සණ්ඩු සරුවලේ – කන් කරච්චලේ – 02

5196

රසවත් කතා රැසකින් සපිරුණු බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලි මාලාවේ තරගාවලි 6ක මතකයන් මෙම ලිපියේ පළමු කොටසින් ඔබ වෙත ගෙන ආවෙමු. මෙතෙක් පැවැත්වී ඇති මීළඟ තරගාවලි 7 ගැන මෙම ලිපියෙන් කතාබහ කරමු.

2008/09

තරගාවලිය ආරම්භයේ දී ම රොයිටර් පුවත් සේවය විසින් තරගාවලිය ආවරණය කිරීම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව වූයේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔවුන්ට නීති රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කිරීමයි. රොයිටර් පුවත් සේවය සඳහන් කොට තිබුණේ මාධ්‍යට ආචාර ධර්ම මිස එවන් රෙගුලාසි අනවශ්‍ය බවයි.

පළමු තරගය වන විට ඉන්දියානු මාධ්‍ය විසින් ඉන්දියානු නායක අනිල් කුම්බ්ලේගේ විශ්‍රාම ගැනීම ගැන ප්‍රශ්න යොමුකොට තිබූ අතර ඔහු ඒ පිළිබඳ සිය කනස්සල්ල පළකොට තිබුණි. “මට පාලනය කරන්න බැරි දේවල් ගැන මට පොරොන්දු දෙන්න බෑ. නමුත් මම මගේ සටන අත්හරින්නේ නෑ. මට කණ්ඩායම ගැන ඇති විශ්වාසයත්, කණ්ඩායමට මා ගැන ඇති විශ්වාසයත් තමයි වැදගත්.” යැයි ඔහු කියා තිබුණි. එහෙත් ඔහුට තරගය පුරාවටම කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය.

අනෙක් පස සිටි ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් තරගාවලිය ආරම්භ කළේ ශතකයකිනි. මයිකල් හසී ද ශතකයක් වාර්තා කළේය. තරගය අවසන් වුනේ ජය-පරාජයෙන් තොරවයි.

දෙවැනි තරගයේ දී ඉන්දියානු නායකයා වූයේ මහේන්ද්‍ර සිං දෝනි ය. පළමු ඉනිමේ දී ඔහු අටවැන්නා ලෙස පිටියට පැමිණ ලකුණු 92ක් රැස්කළේ අනෙක් අන්තයෙන් සව්රව් ගංගුලි ශතකයක් රැස්කරද්දීයි. මේ අතර රිකී පොන්ටින් සහ බ්‍රෙට් ලී අතර පිටිය තුළ දී වාදයක් ඇති විය. බ්‍රෙට් ලීට පන්දු යැවීමට අවශ්‍යව තිබුනත් නායක පොන්ටින් සහ උපනායක හසී ඊට එකඟ වී නැත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 12,000 පසු කළ පළමුවැන්නා බවට සචින් ටෙන්ඩුල්කාර් පත්වූයේත් මේ තරගයේදීයි. ඔහු පළමු ඉනිමේ දී ලබා ගත් ලකුණු 88 ඊට ඉවහල් විය. ඔහු, බ්‍රයන් ලාරා සතුව තිබූ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියාගේ වාර්තාව (11,953) තමන් නමට ලියා ගත්තේය.

akm-img-a-in.tosshub.com – සචින් ටෙන්ඩුල්කාර්

සහීර් ඛාන්, මැතිව් හේඩන් දැවී යාමේ දී පන්දු රකින ස්ථානයේ සිට පැමිණ ඔහුට කෑගැසීම නිසා තරග මුදලින් 80%ක දඩයක් ඛාන්ට නියම විය. ඉන්දියානු දෙවැනි ඉනිමේ දී ගෞතම් ගාම්භීර් ශතකයක් රැස්කළේය. අනිල් කුම්බ්ලේ වෙනුවට ඉන්දියානු කණ්ඩායමට කැඳවූ අමිත් මිශ්‍රා තරගය පුරා කඩුලු 7ක් දවා ගත්තේය. තරගයේ ජය ඉන්දියාවට හිමි විය.

