ක්‍රිකට් පිටියේ නොපිට හැරුණු සටකපටකම්

167
©Getty Images

පැට්‍රික් පැටර්සන් කියන්නේ බටහිර  ඉන්දීය කොදෙව් දූපත්වලින් බිහිවුණු ඉතාම වේගවත් පන්දු යවන්නෙක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු කඩුලු රකින්නෙකු වූ ජෙෆ්‍රි ඩූජෝන්ට අනුව ඔහු කඩුලු රැකීමේ යෙදුණ වේගවත්ම පන්දු යවන්නා වන්නේ පැට්‍රික් පැටර්සන්.

©Getty Images

1988 මෙල්බර්න් නුවර පැවැත්වුණු ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීව් වෝ පැටර්සන් වෙත බවුන්සර් පන්දු කිහිපයක් යොමු කරනවා. දිනය නිමා වූ වහාම පැටර්සන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක විවේකාගාරය පැත්තට යන්නේ කෝපයෙන් වෙවුලමින්. එසේ යන පැටර්සන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට තර්ජනය කරමින් පවසන්නේ ඊළඟ දිනයේ සියලුම ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එකා එකා ගෙන පිටිය මැද දී මරා දමන බවයි. 

නමුත් පැටර්සන්ට කිසිම ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු මරා දමන්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු පහක් දවා ගන්නේ ලකුණු 39ක් පමණක් ලබා දෙමින්. පැටර්සන්ගේ මේ සුවිශේෂී දස්කම නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ඉනිමේ ලකුණු 114ක් වන් අඩු ලකුණු සංඛ්‍යාවකට   දැවී යනවා.

මෑඩ් මැක්ස්, තැන්පත් අරවින්දයක් කළ මේට්ලන්ඩ් පෙදෙසේ හටන

1987 වසරේ එක්තරා අවාසනාවන්ත සමයක නවසීලන්ත ………

නසාර් හුසේන්ට වැරදුණ මයින්ඩ් ගේම්ස් 

2003 වසරේ එංගලන්තයේ සංචාරය කරපු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ අවුරුදු 22ක් වයසැති ග්‍රැහැම් ස්මිත්. ඒ වන විට නායකත්වය වගේම ක්‍රීඩා කෞෂල්‍යය ජාත්‍යන්තර මට්ටමේ දී විශාල වශයෙන් පරීක්ෂාවට ලක්වී තිබුණේ නෑ. ඒ නිසාම ඉංග්‍රීසි ජාතිකයින් දකුණු අප්‍රිකානු නායක ස්මිත් අපහසුතාවට පත් කරන්නට උත්සහ කළේ පළමු ටෙස්ට් තරඟයේ ආරම්භයටත් පෙර සිටම.

එජ්බැස්ටන්හි පැවැත්වුණ පළමු ටෙස්ට් තරඟය ආරම්භයේ එංගලන්ත නායක නසාර් හුසේන් තරෙග තීරකවරයාට ග්‍රැහැම් ස්මිත්ව හඳුන්වා දුන්නේ ‘ග්‍රේග්’ නමින්. තමාගේ මෙම ක්‍රියාවෙන් ස්මිත් අපහසුතාවයකට පත් වේ යැයි හුසේන් කල්පනා කළා.

©Getty Images

ඒ වන විට හුසේන්ගේ නායකත්වයත් එංගලන්තය තුළ දැඩි ලෙස විවේචනයට ලක් වෙමින් තිබූ කාලයක්. විශේෂයෙන්ම එංගලන්ත මාධ්‍ය එංගලන්ත නායකයාට මහත් හිසරදයක් වී තිබුණේ.

