරම් ප්‍රබල කණ්ඩායම් ලෙස සැලකිය නොහැක. පසුගිය අර්ධ දශකය තුල අදහා ගත නොහැකි තරමේ වර්ධනයක් පෙන්නුම් කළ කණ්ඩායමක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවට හොං කොං කණ්ඩායම හමුවේ එකදු ලකුණක් හෝ ලබා ගත නොහැකිව මුහුණ දුන් පරාජය අතිශයින් ලැජ්ජා සහගතය.  එහි දී ක්‍රීඩකයන්ගේ තරග උපක්‍රම ඉතා පහත මට්ටමක පැවති අතර ශාරීරික යෝග්‍යතාව සහ ශක්තිය බිඳක් හෝ ඔවුන් සතුව පැවති බවක් දක්නට නොලැබුණි.

සත් සාමාජික රග්බි තරගයක දී  වඩාත්ම වැදගත් අංගයක් වන්නේ තරග ආරම්භය සඳහා හෝ ලකුණු ලබා ගැනීමෙන් පසුව තරගය නැවත ආරම්භ කිරීමේ පළමු පා පහරයි (kick-off). මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම අවස්ථා තමන් සතු කර ගැනීමට කිසිදු උත්සාහයක් නොදැරීම කැපී පෙනුනි. පන්දුව ගුවනේ තිබිය දී එය ලබා ගැනීම සඳහා හොං කොං  කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල නොවූ අතර පන්දුව පිටියෙන් ඉවතට ගිය අවස්ථා වල දී නැවත පිටිය තුලට විසි කිරීම් ද දුර්වල මට්ටමේ පැවතීම ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තවත් ගැටලුවකි. එමෙන්ම ස්ක්‍රම් අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුපසට තල්ලු කර දැමීමට හොං කොං ක්‍රීඩකයන් සමත් වීම හේතුවෙන් පන්දුවේ අයිතිය අහිමි වීම ද කැපී පෙනුනි.

මීටර් 22 සීමාවේ දී ඉක්මන් තීරණ ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙතින් සිදු වූ තවත් දරුණු අඩුපාඩුවකි. නිසි මගපෙන්වීමක් නොමැති බවක් එයින් දිස් වන කරුණක් වුවත් වසර 3ක් 4ක් පුරා ජාතික සංචිතය නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් මෙවන් ප්‍රාථමික මට්ටමේ අඩුපාඩු සිදුවීම කෙතරම් නම් අනුමත කළ හැකි ද?

විවෘත කලාප වල දී පන්දුව පාදයෙන් ඉදිරියට යොමු කර එය හඹා යාමේ උත්සාහයන් රැසක් අවසන් වූයේ පන්දුවේ අයිතිය ප්‍රතිවාදීන් හට ලබා දෙමිනුයි. පසුගිය තරගාවලි තුල දී ශ්‍රීනාත් සූරියබණ්ඩාර එල්ල කරන පා පහර නිසි අයුරින් ලබා ගැනීමට සාලිය හඳපාන්ගොඩ සමත් වුවත් මෙවර එවන් තීරණ ගැනීම් පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් මතුව පෙනුනි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ඉහළම කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරග වදින්නේ වසර ගණනාවක සිටයි. එබැවින් හොං කොං වැනි කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සමඟ සමඟ වීමට නොහැකි වීම තවදුරටත් නිදහසට කරුණක් නොවේ. ක්‍රීඩා සමාජ වල දී ක්‍රීඩකයන් පැය ගණන් ව්‍යායාම් වල නිරත වන අතර ඔවුන් ඉහළම ශාරීරික යෝග්‍යතාවයක සිටිය යුතු අවස්ථාවක වුවත් තවමත් තරගයක දී දුර්වල වන්නේ මන්ද? ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුට අනුව නම් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩා සමාජ නිසි අයුරින් ඔවුන්ට ලබා දී තිබෙන ව්‍යායාම් කාල සටහන් අනුගමනය නොකිරීම ඊට හේතුවයි.

අර්ධ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව හොංකොං මුණ ගැසෙයි

Borneo 7s, තරග හතරක් අවසානයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් හා තරග දෙකක් පරාජය වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක්..

කණ්ඩායමට මෙම තරගාවලිය සඳහා සූදානම් වීමට තරම් කාලයක් නොලැබුණු බව අවිවාදිත කරුණකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි බලධාරීන් තවමත් අසමත් වී තිබෙන ඉසව්වක් වන්නේ සත් සාමාජික රග්බි තරග සඳහා වෙනම සංචිතයක් පවත්වා ගෙන යාමයි. මන්ද සාමාන්‍ය රග්බි  තරගයක සහ සත් සාමාජික තරගයක දී  ක්‍රීඩකයන්ගේ තිබිය යුතු ශාරීරික යෝග්‍යතාව සහ පෙන්විය යුතු දක්ෂතා සම්පූර්ණයෙන්ම පරස්පර වීම හේතුවෙන්.