තෙවැනි තරගය මතකයන් රැසක් ප්‍රේක්ෂකයන්ට ලබා දුන් එකක් විය. ගෞතම් ගාම්භීර් සහ V.V.S. ලක්ෂ්මන්, පළමු ඉනිමේ දී ම ද්විත්ව ශතක වාර්තා කළේය. එහි දී ගාම්භීර් ක්‍රීඩා කළේ දැඩි උද්දාමයකිනි. ලකුණු 149ක් ලබා සිටින අවස්ථාවේ ලකුණකට දිව යාමේ දී ඔහු ෂේන් වොට්සන්ගේ ඇඟෙහි හැපුණි. ගාම්භීර් එහි දී වැළමිටෙන් වොට්සන්ගේ පපුවට පහරක් එල්ල කළ බව දිස්විය. එය වාග් සටනක් බවට පත්විය. එමෙන්ම අර්ධ-කාලීන පන්දු යවන්නෙකු ලෙස පැමිණි සයිමන් කැටිච් සහ ගාම්භීර් අතර ද වාද කිහිපයක්ම ඇතිවිය. අවසානයේ දී වොට්සන් සහ ගාම්භීර් වරදකරුවන් විය. එය සිතාමතා සිදු නොකළ බව පැවසුවත් ගාම්භීර්ට එක් තරග තහනමක් නියම විය. පසුව ඉන්දියානු බලධාරීන් විසින් ගාම්භීර්ට ලබා දුන් තරග තහනම ඉවත් කරන්නැයි ඇපෑලක් ඉදිරිපත් කළ ද එය සාර්ථක වූයේ නැත.

p.imgci.com – ඇතැම් සටන් තරගය මැද දී පමණි

දෙපිල අතර කෙතරම් වාද තිබුනත් පළමු ඉනිමේ ලකුණු 68ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 47ක් ලබා ගත් සචින් ටෙන්ඩුල්කාර්ගේ ඇසකට යම් රොඩු කැබැල්ලක් ඇතුළු වූ මොහොතේ ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් විසින් එය පරික්ෂාවට ලක්කෙරෙන ඉහත ඡායාරූපය විශේෂ එකක් විය.

මේ අතර ඕස්ට්‍රේලියානුවන් පෙරට වඩා පසුගාමීව ක්‍රීඩා කරන බව V. V. S. ලක්ෂ්මන් විසින් මාධ්‍ය වෙත සඳහන් කොට තිබුණි. මීට තරගය අතරතුර නොයෙක් වර ප්‍රතිචාර දැක්වීමට මිචෙල් ජොන්සන් උත්සුක විය. පසුව මේ පිළිබඳ රිකී පොන්ටින්ගෙන් විමසීමේ දී ඔහු සඳහන් කොට තිබුණේ,

“ඔවුන් ලකුණු 400කුත් ගහලා එහෙම කියන එක පුදුමාකාරයි. ඔවුන්ට තිබුණා තරගය තීරණයක් දක්වා ගෙන යන්න කටයුතු කරන්න. නමුත් පස්වැනි දිනයේ දී ඔවුන් එය කළේ නෑ. එහෙනම් කාටද අපි පසුගාමී කියන්නේ? තරගයේ ඉදිරියෙන් ඉද්දී එවැනි දේ කියන්න ලේසියි, නමුත් බැංගලෝරයේ දී නම් ඔවුන් ඕවා ගැන කිව්වේ නැහැ.” යනුවෙනි. බැංගලෝර් තරගයේ (පළමු තරගය) තෙවැනි ඉනිමේ දී ඕස්ට්‍රේලියානුවන් විසින් අවසන් දිනය සඳහා ලකුණු 299ක ඉලක්කයක් පමණක් ඉන්දියානුවන්ට ලබා දී තරගය තීරණයකින් අවසන් කිරීමට උත්සාහ කළ බව සැබෑය.

සිව්වැනි තරගයට ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් නවකයෙකු හඳුන්වා දෙනු ලැබුණි. ඔහු දකුණතින් පිට දඟපන්දු යවන ජේසන් ක්‍රේජා ය. ඔහු පළමු පන්දුවාරය තුළ ලකුණු 11ක් වාර්තා කළේ හයේ පහරක් ද සමඟිනි. එහෙත් එතැන් සිට තරගයට අවතීර්ණ වූ ක්‍රේජා මුල් ඉනිමේ කඩුලු 8ක් දවා ගත්තේය. දෙවැනි ඉනිමේ දී ඔහු කඩුලු 4ක් දවා ගත්තේය. එහි දෙවැනි ඉනිමේ දී ලක්ෂ්මන්ව දවා ගැනීමට ඔහු යැවූ පන්දුව විශිෂ්ට එකකි.

