බින්දුමාල් විසින් චන්දිමාල් වෙතට

5487

දයාබර චන්දිමාල්,

මා ඔබට මේ ලිපිය ලියන්නේ ඔබ විසින් ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතා විශිෂ්ට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 164ක් ලබා, දකින දකින හැම තැනකම ඔබේ ගුණ ගායනා ගැයෙමින් තිබෙන මොහොතක ය.

ඔබේ පින්තූර මත විවිධ වැකි සටහන් කරමින් ඔබේ ගුණ වයන මේ මිනිසුන්ම මීට ටික කලකට පෙර ඔබව අමතක කර දමා “බිංදුමාල්” වන මා ළං කර ගත් ආකාරය මට සිහි වේ. එකල මුහුණු පොත හා වෙබ් අඩවි පුරා සැරිසැරූයේ මා ය. ඔවුන් මා උලූප්පා දක්වමින් ඔබට සිනාසුණ අයුරු ද මට සිහි වේ.. අහෝ කාලය මිනිසුන් වෙනස් කරන අයුරු!

අප දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ අම්බලන්ගොඩ ධර්මාශෝකයේ පටන් කොළඹ ආනන්දයට පැමිණෙන තෙක් අප ආ ගමනේ වරින් වර ඔබ කපා දමා මා මතුවන්නට උත්සාහ කළ ද, ඒ හැම අවස්ථාවකම ඔබ දස්කම් අතරට පැමිණි අයුරු මට මතකය.

ඔබ උපන්ගෙයිම දක්ෂයෙකි. දක්ෂතාවය ජන්මයෙන් රැගෙන ආ අයෙකි. “බිංදුමාල්” වන මට තබා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනකට ජීවිත හා දේපල අහිමි කළ බිහිසුණු සුනාමි ව්‍යසනයටවත් ඔබේ සිත තුළ රැඳී තිබූ ජවය උදුරා ගන්නට නොහැකි විය.

IslandCricket.lk

ධර්මාශෝකයෙන් ආනන්දයට ගිය ඔබ, ආනන්දයෙන් ශ්‍රී ලංකා 19න් ප්‍රබල කණ්ඩායමට සුදුසුකම් ලැබ එහි නායකත්වයට පත්වූයේ සියල්ලන්ගේම අවධානය දිනා ගන්නා අතරේය. 2009 වර්ෂයේ දී ඔබ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ එම තරග සමය තුළ ලකුණු 1580ක් ලබා ගනිමිනි. ඉන්පසු කුමාර් සංගක්කාරගේ ඇරයුම පරිදි NCC ක්‍රීඩා සමාජයේ පළමු පෙළ කණ්ඩායම හා එක්වන ඔබ එහි දී ද “බිංදුමාල්” වන මා හට මතුවන්නට ඉඩ තැබූයේ නැත.

ඔබේ දස්කම් තුළින් දෑස් විවර කර ගත් එවකට සිටි තේරීම් කමිටුව 2010 වසරේ අප්‍රේල් මස 30 වැනිදා  නවසීලන්තයට එරෙහිව පැවති 20/20 තරඟයට ඔබ කැඳවූයේ ඔබ හට ජාත්‍යන්තර වරම් හිමි කර දෙමිනි.

එතැන් පටන් පිළිවෙළින් සිම්බාබ්වේට එරෙහිව එක්දින වරම් හා දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් නුඹ, නුඹටම ආවේණික වූ ප්‍රහාරාත්මක පිතිහරඹයකින් කණ්ඩායමට දායකත්වය සැපයූවේ අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට අපේක්ෂකයෙකු බවටත් ඉඟි පළ කරමින්ය.

එම ඉඟි සනාථ කරමින් 2013 වසරේ ජූලි මස දී ඔබ තරග දෙකක් සඳහා ජාතික එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ දකුණු අප්‍රිකාව හා තරග වැදීමටය. ඉන් පසුව 20/20 කණ්ඩායමේ නිත්‍ය නායකයා සහ එක්දින කණ්ඩායමේ නිත්‍ය උප නායකයා වශයෙන් පත්වීම් ලබන ඔබ එහි දී ද මා හට මතුවීමට ඉඩ තබන්නේ නැත.

නමුත් ඉන්පසු එළඹෙන්නේ “බිංදුමාල්” වන මගේ වාරයයි.

ඒ 2014 ලෝක කුසලාන 20/20 තරගාවලියයි. තරගාවලියට පිවිසෙන විටත් ඔබ කපා දමමින් “බිංදුමාල්” වන මම ඉස්මතු වන්නට පටන් ගෙන තිබුණි. ඔබ වෙත පීඩනය දැඩි කළ මම පිළිවෙළින් ඔබ කපා දමමින් මුහුණු පොත හා  වෙබ් අඩවි පුරා රජ කරන්නට වූයේ සියල්ලන් හටම පෙර ඔබ පෑ දස්කම් අමතක කරවමිනි.

අවසානයේ ඔබට නායකත්වයේ කිරුල අහිමි වී කණ්ඩායමේ ස්ථානය ද අහිමි වී ගියේය. “බිංදුමාල්” සමාජ මාධ්‍යවල රජ කරන අතරේ ඔබ පසුපසට වී කණ්ඩායම ජයග්‍රහණය කර තමා එසවීමට නියමිතව තිබූ  ලෝක කුසලානය වෙනත් සගයකු ඔසවනු බලා නිහතමානීව සතුටු වනු මම දුටිමි.