කණ්ඩායමේ දස්කම් හමුවේ දුර්මුඛ වූ ඉහළ දස්කම් අධ්‍යක්ෂ ඉන්ති මරික්කාර් මෙසේ පැවසීය. ”අපිට අවශ්‍ය වුනේ දේශීය තරගාවලිය පැවැත්වෙන මුළු කාල සීමාව පුරාමත් ජාතික සංචිත දෙකේම ක්‍රීඩකයන් (15 සාමාජික සහ සත් සාමාජික) සති දෙකකට වරක් ශාරීරික යෝග්‍යතා පුහුණුකරු සහ අනෙකුත් පුහුණු කරුවන් හමු වීම සඳහා ගෙන්වා ගැනීමටයි. කෙසේ වෙතත් එය සිදු වුනේ නැහැ. අනෙකුත් කණ්ඩායම් මාස 3ක පමණ පුහුණුවකින් පසු තරගාවලියට එන අවස්ථාවේ අපේ කණ්ඩායම සති දෙකක පුහුණුවක් පමණක් සමඟින් තරගාවලියට යනවා. ඉතින් මේක තමයි අවසන් ප්‍රතිඵලය.”

”ඒ වගේම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අපි බලාපොරොත්තු වන මට්ටම අහලකටවත් තිබුණේ නැහැ. හොඳම උදාහරණය තමයි කාන්තා කණ්ඩායම. ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස තමයි ඔවුන් සත් සාමාජික පුහුණු ක්‍රමවේද පිළිබඳ ඉතා හොඳ අවධානයක් යොමු කළා. මූලික සහ අත්‍යවශ්‍ය දක්ෂතා වර්ධනය සඳහා මාස තුනක පුහුණුවක් ලැබීමෙන් පසු ඔවුන් කණ්ඩායම් සැකැස්ම පිළිබඳ පුහුණුව සඳහා මාසයක් පුහුණු වුනා. ඉතින් ඔවුන්ට හැකි වුනා තායිලන්ත කාන්තා කණ්ඩායම එක් වරක් නොව දෙවරක්ම පරාජය කරන්නට. තායිලන්තය කියන්නේ පසුගිය ආසියානු සත් සාමාජික කාන්තා තරගාවලියේ දී හොං කොං කාන්තා කණ්ඩායමත් පරාජය කරපු කණ්ඩායමක්. ඉතින් ඔබට පේනවා ඇති වෙනස කුමක්ද කියලා” මරික්කාර් වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම සංසන්දනය කිරීම එතරම් සාධාරණ නොවන්නේ ශ්‍රී ලංකාව තුල තරගකාරී කාන්තා රග්බි දේශීය තරගාවලියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙනුයි. එබැවින් කාන්තාවන් හට ජාතික සංචිතයේ පුහුණුවීම් සඳහා වැඩි කාල සීමාවක් ලැබේ. නමුත් සාර්ථක උදාහරණයක් ලෙස ඉහල මට්ටමේ දේශීය තරගාවලි ක්‍රියාත්මක වන රටවල් තුල ක්‍රීඩකයන් ජාතික සංචිතයේ දක්වන දස්කම් විමසා බැලිය හැකිය. එවන් කණ්ඩායම් වලට උදාහරණ ලෙස දේශීය තරග සඳහා ක්‍රීඩා කිරීම අනිවාර්ය කර තිබෙන හොං කොං  සහ කොරියාව වැනි රටවල් පෙන්වා දිය හැක්කේ ඔවුන් ජාතික කණ්ඩායම වෙනුවෙන් දක්වන දස්කම් ද අතිශයින් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙනුයි. එබැවින් දේශීය තරග පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ප්‍රශ්නයක් නොවේ.

මරීජා සහ විල්වර නැවතත් සත්සාමාජික සංචිතයට

පසුගිය දා අවසන් වූ බෝර්නියෝ සත්සාමාජික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් දිස්වූයේ කණගාටුදායක ක්‍රීඩා විලාශයකි. කෙසේ වෙතත් එළඹෙන අප්‍රේල් මස 7 වන දා සිට 9 වන දා දක්වා..