මේ අතර ඉන්දියානු ක්‍රීඩකයන්ගේ හැසිරීම සහ ඉන්දියානු බලධාරීන් ඔවුන්ව රැකගැනීම විවේචනය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති ජේම්ස් සදර්ලන්ඩ් පවසා තිබුණේ,

ක්‍රිකට්වලට ඔවුන් යොදන මූල්‍යමය දායකත්වය මත ඉන්දියාවේ බලය රඳාපවතිනවා. ක්‍රිකට් ආදායම් වලින් 70%ක් පමණ ඉන්දියාවෙන් ජනනය වන නිසා ඔවුන් තේරුම්ගෙන තිබෙනවා පෙරට වඩා ඔවුන්ට ක්‍රීඩාවට කළ හැකි බලපෑම වැඩි බව.” යනුවෙනි.

මෙම තරගයේ දී ඉන්දියානුවන් කෙතරම් ප්‍රබල මට්ටමක සිටියේ ද කියතොත්, ඔවුන් ඕස්ට්‍රේලියානු වමත් පිතිකරුවන් වන සයිමන් කැටිච් සහ මයිකල් හසී වෙත ඔවුන් පන්දු යැව්වේ පන්දු රකින්නන් 8 දෙනෙකු පිට ඉන්නෙන් එපිට රඳවා තිබිය දීයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ පන්දුවාර වේගය අඩු වේගයක පැවතීම ද කතාබහට ලක්විය. අවසන් තරගයේ ජය ද සමඟින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

2010/11

තරගාවලිය ආරම්භයේ දී ම ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් කියා සිටියේ වාද-විවාද වලින් තොර තරගාවලියක් තමන් බලාපොරොත්තු වන බවයි. එසේ කියා නොනැවතුණු ඔහු තවදුරටත් කියා තිබුණේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ඉන්දියානු පිතිකරුවන් මෙන්ම අත්දැකීම් සහිත අයවලුන් බවයි. ඒ ද්‍රාවිඩ්, ෂෙවාග්, ටෙන්ඩුල්කාර් ඉන්දියානු පිතිකරුවන්ව සිටිය දී ය.

වාද-විවාද අනවශ්‍ය බව පවසා දිනක් ගතවෙද්දීම පොන්ටින්, සහීර් ඛාන් හා වාදයක පැටලුණේ දුවද්දී දැවී යාමකට හසුවී නැවත ක්‍රීඩාගාරයට යමින් සිටිය දීයි. සහීර් ඛාන් විසින් එය ඇරඹූ බව සැල විය. ලක්ෂ්මන් හට කොන්ද ඉදිමීම නිසා දෙවන ඉනිමේ පන්දුවට පහර දීම අපහසු වනු ඇතැයි පුවත් වාර්තා විය. කෙසේ වෙතත් දෙපිලටම දෝලනය වූ තරගයේ පළමු ඉනිම තුන අවසන් වන විට තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 216ක ඉලක්කයක් ලැබී තිබුණි.

ලකුණු 124කට ඉන්දියානු කඩුලු 8ක් දැවී ගියේය. V. V. S. ලක්ෂ්මන් පිටියට පැමිණියේ 7 වැනි කඩුල්ල ලෙසයි. ගිලෙමින් තිබූ ඉන්දියානු නැව වේගයෙන් ජය සීමාව කරා රැගෙන ගිය ඔහුගේ සහායක ඉෂාන්ත් ෂර්මා දැවී ගියේ ලකුණු 205 දී 9 වැනි කඩුල්ල ලෙසයි. එහෙත් අවසන් කඩුල්ල ආරක්ෂා කරගනිමින් තමන් ඉතාම-ඉතාම විශේෂ පිතිකරුවෙකු බව (V.V.S – Very Very Special) බව යළිත් සනාථ කළ ඔහු පන්දු 79ක දී ලකුණු 73ක් වාර්තා කරමින් ඉන්දියාවට ජය ගෙන ආවේය.

shishircyb.files.wordpress.com – V. V. S. ලක්ෂ්මන්

දෙවන තරගය තුළ ක්‍රිකට් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පසු විය. ටෙස්ට් ඉතිහාසයේ පළමුවෙන්ම ලකුණු 14,000 පසු කළ පිතිකරුවා බවට සචින් ටෙන්ඩුල්කාර් පත්විය. ඔහු ඉන්දියානු පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළේය. චේතෙෂ්වර් පුජාරා තම පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ ද මෙහි දීයි. දෙවැනි ඉනිමේ දී ලකුණු 207ක් හඹායමින් සිටි ඉන්දියාව වෙනුවෙන් පුජාරා ලකුණු 72ක් රැස්කළේය. තරගයේ ජය ඉන්දියාවට හිමි විය. තරගාවලියේ ජය 2-0ක් ලෙස හිමි වූයේ ද ඉන්දියාවට යි.

2011/12

මෙහි පළමු තරගයේ දී ඕස්ට්‍රේලියාව සතු වූ වේගපන්දු බල ඇණිය තමන් එරෙහිව ක්‍රීඩා කළ හොඳම වේගපන්දු බල ඇණිය යැයි විරේන්දර් ෂෙවාග් පවසා තිබුණි. තරගයේ ඉන්දියානු කඩුලු 20න් 19ක්ම, ජේම්ස් පැටින්සන්, බෙන් හිල්ෆින්හවුස් සහ පීටර් සීඩ්ල් යන ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් සතු විය. එහි ජය ඕස්ට්‍රේලියාව සතු විය. ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්, ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනිව පරයා ගියේය.

දෙවන තරගයේදීත් මාධ්‍යයෙහි චෝදනාව වූයේ ඉන්දියාවට තමන්ගේ රටින් පිටත ටෙස්ට් තරගාවලියක් ජය ගත හැකි ද යන්නයි. පළමු ඉනිමේ දී ඉන්දියානුවන් ලකුණු 191කට දැවී ගියේය. දෙවන ඉනිමේ දී රිකී පොන්ටින්, ෂෝන් මාෂ්, මයිකල් හසී ශතක වාර්තා කළ අතර මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 329ක් වාර්තා කළේය. ඉන්දියානුවන් තෙවැනි ඉනිමේ දී ලකුණු 400ක් වාර්තා කළත් ඉනිමක පරාජයෙන් ගැලවීමට ඔවුන්ට නොහැකි විය.

තෙවැනි තරගය ද කිසිදු වෙනසක් නැතිව ඉන්දියානුවන්ට අපහසු විය. ඔවුන්ව විහිළුවට ගනිමින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් විසින් වචන ප්‍රහාරයක් එල්ල කොට තිබුණේ ඉන්දියානුවන්ගේ ලකුණු සාමාන්‍ය ගැනයි. ඊට පිළිතුරු දුන් විරාත් කෝලි සහ ඉෂාන්ත් ෂර්මා පවසා තිබුණේ මීළඟ වසරේ ඉන්දියානු සංචාරයේ දී සියල්ල වෙනස් වනු ඇති බවයි. එහි තේරුම නම්, ඉන්දියාව මෙම තරගාවලියම අත්හැර දමා ඇති බව දැයි මාධ්‍ය ප්‍රශ්න කරන්නට විය. කතාවෙන් පමණක් නොනැවතුණු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් පළමු ඉනිමේ දී ම ලකුණු 214ක සම්බන්ධතාවයක් පිහිටු විය. එඩ් කොවාන් විසින් ලකුණු 74කුත්, ඩේවිඩ් වෝනර් විසින් පන්දු 159ක දී ලකුණු 180කුත් වාර්තා විය. පිට පිට ඉනිම දෙකක් ක්‍රීඩා කොට පරාජය වන්නට ඉන්දියාවට සිදු විය.

www2.pictures.zimbio.com – එඩ් කොවාන් (දකුණේ) සහ ඩේවිඩ් වෝනර් (වමේ)

