කණ්ඩායමට දක්ෂතාවය තියනවා. විශ්වාසය අවශ්‍යයි – මහේල

2984

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවන තරගයේ දී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ලකුණු 34 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සන්නාම තානාපතිවරයෙක් ලෙස තරගාවලියට එක්ව සිටින මහේල ජයවර්ධන මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වා සිටියා.

ලකුණු සටහනේ ලකුණු අත්‍යවශ්‍ය වෙලාවක් මේක. ඒත් මේ කණ්ඩායමෙන් තවත් ලැබිය යුතු දේවල් ගොඩක් තියනවා. විශේෂයෙන් පිතිකරුවන්ගෙන්. කාඩිෆ් වල තිබුණු තණතීරුව දැක්කම මේක ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන් තණතීරුවක් නෙමෙයි කියලා පේනවා. ඒ වුනාට අපේ පිතිකරුවන්ට මීට වඩා හොඳින් පන්දුවට පහර දෙන්න තිබුණා.

ශ්‍රී ලංකාවේ මැද පෙළ අදත් අනාථයි

ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලියේ දෙවැනි තරගයට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට කාඩිෆ්…

ඉතාමත් හොඳ ආරම්භයක් ලැබුණා දිමුත් කරුණාරත්නගෙන් හා කුසල් පෙරේරාගෙන්. ලොකු සම්බන්ධතාවයන් දෙකක් දැක්කා. ඊට පස්සේ මැදපෙළ පිතිකරුවන්ට ඒක පවත්වා ගෙන යන්න බැරි වුනා. ඒක අවාසනාවන්ත කාරණාවක්.

මොහොමඩ් නබි ගැන කතා කරනවා නම් ඔහු ඉතාම හොඳින් පන්දු ‍යැවුවා. නමුත් දඟපන්දු ‍යවන්නන්ට සාර්ථක වීමට යම් වෙහෙසක් දරන්න සිදු වුනා. පන්දුව හරි තැන්වල පතිත කරගන්න අමාරු වුනා. ශ්‍රී ලංකාවේ මැදපෙළ පිතිකරුවන් ඔහුගේ පන්දුවලට දැවී යාම සැලකිය යුතු කාරණයක්. ගොඩක් පහසු දැවී යාම් (Soft Dismissals) තිබුණා. පිතිකරුවන් වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙලා පන්දු ‍යවන්නන්ට පීඩනය එල්ල කළ යුතුයි.

මට තේරුණා පිතිකරුවන් ගොඩක් සීමා ඉරෙන් පිටිපස්සට ගිහින් පන්දුවට පහර දෙනවා. ඒක වැරදි ක්‍රියාවක්. ඔවුන් අඩුම ලකුණු 250කට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරලා ක්‍රීඩා කරන්න ඕන. කාඩිෆ්වල ඒක තමයි අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් වෙන්නේ. මේ තරග ජයග්‍රහණය පන්නරයක් කරගෙන පිතිකරණය දියුණු කරගන්න අවශ්‍යයි. මේ වෙලාවේ දී පිතිකරුවන් තමන්ගේ විශ්වාසය නැතුව ක්‍රීඩා කරන බවක් පේනවා.

මේ වගේ අසීරු අවස්ථාවක පන්දු ‍යවන්නන් ඔවුන්ගේ වගකීම ඉටු කළා. නුවන් ප්‍රදීප් ඉතාමත් හොඳින් පන්දු ‍යැවීම කළා. ලසිත් මාලිංග ඉනිමේ අවසන් අවධියේ ඉතාමත් හොඳින් පන්දු ‍යැවූවා. වේගපන්දු ‍යවන්නන් 5 දෙනෙකු මේ වගේ තණතීරුවල පන්දු ‍යවද්දී වැඩි වාසියක් තියනවා. එයාලා තමයි මේ තරගයේ වෙනස කරලා ලකුණු 34ක ජයග්‍රහණය ලබාගන්න ලොකු කාර්‍යභාරයක් කළේ.

Video – මේවා එක්දින තරග ගහන තණතීරු නෙමේ – හතුරුසිංහ

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ඩක්වර්ත්…

පන්දු ‍රැකීම සාමාන්‍ය මට්ටමක පැවතුණා. ඉතාමත් දක්ෂ දවා ගැනීම් දෙකක් ලබාගත්තා. තිසර පෙරේරා ලබා ගත් උඩපන්දුව හා දිමුත් කරුණාරත්න ලබා ගත් දුවද්දී දවා ගැනීම ඉතාමත් විශිෂ්ටයි. නමුත් උඩපන්දු කීපයක් ගිලිහී ගියා. පන්දු රැකීමේ අංශයත් දියුණු කරගත යුතුයි.

සමස්තයක් විදිහට මම දන්නවා මේ කණ්ඩායමට මීට වඩා දස්කම් දක්වන්න පුළුවන්. තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයන් ගොඩක් කණ්ඩායමේ ඉන්නවා. ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් දක්ෂතාවය ඔවුන්ට තියනවා. ඒ හින්දා තමයි මම මීට වඩා දස්කමක් බලාපොරොත්තු වෙන්නේ.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

කුසල්ගේ ඉනිම විශිෂ්ටයි. ඔහු ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩා රටාව සෙල්ලම් කළා. ඒක තරගයට ගොඩක් ගැළපුණා. දිමුත් කරුණාරත්නත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා මේ තත්ව යටතේ. ක්‍රීඩකයන් තමන්ට පැවරී තියන වගකීම ඉටු කරන්න ඕන. සමහර වෙලාවට එයාලා game plan එකෙන් පිටට යනවා. එතකොට අසාර්ථකයි. ඒක වෙන්නේ විශ්වාසය නැති වුනාම. මම හිතන්නේ මේ ජයග්‍රහණයත් එක්ක ඒ තත්වය වෙනස් වේවි.

පාකිස්තානය සමඟින් බ්‍රිස්ටල් වල තියන මීළඟ තරගය උද්වේගකර තරගයක් වේවි. නවසීලන්තය සමඟ තිබුණ තරගයත් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ. මේ තරගයෙත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. පිතිකරුවන් මීට වඩා කණ්ඩායමට දායකත්වයක් ලබා දිය යුතුයි.

ඔවුන්ට ඒක කරන්න පුළුවන් නම් පන්දු ‍යවන්නන්ට අවස්ථාව තියනවා ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. Flat Track එකක් පන්දු ‍යවන්නන්ට උදව් කරාවි. ඒත් ඔවුන්ට නිදහසේ පන්දු යවලා උපරිමය ලබාගන්න නම් පිතිකරුවන් තම වගකීම ඉටු කරන්න ඕන.

පන්දුව පළුදු කිරීම, මාලිංගගේ දෝස් මුරය සහ පාකිස්තානයේ නැගිටීම

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ අතිශය අවමන් සහගත…

ඇෆ්ගනිස්තානය අවතක්සේරු කරන්න බෑ. ඔවුන් හොඳ කණ්ඩායමක්. තරගාවලියේ කණ්ඩායම් කීපයකටම ඔවුන් අභියෝග කරාවි. ඒ නිසා මේක වටිනා ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව උපරිමයෙන් තියනවා. කණ්ඩායම තමන්ව විශ්වාස කරන්න ඕන.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය පාකිස්තානයට එරෙහිව එළඹෙන ජුනි 7 වැනිදා බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායම එංගලන්තය පරදා ලබා ගත් ජයග්‍රහණය නිසාවෙන් ඔවුන් ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට පිවිසෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<