එංගලන්ත නායකයා කුමන උපක්‍රමයක් භාවිතා කළත් මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ලකුණු 277ක් මෙන්ම දෙවැනි ඉනිමේ ලකුණු 85ක් ලබා ගත් ස්මිත් තමා මනසින් ඉතාම ශක්තිමත් ක්‍රීඩකයෙකු බවට එදා ලෝකය හමුවේ ඔප්පු කළා. මෙම තරගයෙන් පසු නසාර් හුසේන් නායකත්වයෙන් ඉවත් කොට මයිකල් වෝන් නායකත්වයට පත් කරන්නට එංගලන්ත බලධාරීන් කටයුතු කළා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දැකුම්කළු සලකුණ මාක් වෝ

අනූව දශකයේ මුල දිනයක ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ……….

ලෝඩ්ස්’හි පැවති ඊළඟ තරගයේ දී නැවත වතාවක් සාර්ථක වෙමින් ලකුණු 259ක් රැස්කළ ස්මිත් තරගාවලියේ පළමු දින දහය ඇතුල්‍ළත රැස්කළ ලකුණු සංඛ්‍යාව 621ක්. කෝඩුකාර නායක ස්මිත්ගේ පිතිහරඹයට පිං සිදුවන්නට තරග 2-2ක් ලෙස සම සමව නිමා කර ගැනීමට දකුණු අප්‍රිකානුවන් එදා සමත් වුනා.

එමෙන්ම ටෙස්ට් තරග 109කට නායකත්වය දී ඉන් තරග 53ක් ජයග්‍රහණය කරා මෙහෙයවූ ස්මිත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම නායකයෙකු ලෙසයි සැලකෙන්නේ. විශිෂ්ටත්වය කරා ග්‍රැහැම් ස්මිත් ආ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ මෙම 2003 එංගලන්ත සංචාරයයි.

ඕස්ට්‍රේලියානුවන් මැරුම් නොකා මැරුම් කෑ දවස

1992/93 සුප්‍රකට ඕස්ට්‍රේලියානු බෙන්සන් සහ හෙජස් තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරග තුනෙන් පළවෙනි තරගය. සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ තරගය පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පන්දුවාර පනහ අවසානයේ ලකුණු 239ක් රැස් කර ගන්නවා. ඒ වෙනුවෙන් බ්‍රයන් ලාරා අගනා අර්ධ ශතකයක් එක් කරනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල්ම කඩුල්ල දැවී ගිය පසු පිටියට පිවිසෙන්නේ ඩීන් ජෝන්ස්. 

“මා පිටියට එන විටම තේරුම් ගත්තු දෙයක් බූනි (ඩේවිඩ් බූන්) කර්ට්ලි ඇම්බ්‍රෝස්ගේ පන්දු හමුවේ ඉතා අපහසුවෙන් මුහුණ දුන් බව.

ඇම්බ්‍රෝස් අතේ පැලඳගෙන හිටිය දහඩිය පිස දැමීමට භාවිතා කළ පටිය සුදු පාටයි. පන්දුවත් සුදු පාටයි. ඇම්බ්‍රෝස් ඉතා උස ක්‍රීඩකයෙකු නිසා අපිට පන්දුව එල්ල කරන උස හරියටම නිරීක්ෂණය කරන්නට නොහැකි වුනා. මම අපේ පුහුණුකරු බොබ්  සිම්ප්සන්ට කියාගෙන ආවේ මා ඇම්බ්‍රෝස්ට විරුද්ධව යමක් කරන බව.

පිටිය මැදට පැමිණි වහාම මම ඒ සුදු පැහැති පටිය ඉවත් කරවන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියා.

මම දුටුවා ඇම්බ්‍රෝස් කෝපයෙන් වෙවුලා ගිය ආකාරය. ඔහු ඒ පළඳනාව ඉවත් කළේ දත්මිටි කමින්. අනෙක් අන්‍තයේ සිටි මාක් ටේලර් මා ළඟට ඇවිත් කිව්වා යකෝ මට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා මොකක්ද ඒ කරපු වැඩේ කියල. මට එවෙලේම තේරුම් ගියා මට විරුද්ධව කොදෙව්වන් එකොළොස් දෙනෙකුත් එක් ඕස්ට්‍රේලියානුවෙකුත් සිටින බව.