සිව්වැනි තරගයේ දී රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් ද්විත්ව ශතක දෙකක් වාර්තා කළේය. ඉන්දියානු දෙවන ඉනිමේ දී විරාත් කෝලි ශතකයක් වාර්තා කළ ද ඔහුට ඉන්දියාව පරාජයෙන් බේරා ගැනීමට නොහැකි විය. එම ඉනිමෙන් පසුව ඔහු පවසා තිබුණේ බෙන් හිල්ෆින්හවුස්, එඩ් කොවාන් සහ ඩේවිඩ් වෝනර් තමන්ට වචනයෙන් බාධා කළ බවයි. තමන්ට ද ඒවාට පිළිතුරු දෙන්නට සිදු වූයේ යැයි ද ඔහු පැවසුවේය. “එකට එක කියමින් ශතකයකුත් වාර්තා කිරීම වඩා හොඳයි” විරාත් කෝලි එසේ කියා තිබුණි. එහෙත් ප්‍රේක්ෂකයන්ගේ වචන හරඹවලට පැටලීමට සිදුවීම ඔහුගේ තරහවට හේතුවී තිබුණි. “අපි මෙහෙට එන්නේ ක්‍රීඩා කරන්න. ප්‍රේක්ෂකයන් එන්නේ තරග බලන්න නම් ඔවුන් ඒක කළ යුතුයි.” ඔහු කීවේය. එම තරගය ද පරාජය වීමත් සමඟ තරග 4-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් ලබන්නට ඉන්දියාවට සිදු විය.

2012/13

මෙම තරගාවලියේ පළමු තරගයේ දී මොයිසස් එන්රිකේ තම මංගල ටෙස්ට් තරගයට සහභාගී වී ඉනිම දෙකේ දී ම අර්ධ ශතක දෙකක් වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පිතිකරණ සීමාවේ සිට ඉදිරියට – පසුපසට පනිමින් ශතකයක් රැස්කළේය. ඉන්දියානු පළමු ඉනිමේ දී මහේන්ද්‍ර සිං දෝනි ද්විත්ව ශතකයක් වාර්තා කළේය. රවිචන්ද්‍රන් අශ්වින්, හර්භජන් සිං, රවීන්ද්‍ර ජඩේජා නම් දඟපන්දු යවන්නන් තිදෙනාගෙන් ඉන්දියානුවන් පන්දු යැවීම ඇරඹුවේය. තරගය පුරා සියලු ඕස්ට්‍රේලියානු කඩුලු ලබා ගත්තේ ඉන්දියානු දඟපන්දු යවන්නන් ය. තරගයේ ජය ඉන්දියාවට හිමි විය.

දෙවැනි තරගය තුළ දී espncricinfo මාධ්‍යවේදීන්ට ද ක්‍රීඩාංගණවලට ඇතුළත් වීම තහනම් විය. ත්‍රස්ත තර්ජනයක් නිසා ආරක්ෂක රැකවල් තරකර තිබූ අතර මාධ්‍යවේදීන්ගේ පෑන් පවා ක්‍රීඩාංගණයෙන් පිට තබා ඇතුළත් වීම ඔවුන්ගේ දැඩි අප්‍රසාදයට හේතු විය. ඉන්දියාව වෙනුවෙන් පුජාරා ද්විත්ව ශතකයක් වාර්තා කළේය. ජය ඉන්දියාවට හිමි විය.

මීළඟ තරගය ශිඛර් ධවාන්ගේ මංගල ටෙස්ට් තරගයයි. ඔහු පන්දු 174ක දී 187ක් රැස්කළේය. ඉන් පෙර මිචෙල් ස්ටාක් පන්දු යවමින් සිටිය දී ධවාන් පන්දු යවන අන්තයේ සීමා ඉර ඉක්මවා සිටි අතර ස්ටාක්ගේ අතින් ගිලිහුණු පන්දුව කඩුල්ලේ වැදුණි. ඕස්ට්‍රේලියානුවන් දැවී යාමක් ඉල්ලා සිටියේ නම් එය දැවී යාමකි. එහෙත් ක්ලාක් එය සිදු නොකළේය. තරගය ජය ගත්තේ ඉන්දියාවයි.

සිව්වැනි සහ අවසන් තරගයට ඕස්ට්‍රේලියානු නායකත්වය ෂේන් වොට්සන් හට ලබා දී තිබුණි. එහෙත් ඔහුගේ පළමු නායකත්වයේ දී ම ඔහුගේ කණ්ඩායම පරාජය විය. ටෙස්ට් තරගාවලිය 4-0ක් ලෙස ඉන්දියාව ජය ගත්තේය.