එළඹෙන ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලිය තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වටයේ ප්‍රතිවාදීන් වන්නේ හොං කොං, චිලී සහ නැමීබියා කණ්ඩායම් වේ. එම කණ්ඩායම් සහ ශ්‍රී ලංකාව මෙතෙක් දක්වා ඇති දස්කම් අනුව බලන කල එය අතිශයින් අසීරු අභියෝගයකි. ශ්‍රී ලංකාව සතු දක්ෂතා සංචිතය දිනෙන් දින තර වුවත් සූදානම් වීම සඳහා කාලය මද වීම සහ උපාය මාර්ගික සැකැස්මක් මෙරට රග්බි පරිපාලනය තුල නොමැති වීම විශාල අඩු පාඩුවකි.

කාන්තා කණ්ඩායම පිළිබඳ සම්පත් අමන්දානන්දයෙන්,

Sugath-Sampathපසුගිය වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ බාලිකා කණ්ඩායම පළමු ආසියානු සත් සාමාජික ශූරතාව වෙත මෙහෙය වීමෙන් පසු සුදත් සම්පත් හට තවත් කුසලානයක් වෙත කණ්ඩායම ගෙන යාමේ අයිතිය තමන් සතු කර ගැනීමට හැකි වුනේ බෝර්නියෝ තරගාවලියේ දී කාන්තා කණ්ඩායම දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනුයි.

කාන්තා කණ්ඩායමේ මූලික දක්ෂතා, ශාරීරික යෝග්‍යතාව, ආක්‍රමණ මෙන්ම මානසික ශක්තිය ද මෙම තරගාවලිය තුල පැවතුනේ ඉහළම මට්ටමකයි. ඔවුන් මෙවන් දස්කම් අතර සිටින අවධියක දී ජපානය, චීනය සහ හොං කොං වැනි කණ්ඩායම් සමඟ තරග වදින ආකාරය දැක බලා ගැනීම ඉතා හොඳ අත්දැකීමක් වනු ඇති.

කෙසේ නමුත් මෙම දක්ෂතා ස්ථාවරව පවත්වා ගැනීම ඉතා වැදගත් වන්නේ ආසියානු සත් සාමාජික ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ මේ වසරේ සැප්තැම්බර් – ඔක්තෝබර් කාලය තල දී වීම හේතුවෙනුයි. එබැවින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එම කාලය වනතුරු තවත් ආරාධිත තරගාවලි කිහිපයකට සහභාගී කරවීම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

කණ්ඩායමේ ජයග්‍රහණ හේතුවෙන් සතුටට පත්ව සිටින ජාතික කණ්ඩායමේ හිටපු ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක සහ කාන්තා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු සුදත් සම්පත් ThePapare.com සමඟ මෙලෙස අදහස් පල කළේය. ”මේ ජයග්‍රහණයේ සියලු ගෞරව ක්‍රීඩිකාවන්ට හිමි විය යුතුයි. ඔවුන් විශාල කැපවීමක් සහ ධෛර්යයක් පෙන්නුම් කළා. අපි පසුගිය මාස තුන තුල නිසි ඉලක්කයක් සහිතව කළ පුහුණුවීම් වල ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා. තායිලන්තය පසුගිය ආසියානු ශූරතා සත් සාමාජික තරගාවලියේ කොළඹ පැවති අවසන් අදියරේ දී හොං කොං කාන්තා කණ්ඩායම පවා පරාජය කළ කණ්ඩායමක්. අපිට හැකිවුනා ඔවුන්ව (තායිලන්ත කාන්තා කණ්ඩායම) දෙවරක්ම පරාජය කරන්න. මම අපේ ක්‍රීඩිකාවන් තුලින් ලොකු වෙනසක් දැක්කා. ඔවුන් ඉතා මුහුකුරා ගිය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් සම්පත් පැවසුවේ මෙලෙසින්. ”අපිට තවමත් දක්ෂතා වර්ධනය කර ගත යුතු අංශ කිහිපයක් තිබෙනවා. අපේ අරමුණ ආසියාවේ හොඳම කණ්ඩායම් 3 අතරට පැමිණීමයි. අපි දන්නවා ජපානය සහ චීනය ක්‍රීඩා කරන්නේ ඉතා ඉහළ මට්ටමකයි. හොං කොං කණ්ඩායමත් එසේමයි. අපේ අරමුණ තවත් එක පියවරක් ඉදිරියට තබමින් ඔවුන්ගේ අභියෝගයට සාර්ථක පිළිතුරක් සොයා ගැනීමයි. පසුගිය මාස තුන ඇතුළත අපේ  උපාය මාර්ගයන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුනා නම් අද අපි මෙම තත්ත්වයේ නැහැ. මේ තැනට අපිව ගෙන එන්නට මාර්ගය සකස් කරපු ඒ වගේම නිරතුරුවම ඒ මාර්ගයේ අපිව ඉදිරියට තල්ලු කරපු ඉන්ති මරික්කාර් හට අපි ස්තූතිවන්ත වෙනවා.”

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට