පාසල් මහා ක්‍රිකට් තරග වාරයේ අවසානය ලඟා වීමත් සමඟ පසුගිය මාසයකට අධික කාලය තුල මහා ක්‍රිකට් තරග කරළියේ පෙරලි කළ දක්ෂයන් පිළිබඳ ආපසු හැරී බැලීමක් මේ.

රන් මහා සටනේ එක්දින තරගයේ ජය කා හට ද?

11 වැනි ඩී. එස්. – මහානාම “රන් මහා සටනේ” එක්දින තරගය එළඹෙන ඉරිදා (09) දිනයේ දී පැවැත්වීමට නියමිතයි….

චරණ නානායක්කාර සහ නවීන් ගුණවර්ධන

1තුන් ඉරියව් ක්‍රීඩක චරණ නානායක්කාර සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නවීන් ගුණවර්ධන තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ සටන තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයන් දෙපළකි.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ ජයක් සහ තරගයේ වැඩි ගෞරව දිනා ගත් තර්ස්ටන් කණ්ඩායමේ දස්කම් සඳහා ඉහළ දායකත්වයක් මේ දෙදෙනාගෙන් හිමි විය.

දර්ශනීය පිතිකරණ රටාවකින් යුතු චරණ අර්ධ ශතක දෙකකින් (58 සහ 55) තර්ස්ටන් ආධිපත්‍ය ගොඩ නගද්දී නවීන් තරගය තුල කඩුලු 8ක් දවා ගත්තේ (5/33 සහ 3/31) තර්ස්ටන් කණ්ඩායම පූර්ණ ජයග්‍රහණයක අසලටම ගෙන එමිනුයි.

ජෙහාන් ඩැනියල්

3සාන්ත පීතර විද්‍යාලය මහා ක්‍රිකට් තරගයේ දී සාන්ත ජෝසප් මුල් පෙළ පිතිකරුවන්ට එරෙහිව ප්‍රබල පන්දු ප්‍රහාරයක් එල්ල කළ ද ඔවුන්ට අමතකව ගිය කුඩා පිතිකරුවෙක් විය.

ඔහු තම පාසල වෙනුවෙන් තම ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම විය හැකි පිතිකරණයක් දියත් කළේ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 9කට කඩුලු 5ක් දැවී ඉතා අසීරු අඩියක පසුවූ අවස්ථාවකදීයි. සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයේ අවමානයෙන් ගලවා ගත් ඔහු ජෙහාන් කීත් සියොන් ඩැනියල් නම් විය. 83 වන ශාන්තුවරයන්ගේ සටන වර්ණවත් කළ ඔහුගේ ලකුණු 124ක ඉනිමට හතරේ පහර 12ක් සහ දැවැන්ත හයේ පහර 5ක් ඇතුළත් විය.

රවිඳු කොඩිතුවක්කු සහ කලන පෙරේරා

8සාන්ත තෝමස් විද්‍යාලයීය උප නායක රවිඳු කොඩිතුවක්කු හට 138 වන නිල් මහා සටනේ දී විශිෂ්ට ශතකයක අයිතිය අවාසනාවන්ත ලෙස මග හැරී ගිය ද, ඔහු පන්දු 149ක් තුල හතරේ පහර 14ක් සමඟ වාර්තා කළ ලකුණු 98ක විශිෂ්ට ඉනිම හේතුවෙන් තෝමසුවන්ට තරගයේ පාලනය හිමි කර ගැනීමට හැකි විය.

වමතින් වේග පන්දු යවන ක්‍රීඩක කලන පෙරේරා රාජකීය කණ්ඩායමේ පිතිකරණය විනාශ කරන්නට සමත් වුනේ පළමු ඉනිමේ දී කඩුලු 5ක් දවා ගනිමිනුයි. දෙවන ඉනිම තුළදීත් කඩුලු 2ක් දවා ගත් ඔහු තරගය තුල වඩාත් කැපී පෙනුණු පන්දු යවන්නා බවට පත් විය.

ලක්ෂිත රසාංජන

11අලංකාර පිතිකරණ රටාවකින් හෙබි මේ වමත් පිතිකරුවා දෙවන ඉනිමේ දී ඉහළ ඝනයේ ශතකයක් (නොදැවී ලකුණු 113) වාර්තා කරමින් නාලන්ද කණ්ඩායම 88 වන සුලෝහිත සංග්‍රාමයේ පරාජයෙන් ගලවා ගන්නට සමත් විය. ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස නාලන්දාව දෙවන ඉනිමට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 280ක් ලබා ගැනීමට සමත් විය.

විශ්ව චතුරංග සහ ප්‍රවීන් ජයවික්‍රම

Vishwaවේගයෙන් පන්දුවට පහර දෙන වමත් පිතිකරු විශ්ව චතුරංග සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම 67 වන මොරටු රන් සටනේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් විය. වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිමේ ජයක් වාර්තා කළ මේ තරගයේ දී නායක චතුරංග ලකුණු 88ක දර්ශනීය ඉනිමක් ගොඩ නගන්නට සමත් විය. මේ අතර අත්දැකීම් බහුල පන්දු යවන්නෙකු වන ජයවික්‍රම සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 62කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

හසිත බෝයගොඩ සහ ශැනොගීත් ශන්මුගනාදන්

2හසිත බෝයගොඩ සහ ශැනොගීත් ශන්මුගනාදන් එක්ව ශත සංවත්සර ත්‍රිත්ව – ශා. අන්තෝනි මහා ක්‍රිකට් තරගයේ විශිෂ්ටතම සබඳතාව ගොඩනගන්නට සමත් විය. තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් වුව ද ශත සංවත්සර තරගයේ ශතකයක් අභියසට පැමිණි බෝයගොඩ ලකුණු 90ක් ලබා ගනිද්දී නායක ශන්මුගනාදන් වේගවත් ලකුණු 83ක් රැස් කළ අතර වර්ෂාව නොවන්නට තරගයේ ප්‍රතිඵලය ත්‍රිත්ව කණ්ඩායමේ ජයග්‍රහණයක් වෙත ගෙන යන්නට ඔවුන්ගේ දායකත්වය ප්‍රධාන හේතුවක් වන්නට ද ඉඩ තිබිණි.

