සුපුරුදු ප්‍රහාරය කොදෙව්වන්ටත්, ශ්‍රී ලංකාවට තවත් ජයක්

1263
Blind Cricket Round up

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් දෘශ්‍යාබාධිත කණ්ඩායම සමඟින් අද (01) දිල්ලි හි අයි.අයි.ටී. පිටියේදී පැවැත්විණි. මෙම තරගයෙන් ලකුණු 130ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාවට දැවැන්ත සබඳතාවයක් සහිත, සුභවාදී ආරම්භයක්

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ (30) ආරම්භ වූ අතර…

කාසියේ වාසිය ජයගත් කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන්නේ දැවැන්ත ලකුණකට යාමට නොදී අඩු ලකුණකට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව සීමා කිරීමට වුවද, මෙම තරගයේදීත් විශිෂ්ට ශතකයක් සමඟින් ක්‍රියාත්මක වූ සුරංග සම්පත් පිට පිටම තම දෙවන ශතකයටද හිමිකම් කියමින් 4 පහර 19ක් සමඟින් පන්දු 64කදී ලකුණු 116*ක් ලබාගෙන ලකුණු 281ක දැවැන්ත ලකුණක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික ජවය ලබාදෙන ලදි.

මුලු ලකුණු 34ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙකම බිඳලීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූයේ යම් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙමිනි. නමුත් සවිමත් මූලික අඩිතාලමක් සකස් කල සුරංග සමඟින් එක්වූ මැදපෙළ පිතිකරු චන්දන දේශප්‍රිය පන්දු 52ක් තුල ලකුණු 108*ක් ලබා ගත්තේ 4 පහර 20කටද හිමිකම් කියමිනි.

අනතුරුව පිටියට පැමිණි කොදෙව්වන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 34ක් තුල දවාගත්තද, තෙවන කඩුල්ල සඳහා ලකුණු 46ක සාර්ථක අඩිතාලමක් ගොඩනැංවීමට කෙවින් ඩග්ලස් හා ලෙරී පිලිප්ස් සමත් වූයේ හොඳ ලකුණු ලබා ගැනීමේ වේගයක්ද රඳවා තබාගනිමිනි.

නමුත් තෙවන කඩුල්ල ලෙස 4 පහර 2ක් එල්ල කොට ලකුණු 20ක් ලබා සිටි ඩග්ලස් දැවී‍ගොස් මොහෙතකට පසුව, ලකුණු 115ක් ලෙස කොදෙව් ලකුණු පුවරුව දැක්වෙද්දී අර්ධ ශතකයට ආසන්න වෙමින් තරගයේ වාසිය තම කණ්ඩායම වෙත හරවාගන්නට ගත් ප්‍රයත්නයද අසාර්ථක කරවමින් ලකුණු 44ක් ලබාගෙන සිටි පිලිප්ස් දැවීගියේ, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වාසිය සම්පූර්ණයෙන් හරවාදෙමිනි. පිලිප්ස්ගේ ඉණිමට කිසිදු 4 ‍හෝ 6 පහරක් අන්තර්ගත නොවූවද, ඔහු වේගවත්ව කඩුලු අතර දිවයමින් ලකුණු ලබා ගැනීමට සමත් විය. අවසානයේ කොදෙව් ඉණිම ලකුණු 151කට සීමාකරවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. එහිදී දිනේෂ් හේරත් ලකුණු 20කට කඩුලු 2ක් දවාලමින් දස්කම් දැක්විය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 2ක් දැවී ලකුණු 281 (පන්දුවාර 20): සුරංග සම්පත් 116*, චන්දන දේශප්‍රිය 108*, රුවන් වසන්ත 16, ජෝජි ස්ටුවර්ට් 1/31

බටහිර ඉන්දීය කොදෙව් දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 151 (පන්දුවාර 20): ලෙරී පිලිප්ස් 44, කෙවින් ඩග්ලස් 20, දිනේෂ් හේරත් 2/20, උපුල් සංජීව 1/22

මෙම තරගාවලිය තුල සිටින දැවැන්ත කණ්ඩායමක් ලෙස විචාරකයන් හදුන්වනු ලබන එමෙන්ම ක්‍රියාවෙන් එය ඔප්පු කර ඇති කණ්ඩායමක් වන පාකිස්තානු දෘශ්‍යාබාධිත කණ්ඩායම සමඟ තරගය හෙට (2) දිල්ලි හි ශ්‍රී ෆෝට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගය බොහෝ උණුසුම්කාරී තරගයක් වනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් ඉඟි පල කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<