Anuruddha Herath Bandara

පසුගිය වසරේ නිමා වූ ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට හිමි වූ රිදී පදක්කම, ශ්‍රී ලංකාවේ හොකී ඉතිහාසයටම පැළඳ වූ රිදී මාලයක් වැනිය. ක්‍රීඩා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා හොකී සම්මේලනයත් අතර කඹ ඇදිල්ලක් පවතිද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම එවන් තැනකට ළඟා වීම සැබවින්ම ප්‍රශංසනීය යි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමක්, හොකී ඉතිහාසය පුරාවටම අන්තර්ජාතික තරගාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ ද එවරයි.

සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් බිම හෙලන්නට කඳවුරු බඳින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

මේ වසර තුල දී, වසර 50ක අභිමානය සපුරන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ මහානාම විදුහල සමඟ පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ…

ශ්‍රී ලංකාවට එම ජයග්‍රහණය අත්කර දුන් කණ්ඩායම පිටුපස හිඳ සියලු උපක්‍රම සහ සැලසුම් නිර්මාණය කරමින් ගුරුහරුකම් ලබා දුන් අනුරුද්ධ හේරත් බණ්ඩාර යනු මෙරට පුහුණුකරුවන් අතුරින් ප්‍රමුඛතම පුහුණුකරුවෙකි. මාතලේ දිස්ත්‍රික් හොකී කණ්ඩායමත්, ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායමත්, වසර ගණනාවක්ම නියෝජනය කර ඇති ඔහු, මාතලේ විජය විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් ද සේවය කරමින් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට අනගි මෙහෙවරක් සිදුකර ඇත.

ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කතාබහ කිරීම සඳහා ඔහුව මඳකට සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු වීම් ලබා දෙන අතරතුරදීය.

“මාර්තු 04 ලෝක හොකී ලීග් දෙවැනි වටයේ තරග පටන් ගන්නවා. ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ.” ඔහු කතාබහ ආරම්භ කළේ එලෙසිනි.

පසුගිය වසරේ පැවති ලෝක හොකී ලීග් පළමු වටයේ දී දෙවැනි ස්ථානයට පත් වූ බැවින් ශ්‍රී ලංකාවට එහි දෙවැනි වටය දක්වා පියමන් කිරීමට වරම් ලැබුණි. ඊට සහභාගී වන කණ්ඩායම් වන්නේ, පළමු කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, චීනය, ඝානාව, ඊජිප්තුව සහ දෙවන කාණ්ඩයෙන් බංගලාදේශය, කැනඩාව, ඕමානය සහ මැලේසියාවයි.

“2016 දී දේශීය හොකී සම්මේලනයේ ප්‍රශ්න ඇතිවීමත් එක්ක නිලවරණය පැවැත්වුණේ නැහැ. දැන් හොකී ක්‍රීඩාව පාලනය වෙන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේයි. අපි 2016 AHC (ආසියානු හොකී සම්මේලන කුසලානය) තරගාවලියේ අවසන් තරගයකට ආවේ පළමු වතාවට. ඉතින් ක්‍රීඩකයන්ගේ දියුණුවක් තියෙනවා.”

“අපේ ගෝල රකින්නා වුණත් ආසියානු මට්ටමේ හොඳම තුන්හතරදෙනා අතර ඉන්න කෙනෙක්. දක්ෂතාවල අඩුවක් නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක්. අපේ කාණ්ඩයෙන් අපි පළමු තැන දිනා ගත්තා. හොංකොං කණ්ඩායමක් ඉදිරියේ අපි ජය ගත්තේ පළමු වතාවට.” අනුරුද්ධ මහතා එසේ පැවසීය.

“අවසන් පූර්ව තරගය තිබුණ දා වර්ෂාවෙන් බාධා එල්ල වුනා. එදා හවස 7.00ට තිබුණ තරගය පහුවදා උදේ 7.00ට කල් ගියා. එදාම හවස තමයි අන්තිම තරගයත් තිබුණේ.” ශූරතා ජයග්‍රහණයට හරස් වූ හේතු දක්වමින් ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට දිගු ඉතිහාසයක් ඇතත්, එය වඩාත් ප්‍රචලිත තවමත් මධ්‍යම සහ බස්නාහිර පළාත්වල පමණක් යැයි පෙනී යාම පිළිබඳ අපි ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.

