ශ්‍රී ලංකා අභියෝගය ඉන්දියාව ජය ගනී

1422

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (10) විශිෂ්ට හා ප්‍රහාරත්මක පිතිකරණයක් දක්නට ලැබුණු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ඩුබායි හිදී අවසන් වූයේ කඩුලු 6ක ජයක් ප්‍රබල ඉන්දීය කණ්ඩායම සතුවෙද්දීය.

ශ්‍රී ලංකාවෙන් කැන්ගරුවන්ට දරුණු ප්‍රහාරයක්

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (8) ඩුබායි..

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක අජේ කුමාර් රෙඩ්ඩීගේ ඇරයුමින් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් B1 කාණ්ඩයේ ක්‍රීඩක කේ. සිල්වා හා B3 කාණ්ඩයේ ක්‍රීඩක සුරංග සම්පත් ලකුණු 104ක හොඳ සබඳතාවයක් ගොඩනංවන ලදි. දකුණතින් පිත්ත හසුරුවන සිල්වාගේ සහය පිණිස තවත් පිතිකරුවෙක් ඔහු වෙනුවෙන් දිවීමට සිටි අතර, ඔහු දුවද්දී දැවී යාමට හසු වූ නිසා පන්දු 46ක් තුළ ලකුණු 64ක් ලබා සිටි සිල්වා දැවී ගියේය.

ඊයේ (09) ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වූ තරගයේ දී ශතකයක් ලබාගත් රුවන් වසන්ත හට අද දිනය තුළ ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාව නොලැබුණි. කෙසේ නමුත් සුරංග සම්පත් අද දිනය තුළත් සිය වගකීම හැකි උපරිමයෙන් ඉටු කරමින් ලකුණු 68ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම නිසාවෙනි.

නායකත්වයේ පිතිකරණයක නිරත වූ B3 කාණ්ඩයේ චන්දන දේශප්‍රිය වමතින් පිත්ත හසුරුවමින් පන්දු 67ක් තුළ නොදැවී ලකුණු 97*ක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් ක්‍රීඩා කළේය. අවසානයේ ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 358ක් ලබා ගත්තේ ප්‍රබල ඉන්දියාවට හොඳ අභියෝගයක් ලබා දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. පන්දු යැවීමේ දී සුනිල් රමේශ් 3/43යි.

ලෝක කුසලානය ජය ගන්නට ක්‍රීඩකයෝ ඩුබායි යති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ලාහෝරයේ දී මේ මස 08 වැනිදා සිට 22 වැනිදා…

ලකුණු 359ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ වමතින් පිත්ත හසුරුවන දීපක් මලික් හා  වෙන්කතේශ්වර් රාඕ පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එම සබඳතාවය ගොඩනැංවීමේ දී මුල සිටම ප්‍රහාරත්මක පිතිකරණයක නිරත වීමට දීපක් සමත් විය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 28ක් ලබාගෙන සිටි වෙන්කතේශ්වර් දැවී යන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 7ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 78ක් ලබාගෙන සිටියේය.

කඩුලු රකින ක්‍රීඩක ප්‍රකාශ් ජයරාම් හා දීපක් ඉන්දීය මැදපෙළ සවිමත් කරමින් අගනා සබඳතාවයක් ගොඩනැංවූ අතර එහි දී ප්‍රකාශ් වේගවත්ව ලකුණු 75ක් රැස්කළේය. අවසානයේ පන්දුවාර 31යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 359ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වූයේ කඩුලු 6ක ජයක් ලබා ගනිමිනි. ඉන්දීය කණ්ඩායමට ජය මාවත විවර කර දුන් දීපක් පන්දු 107ක් තුළ නොදැවී ලකුණු 179*යි.

ශ්‍රී ලංකාව – 358/8 (40): චන්දන දේශප්‍රිය 97*, සුරංග සම්පත් 68, කේ. සිල්වා 64, සුනිල් රමේශ් 3/43.

ඉන්දියාව – 359/4 (31.1): දීපක් මලික් 178*, ප්‍රකාශ් ජයරාම් 75, වෙන්කතේශ්වර් රාඕ 28, චන්දන කුමාර 1/40.

තරගයේ වීරයා – දීපක් මලික් (ඉන්දියාව)

තරගයේ වටිනාම ක්‍රීඩකයා – චන්දන දේශප්‍රිය (ශ්‍රී ලංකා නායක)

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 13 වැනිදා නේපාලය සමඟින් පැවැත්වේ.

තරගයට පසුව ශ්‍රී ලංකා නායක චන්දන දේශප්‍රිය ThePapare.com වෙත මෙසේ සිය අදහස් දක්වන ලදි.

“මුල් කඩුල්ල සඳහා හොඳ සබඳතාවයක් ගොඩනැංවුණත් පසුව අපේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම බිඳ වැටුණා. ඒ වගේ වෙලාවක එක් අන්තයක් රැකගෙන ඉන්දීය පන්දු යවන්නන් හමුවේ හුදකලා සටනක මට නිරත වෙන්න සිදු වුනා. ඉතිරි තරග කිහිපයත් හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රාහීව අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. “

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<