ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරගයක් දී පරාජය වෙයි

2196
Blind Cricket Sri Lanka v Pakistan

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අද (2) දිල්ලි හිදී මුහුණට මුහුණ තරග වැදුනු අතර එහිදී පාකිස්තානු කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිවිය.

සුපුරුදු ප්‍රහාරය කොදෙව්වන්ටත්, ශ්‍රී ලංකාවට තවත් ජයක්

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම…

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන ප්‍රබල පාකිස්තානු කණ්ඩායම හමුවේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 40ක් දක්වා ගෙනයාමට රුවන් වසන්ත හා සුරංග සම්පත් සමත් විය.

රුවන් වසන්ත ලකුණු 20ක් ලබා ගැනීමට 4 පහර දෙකක් වාර්තා කරන ලදී.  ලකුණු 89කට කඩුලු 4ක් දැවී තිබියදී පිටියේ ස්ථාවර වූ චන්දන දේශප්‍රිය හා දිමුතු රවීන්ද්‍ර, ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් පාකිස්තානු පන්දු යවන්නන්ට හිසරදයක් වන ආකාරයේ සබඳතාවයක් ගොඩනැංවූ අතර, එහිදී  4 පහර දෙකක් සමඟ ලකුණු 46ක් ලකුණු පුවරුවට එක් කල චන්දන දේශප්‍රිය දක්ෂ ඉණිමක් දියත් කිරීමට සමත් විය. නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 164ක් පමණි. එම ඉණිමේ කඩුලු 5ක් ම දුවද්දී දැවීයාම් වලට හසුවීම ඉතා අවාසිදායක තත්ත්වයක් විය.

පාකිස්තානු කණ්ඩායම ලකුණු 165ක් හඹායාමට පිටියට පිවිසි අතර දක්ෂ ලෙස පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තානු කණ්ඩායමට අවසන් මොහෙත දක්වාම සුපිරි තරගයක් ලබා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරලිකාර බව හොඳින් විදහා දක්වමිනි. පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අඩිතාලමක් සකස් කල ආරම්භක පිතිකරු බදාර් මුණීර් 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 49ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි. පාකිස්තානු කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිවිය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 164 (පන්දුවාර 20): චන්දන දේශප්‍රිය 46, දිමුතු රවින්ද්‍ර 22, බදාර් මුණීර් 1/18

පාකිස්තානු දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 165 (පන්දුවාර 17.2): බදාර් මුණීර් 49, අමීර් ඉශ්වාක් 36, සුරංග සම්පත් 2/25

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය හෙට (3)  එංගලන්ත දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමඟ සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට තරග තුනකට මුහුණ දී ඉන් තරග දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 6ක් ද සමඟ පස්වන ස්ථානයේ රැදී සිටියි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<