විමුක්ති විජේසිරිවර්ධන සහ ගනිඳු කෞශල්‍ය

පිතිකරුවන්ට එතරම් හිතකර නොවූ මෙවර කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ පළමු ඉනිමේ තියුණු ජයක් වෙත කිංග්ස්වුඩ් කණ්ඩායම ගෙන යන්නට විමුක්ති විජේසිරිවර්ධන සහ ගනිඳු කෞශල්‍ය දැක්වූ දක්ෂතා හේතු විය. විජේසිරිවර්ධන ලකුණු 87ක් සමඟින් තම කණ්ඩායම සටන්කාමී ලකුණු තත්ත්වයක් වෙත ගෙන ගිය අතර ධර්මරාජ කණ්ඩායමේ පිතිකරුවන්ට හිසරදයක් බවට පත් වූ ගනිඳු කෞශල්‍ය තම පිට දඟ පන්දුවෙන් ලකුණු 62කට කඩුලු 7ක් දවා ගනිමින් පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි.

ධනංජය ලක්ෂාන් සහ කමිඳු මෙන්ඩිස්.

5ධනංජය ලක්ෂාන් විශිෂ්ට ඝනයේ ශතකයක් වාර්තා කරද්දී නායක කමිඳු මෙන්ඩිස් අගනා ලකුණු 92ක් ලබා ගත්තේ ජය පැරදුමෙන් තොරව අවසන් වූ 112 වන ආදරවන්තයන්ගේ සටනේ තරු බවට පත් වෙමිනුයි. මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන් පිළිබඳ කිසිදු තැකීමක් නොකළ ඔවුන් දෙදෙනා ලකුණු 168ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුනේ තරගාවලි ඉතිහාසයේ නව වාර්තාවක් ද පිහිටුවමිනි. මීට පෙර ආදරවන්තයන්ගේ සටනේ ඉහළම ආරම්භක සබඳතාව ලෙස සටහන් වුනේ 2015 වසරේ පිහිටවූ ලකුණු 162ක සබඳතාවයි.

රන්දීර රණසිංහ සහ පුබුදු ගනේගම

කුරුණෑගල සාන්ත ආනා සහ මලියදේව විදුහල් අතර 34 වන වරට පැවති මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සාන්ත ආනා කණ්ඩායමට හිමි කර දීම සඳහා රන්දීර රණසිංහ සහ පුබුදු ගනේගම ඉහළ දායකත්වයක් ලබා දුනි. රණසිංහ මහා ක්‍රිකට් තරග ශතකයක් පෙනෙන මානයට පැමිණෙමින් ලකුණු 98ක් ලබා ගත් අතර වඩාත් ප්‍රබල ලෙස සැලකුණු මලියදේව පිතිකරණ අංශය බිඳ දැමූ ගනේගම කඩුලු 5ක් දවා ගනිමින් සාන්ත ආනා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාම සඳහා පෙරමුණ ගන්නා ලදි.

පසිඳු නදුන්

7ලුම්බිණි විද්‍යාලයේ වේග පන්දු යවන ක්‍රීඩක පසිඳු නදුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමඟ පැවති 4 වන නීල හරිත සටනේ ජයග්‍රහණය ලුම්බිණියට හිමි කර දීමේ පුරෝගාමියා විය. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 49කට කඩුලු 7ක් දවා ගන්නට සමත් වූ අතර දෙවන ඉනිමේ දී ද තවත් පිතිකරුවන් දෙදෙනෙකුගේ ඉනිම අවසන් කරමින් ඉනිමක සහ ලකුණු 9ක ජයග්‍රහණයක් වෙත මාර්ගය විවර කරන ලදි.

මුදිත ලක්ෂාන්

mudith Lakshanතුන් ඉරියව් ක්‍රීඩක මුදිත ලක්ෂාන් 11 වන ඩී. එස්. – මහානාම රන් සටනේ දී, ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත් විය. මෙවර මහා ක්‍රිකට් තරග වාරය තුළ ලකුණු 98කට දැවී ගිය තවත් අවාසනාවන්ත පිතිකරුවෙක් බවට පත් වුව ද, මුදිතගේ ඉනිම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා මහත් උපකාරී විය.

කනගරත්නම් කබිල්රාජ්

10යාපනය මධ්‍ය විද්‍යාලය සමඟ පැවතී 111 වන උතුරු සටනේ ජයග්‍රහණය හිමි කර ගැනීම සඳහා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ කබිල්රාජ්ගේ දකුණත් වේග පන්දුවයි. ඔහු මෙම තරගය තුල කඩුලු 10ක අයිතිය තමන් සතු කර ගන්නට සමත් විය. පළමු ඉනිමේ දී ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත් කබිල්රාජ් දෙවන ඉනිම තුල දී කඩුලු 6ක් දවා ගැනීම සඳහා ලබා දුන්නේ ලකුණු 28ක් පමණයි.

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න