2014/15

ඇඩිලේඩ් හිදී පැවති මෙහි පළමු තරගයේ දී ඉන්දියානු නායකත්වය හිමි වුනේ විරාත් කෝලි හටයි. තරගය ආරම්භයටත් පෙර සිටම ඔවුන් තදින් ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වන බව කියවිණි. ඉන්දියානු වේගපන්දු යවන්නන් වූ මොහොමඩ් ෂමි සහ වරුන් ඒරන් බවුන්සර් පන්දු යවන්නට වූයේ පළමු පන්දු ඕවර කිහිපයේ සිටමයි. ඉන්දියානු අභියෝගය පැහැදිලි විය. එහෙත් ඩේවිඩ් වෝනර් පළමු ඉනිමේ දී ශතකයක් රැස්කළේය.

ඉන්දියානු ක්‍රීඩකයන්ට ප්‍රතිඋත්තර දෙන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු බල ඇණිය සැදී පැහැදී සිටියේය. මිචෙල් ජොන්සන්, රයන් හැරිස් සහ පීටර් සීඩ්ල් වේගවත්ව සහ වැඩි ඉපිලීමක් සහිතව පන්දු යැව්වේය. විරාත් කෝලි ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කළ ද ඕස්ට්‍රේලියාවට ජය හිමි විය.

දෙවන තරගය ද ඉන්දියාවට පරාජය ගෙන ආවද, ඔවුන්ගේ ආක්‍රමණශීලීත්වය ගැන සියලු දෙනා ධනාත්මකව කතා කළේය.

තෙවන තරගයේ දී තවත් ඓතිහාසික මතකයක් ටෙස්ට් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලැබුණි. ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු නායකත්වයට පත්කොට තිබුණේ මයිකල් ක්ලාක් ආබාධයකට ලක්ව සිටි බැවිණි. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 192ක් රැස්කළේය. අනෙක් පසින් ඉන්දියානු නායක විරාත් කෝලි සහ ආජින්ක්ය රහානේ ද ශතක වාර්තා කළේය. මිචෙල් ජොන්සන් සහ විරාත් කෝලි අතර දැඩි සටනක් ඇතිවුණේ මේ අතරතුරදීයි.

කෝලි ලකුණු 84 සිටිය දී ඔහු විසින් ඉදිරියට එල්ල කළ පහරක දී පන්දුව රැකගත් ජොන්සන් එය නැවත කෝලිගේ විකට්ටුව වෙතට විසිකළ අතර එය කෝලිගේ පාදයේ වැදුණි. ඉන් තවත් පන්දුවකට පසු කෝලිගේ පිත්තේ පිටත අග්‍රයේ වැදුණු පන්දුව තර්ඩ් මෑන් දෙසින් හතරේ සීමාව කරා ඇදී ගියේය. පිටිය මැදට දිවගිය කෝලි “ඊළඟ පාර මට ගහන්නැතුව විකට් එකට ගහපන්.” යැයි ජොන්සන්ට කීවේය. දෙදෙනා වාදයක පැටලුණු අතර පන්දු ඕවරය අවසන් වුවත් එය ඇදීයාම නිසා විනිසුරුවන් ඊට මැදිහත් විය.

මීළඟ පන්දු ඕවරයේ දී ස්ලිප්හි සිටි ෂේන් වොට්සන් අතට කෝලි විසින් පහසු උඩ පන්දුවක් ලබා දුන්නත් එය ගිලිහිණි. මීළඟ පන්දුව බවුන්සර් පන්දුවක් වූ අතර කෝලි විසින් හුක් පහරකට උත්සාහයක් ගනු ලැබිණි. පහත වීඩියෝවේ ඒ සම්පූර්ණ කතාන්දරය ඇතුළත් ය.

එම තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ මහේන්ද්‍ර සිං දෝනි, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේය.

සිව්වැනි තරගයේ දී ශතක හතරක් වාර්තා විය. ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, K. L. රාහුල් සහ විරාත් කෝලි ඒවායේ හිමිකරුවන් විය. තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වූයේ 2-0ක තරගාවලි ජයක් ඕස්ට්‍රේලියාවට ලබා දෙමිනි.