©Getty Images

ඉන්පසු ඇම්බ්‍රෝස් මා වෙත එවූ පන්දු මා ඔහුගෙන් මුහුණ දුන් වේගවත්ම පන්දු කිහිපය කියන්න පුළුවන්.

ඇම්බ්‍රෝස් අවුස්සා වාසියක් ගන්නට උත්සහ කළත් එය අපේ අවාසියටයි හිටියේ. එය ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයේ මා කළ මෝඩම වැඩවලින් එකක්. මෝඩම වැඩේ කිව්වත් වැරැද්දක් නැහැ.”

ඩීන් ජෝන්ස් පසුකලක තමන් මුහුණ දුන් භයංකර අත්දැකීම විස්තර කළේ එහෙමය.

ඕස්ට්‍රේලියානුවන් පිතිකරුවන්ට කිසිම බුරුලක් නොදුන් ඇම්බ්‍රෝස් ලකුණු 32කට කඩුලු පහක් දවා ගන්නට සමත් වූ අතර ලකුණු 25ක අගනා ජයග්‍රහණයක් කරා බටහිර ඉන්දීය කොදෙව්වන් මෙහෙයවන්නට ඔහු සමත් විය. 

නසාර් හුසේන් වෙස්සන්තර වූ හැටි

2002/03 අළුබඳුන තරගාවලියේ බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සංචාරක එංගලන්ත කණ්ඩායමේ නායක නසාර් හුසේන්. 

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ඔහු තීරණය කළා මුලින් පන්දු යවන්න. පිතිකරුවන්ට ඉතාම යෝග්‍ය තණතීරුවක් ලෙසින් දිස්වූ නිසා බොහෝ දෙනා මවිතයට පත්වූ ආකාරයක් දැක ගැනීමට හැකි වුනා.

“මම පන්දු යවන්න තීරණය කළා. මගේ තරුණ පන්දු බළඇණියට මම හොඳ අවස්ථාවක් දෙන්න ඕන මේ තණතීරුවෙන් ප්‍රයෝජනයක් ගන්න.

අපේ පන්දු යවන්නන් නිවැරදි තැන පන්දුව පතිත කරලා පන්දු රකින්නෝ උඩපන්දු ටික රැක ගත්තොත් ඔවුන් අමාරුවේ දාන්න අපට පුළුවන්” 

©Getty Images

එංගලන්ත නායකයා ප්‍රකාශ කළේ ඉතාම ධනාත්මකව.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්ලොවට අධිපති දෙවිඳු සෝබර්ස්!

ඔහුට ක්‍රිකට් පිටියේ කරන්නට නොහැකි දෙයක් තිබුණේම නැත……..

නසාර් ගත් තීරණය සෑහෙන වැරදි එකක් බව පෙනුණේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ගැබා ක්‍රීඩාංගණයේ සතර දෙසටම පහර දෙන්න වුණාම. විශේෂයෙන්ම මැතිව් හේඩ්න් එංගලන්ත කිසිදු පන්දු යවන්නෙකුට ස්ථාවර වීමට ඉඩ හසර ලබා දුන්නේ නැහැ.

එවර අළුබඳුන තරගාවලියේ මුල්ම තරගයේ මුල්ම දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියානුවන් කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 364ක් ලබා සිටියා. මෙම තරගයෙන් එංගලන්ත කණ්ඩායමට අත්වුණේ පරාජය. එමෙන්ම එංගලන්ත දෙවන ඉනිම ලකුණු 79කට සීමා වීමත් සුවිශේෂී කාරණයක්.

තවමත් එදා නසාර් හුසේන් ගත් තීරණයට සරදම් කරන හුසේන්ගේම සහෝදර විස්තර විචාරකයයින් එංගලන්තයෙන් තවමත් සොයා ගත හැකියි.

තවත් මෙවන් ලිපියක් සමඟින් නැවත හමුවෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<