SkySports.com

කෙසේ නමුත් ඔබේ මේ පසුබෑම ඉතා කෙටි කාලීන බව මම ඉවෙන් මෙන් දැන සිටියෙමි. මගේ ඉව සැබෑ කරමින් යළි ගමන් ඇරඹි ඔබ, 2016 වසරේ පිට පිටම තරග පහක දී අර්ධ ශතක 5ක් ලබා ගනිමින් ශ්‍රී ලාංකීය විශිෂ්ටයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා සනත් ජයසූරිය සමඟින් සම වන්නට සමත් විය.

ඒ අතරේ වරින් වර මා ඉස්මතු වුවත්, ප්‍රේක්ෂකයන් ඇතැම් අවස්ථාවල දී ඔබ පරයා “බිංදුමාල්” වන මා මතු කළත්, ඔබ නිහඬව ඔබේ ගමන ගියේය.

1997 වසරේ දී ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එරෙහිව අසීරු මොහොතක පිටියට පිවිසි අරවින්ද ද සිල්වා දියත් කළ සටන්කාමී ඉනිම (ලකුණු 110) සිහිගන්වමින්, 2015 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී ඉන්දියාවටම එරෙහිව ඔබ දියත් කළ ප්‍රහාරාත්මක ඉනිම (ලකුණු 155) මා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දුටු විශිෂ්ටතම ඉනිමකි. එයට තවත් වැදගත්කමක් එක් කළ සාධකයක් වූයේ එය ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ටතමයා ලෙස නමක් දිනා සිටින කුමාර් සංගක්කාරගේ අවසන් ටෙස්ට් තරගය වීමයි.

සීමිත ඕවර තරගවල දී ඔබේ දස්කම් පිළිබඳව ඇතැමුන්ට ගැටලු පැවතුනත් ටෙස්ට් පිටිය තුළ දී පැවති ඒ සියලු දුර්මත බිඳ දමමින් වසර 35ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ අඩුම ඉනිම ගණනක දී ශතක 10ක් වාර්තා කළ ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය ඔබ දිනා ගන්නේ පසුගිය දා ඉන්දියාවට එරෙහිව ලබාගත් ශතකයත් සමඟිනි. ඔබ ඒ වාර්තාව තමා සතු කර ගන්නේ ඒ සඳහා ඉනිම 80ක් පමණක් ක්‍රීඩා කරමිනි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ තිලාන් සමරවීර ඒ සඳහා ඉනිම 82ක් ද, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉනිම 101ක් ද ගතකර තිබුණි. ඒ අනුව ඉනිම 80ක් අවසානයේ ඔබ විශිෂ්ටතමයන් අතරට එක් වී අවසානය.

Crictracker.com

වරෙක ඔබ ශතකයක් රැස් කර එය සමරන අවස්ථාවේ දී අහස දෙස බලා යමක් සන් කරනු දුටු මට සිතුණේ ඔබ මේ සියලු දස්කම් පෙන්වන්නේ ගංගා මෑණියන්ගේ ආශීර්වාදය මත දෝ කියාය. නමුත් ඔබ පසෙකට තල්ලු කර දමා “බිංදුමාල්” නම් වූ මා ඉදිරියට පැමිණෙන අවස්ථාවල දී මෑණියන්ට කළ හැකි වූ දෙයක් නොවූ නිසා ඒ සිතුවිල්ල මම ඒ මොහොතේම බැහැර කළෙමි.

චන්දිමාල්, දැන් ඔබ වීරයෙකි. ප්‍රේක්ෂකයන් අතර තරුවකි. දැන් යළිත් එළඹ ඇත්තේ ඔබට ඉඩ දී “බිංදුමාල්”ට, එනම් මට කරළියෙන් ඉවත් වීමට කාලයයි.

නමුත් මම අධෛර්යමත් නොවෙමි. ඔවුන් මාලිංගට සැලකූ අයුරු මට මතකය. මාලිංගට මෙන්ම අනෙකුත් ක්‍රීඩකයන්ට සැලකූ අයුරු ද හොඳ හැටි මතකය. තරග දෙක තුනක් අසමත් වුවහොත් ඔවුන් යළි ඔබ අමතක කර මා ඔසවා තබනු නිසැකය.

ඉතින් චන්දිමාල්.. ඔබ මාලිංගගෙන් ඉගෙන ගත යුතුය. ඔවුන් කුමක් කීවද, කුමක් ලීවද, ඔබ ඔබේ ක්‍රීඩාව පවත්වා ගෙන යා යුතුය. නැතහොත් මා, එනම් “බිංදුමාල්” යළි කරළියට එන දිනය වැඩි ඈතක නොවිය හැක. අවිනිශ්චිත  ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙන්ම චමත්කාරය ද එය බැවිනි ඒ.

නුදුරේ දී අපි යළිත් හමුවනතෙක් ඔබට ආයුබෝවන්!

මීට,
ඔබේ පසමිතුරු බිංදුමාල්...

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<