“අපේ රටේ මූල්‍යමය වශයෙන් දුර්වල මට්ටමකයි හොකී ක්‍රීඩාව තියෙන්නේ. හැබැයි මේක තරගකාරී ක්‍රීඩාවක්. නවක ක්‍රීඩකයන්ගේ සිට ප්‍රවීණයන් දක්වාම තරග කරන ක්‍රීඩාවක්. හැම පළාතකම ක්‍රීඩා කරන හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා.” ඔහුගේ පිළිතුර වූයේ එවැන්නකි.

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ තත්වය ඉහළ නැංවීමට නම් කුමක් කළ යුතු දැයි විමසීමේ දී ඔහු දැරුවේ මෙවන් අදහසක්,

“අවුරුදු 6ක 8ක සැලසුමක් තිබුණොත් අපට ඉදිරියට යන්න පුළුවන්. ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න ලීග් එකක් වගේ තරගාවලියක් තියෙන්න ඕනේ. ඒකට මාධ්‍ය ආවරණය දෙන්න ඕනේ. ඉස්සර නම් හැම සති අන්ත පුවත්පතකම හොකී ලිපියක් පළවුනා. ඒ අතින් දැන් ThePapare.com සිදු කරන්නේ ලොකු මෙහෙවරක්.”

“මේ රටේ සත් සාමාජික තරගාවලි වැඩියි. ඒ තරගයක් පැවැත්වෙන්නෙ විනාඩි 14ක් වගේ. ඒකෙන් ක්‍රීඩකයන්ගේ දරා ගැනීම වැඩෙන්නේ නෑ. කොටින්ම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට ඒවා තහනම් කළ යුතුයි. 16න් පහල හෝ ප්‍රවීණ ක්‍රීඩකයන්ට (veterans) සත් සාමාජික තරග හොඳයි. විනාඩි 70ක ජාත්‍යන්තර තරග හොඳින් ක්‍රීඩා කරන්න නම් සත් සාමාජික තරග තහනම් විය යුතුමයි.” ඔහු තවදුරටත් කියා සිටියේ ක්‍රීඩාව ගැන ඔහුගේ දැක්ම ප්‍රකට කරවමිනි.

ජාත්‍යන්තර තරග අත්දැකීම් ක්‍රීඩකයන් වෙත ලබා දීම ගැන ද ඔහු අවධාරණය කළේය.

“සුහද ජාත්‍යන්තර තරග සඳහා සිංගප්පූරුව, චීන තායිපේ වගේ කණ්ඩායම් අප ගෙන්වා ගත යුතුයි. ලබන වසරේ දී සිංගප්පූරුව සමඟ එවැනි තරග 5ක් ක්‍රීඩා කිරීමට අප සැලසුම් කරගෙන යනවා.”

“අපේ පුහුණුකරුවන්ට විදේශ පාඨමාලාවන්ට සහභාගී වීමේ අවස්ථාවත් ලබා දිය යුතුයි.” ඔහු එකතු කළේය. එය ආසියාව තුළ නැගී සිටින ශ්‍රී ලාංකික හොකී ක්‍රීඩකයන්ට විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් ගන්නා වටිනා පියවරක් වනු ඇත.     

ශ්‍රී ලංකාව තුළ හොකී ක්‍රීඩකයන් පෙළන තවත් ගැට‍ළුවක් ගැන අපි ඔහුගෙන් විමසා සිටියෙමු. ඒ කෘතීම හොකී ක්‍රීඩාංගණ පහසුකම් වල පවතින අඩුකම ගැනයි.