2016/17

ඉන්දියාවේ දී පැවති මෙම තරගාවලියේ පළමු තරගය, ස්ටීවන් ස්මිත් සහ විරාත් කෝලිගේ නායකත්වයෙන් ඇරඹිණි. ස්ටීවන් ඔකීෆ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු ඉනිමේ සහ දෙවැනි ඉනිමේ කඩුලු 6ක් දවාගත්තේය. තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමි විය.

දෙවැනි තරගයේ දී කිසිදු කණ්ඩායමක් ලකුණු 300කට එහා ඉනිමක් වාර්තා නොකළ ද, කඩුලු ලබා ගැනීම අතින් ඉන්දියාව ඉදිරියෙන් පසු විය. තරගයේ ජයග්‍රහණය ඔවුන්ට හිමි විය.

තෙවැනි තරගයේ පළමු ඉනිමේ දී ස්ටීවන් ස්මිත් සහ ග්ලෙන් මැක්ස්වෙල් ශතක රැස්කළේය. ඊට පිළිතුරු වශයෙන් චේතේෂ්වර පුජාරා  ශතකයක් ද, මහේන්ද්‍ර සිං දෝනිගේ අනුප්‍රාප්තිකයා වූ ව්රිදිමාන් සාහා ශතකයක් ද වාර්තා කළේය. සිව්වැනි ඉනිමේ දී පන්දු ඕවර 100කට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව ලකුණු 206/4ක් වශයෙන් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් විය.

සිව්වැනි තරගයේදීත් ස්ටීවන් ස්මිත් ශතකයක් රැස්කළේය. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු මේ තරගයේ දී ශතක රැස්නොකළත්, ඉන්දියානුවන් කඩුලු ලබා ගැනීමෙන් ඕස්ට්‍රේලියානුවන්ට වඩා ඉදිරියෙන් සිටියේය. ඔවුන් තරගය සහ තරගාවලිය ජයගත්තේ 2-1ක් ලෙසයි.

මෙතෙක් 13 වතාවක් පවත්වා ඇති බෝඩර්-ගවස්කාර් කුසලාන තරගාවලියේ 2018/19 අදියර තුළ දී ඉන්දියානු නායක විරාත් කෝලි සහ ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් වාග් ගැටුමක පැටලී තිබේ. සාමාන්‍යයෙන් නායකයන් වාග් සටන් වල පැටලීම විරල වුවත් දෙදෙනා මේ වනවිටත් සටනේ නිරත වෙමින් සිටියි.

තෙවන දිනය තුළ දී,

වැඩිය දැඟලුවොත් 2-0යි.” විරාත් සටන අරඹා ඇත.

ඊට කලින් බැට් කරපන් අලි ඔළුවා.” ටිම් පේන් පිළිතුරු ලබා දී ඇත.

සණ්ඩු සරුවලේ – කන් කරච්චලේ – 01

මොකද නිකන් ගානක් නෑ වගේ ඉන්න හදන්නේ? ඊයේ උඹයි පැරදුනේ” පේන්, පිතිකරණයේ යෙදෙමින් සිටිය දී කෝලිට පවසා ඇත. කෝලි එවැන්නකට පිළිතුරු නොදී සිටින්නෙකු නොවේ.

මේ සෙල්ලම් කරපන්. උඹලා කැප්ටන්ලා නේද? ටිම්, උඹයි කැප්ටන්” කෝලි පිළිතුරු දී ඇත.

පසුව විනිසුරුවන් ඊට මැදිහත් වී ඇති අතර ටිම් පේන් මෙසේ පවසා ඇත.

අපි පොඩ්ඩක් කතා කරනවා විතරයි. කුණුහරුප කියාගන්නේ නෑ. විරාත්, තරහ ගන්න එපා”

පසුව මුරලි විජේ හට පේන් පවසා ඇත්තේ,

ඒ උඹලගෙ කැප්ටන් තමයි, ඒත් ඒ මං කැමති හාදයෙක් නෙමෙයි.” යනුවෙනි.

තවමත් මේ වසරේ තරගාවලිය පැවැත්වෙයි. ඉතිහාසයට අනුව මෙය කිසිදා අවසන් නොවන වචන ගැටුමකි. එහි රස පුවත් සමඟින් ඉදිරියේදීත් හමුවෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<