“කොළඹ තියෙන හොකී ක්‍රීඩාංගණයේ කාලයත් දැන් ඉවරයි. ග්‍රීන් ටර්ෆ් (green turf) දැන් ලෝකයේ භාවිතා වෙන්නේ නෑ. දැන් තියෙන්නේ බ්ලූ ටර්ෆ් (blue turf). ඒවා මත හොකී පන්දුව වේගෙන් ඇදී යනවා. ඉතින් මෙහි පුහුණු වීම් කරන ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ දී අසාධාරණයක් සිදුවෙනවා. කොළඹට ටර්ෆ් දෙකකුත් මාතලේට ටර්ෆ් දෙකකුත් අත්‍යාවශ්‍යයි.”

“මාතලේ කෘතීම හොකී ක්‍රීඩාංගණය හැදුවේ 2000 වර්ෂයේ දී. දැන් එහි ජීව කාලය ඉවරයි. ඉතින් දැන් එහි තරග පැවැත්වෙන්නේ නැහැ.” මාතලේ කෘතීම හොකී ක්‍රීඩාංගණයේ අද තත්වය ගැන විමසීමේ දී ඔහු අදහස් පළකලේ එසේය.

“ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ හොකී ක්‍රීඩාව වෙනුවෙන් සැලකිය යුතු සේවයක් ඉටු වී තිබෙනවා. වත්මන් ක්‍රීඩා ඇමතිතුමා (දයාසිරි ජයසේකර) හොකී ක්‍රීඩාව ගැන විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. තව සුළු දේවල් කිහිපයක් ගොඩනගා ගත්තොත් එය ශ්‍රී ලංකාවේ හොකී අනාගතයට වැදගත් වේවි.” ඔහු පැවසීය.

පස්වැනි ආසියානු පාසල් හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම තෝරා ගැනීම පිණිස පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ පිළිබඳවද ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

“අප්‍රේල් පළවෙනි සතියේ දී 18න් පහල ක්‍රීඩකයන් යොදාගෙන තමයි මෙය පැවැත්වෙන්නේ. පාසලකින් දක්ෂ ක්‍රීඩකයෝ පස්දෙනා බැගින් අප්‍රේල් 11, 12 කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගණයට පැමිණෙන්න යැයි මම ආරාධනා කරනවා. 1999 ජනවාරි 01 වැනිදා හෝ ඉන්පසු උපන් ක්‍රීඩකයන්ට එදා උදේ 8.00ට ඇවිත් ලියාපදිංචි වෙලා මීට සහභාගී විය හැකියි. පුහුණු සැසි උදේ 9.00 ඉඳන් සවස 5.00 දක්වා තමයි පැවැත්වෙන්නේ.”

ලෝක හොකී ලීගයේ දෙවන වටයට කණ්ඩායම තෝරා ගැනීම කෙසේවේදැයි ද ඔහු සඳහන් කළේය.

“පසුගිය සතියේ අපිට 24දෙනෙකුගේ සංචිතයක් හිටියා. දැන් ඒක 31 දක්වා වැඩි කරලා තියෙනවා. මුලින් 25 දෙනෙක් හිටපු සංචිතයට ආදේශකයන් වශයෙන් ක්‍රීඩකයන් 6 දෙනෙකු එක්කළා.”

“ඒ 31 දෙනාගෙන් අවසන් 18 දෙනෙක් තරගාවලියට තෝරා ගන්නවා. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ අපට ක්‍රීඩාංගණය, ආහාර සහ නවාතැන් වගේ පහසුකම් නම් ලැබී තිබෙනවා.” තවදුරටත් ඔහු පැවසුවේය.

හොකී ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැගෙන ආ හැකි ක්‍රීඩාවක් බව දැන් ඔප්පු වී හමාරයි. ඒ මෙවැනි පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයන්ගේ ධෛර්යේත් මහන්සියේත් ප්‍රතිඵලයක් ලෙසයි. ඔවුන්ගේ ධෛර්ය ද, කැපවීම ද ඉවත නොදමින් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව තවදුරටත් ඔසවා තැබීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවායි ThePapare.com අපගේ පැතුමයි!  

 >> තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න <<