Best of Lakmal yet to come

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසන අන්දමට වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ ඉහළම දක්‍ෂතාවය ප්‍රේක්ෂකයින් හට දැක බලා ගැනීමට තවමත් අවස්ථාවක් සැලසී නැත.

ධරම්සාලා ක්‍රීඩාංගණයේ දී පැවති ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයේ දී 30 හැවිරිදි සුරංග ලක්මාල් ප්‍රතිවාදීන් හට ලකුණු 13ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට සමත් විය.

සිංහ හදවතැ’ති වේග පන්දු තරුව – සුරංග ලක්මාල්

ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට..

එහි දී ඉන්දීය කණ්ඩායම ලකුණු 112කට සියලු දෙනා දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් අතැතිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. ඒ අනුව එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 12ක් පරාජයට පත්වෙමින් ගිය ගමන්මග අවසන් කරමින් ජයග්‍රහණයක් වාර්තා කර ගන්නට සමත් විය.

“මම හිතන්නේ නැහැ තවමත් අපි අඛණ්ඩව සුරංග ලක්මාල්ගේ ඉහළම දක්‍ෂතාවය දකිනවා කියලා. ඔහු මේ වන විට ඒ දක්වා ළඟාවෙමින් සිටිනවා. ඔහුට ඒ සඳහා විශාල කැපවීමක් තියෙනවා. ඔහු දන්නවා නිසි වේලාවට නිසි රිද්මයෙන් යුතුව පන්දු යවන්න. ඔහුට දැන් තියෙන ආබාධවලින් ඔහු සම්පූර්ණ සුවය ලැබුවට පස්සේ ඔහු අඛණ්ඩව ඔහුගේ ඉහළම දක්‍ෂතා අතරට පැමිණෙයි කියලා මට විශ්වාසයි.”

රුමේෂ් රත්නායක මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසීය.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී ඔහු සමඟින් පන්දු යැවීම ආරම්භ කළ ඇන්ජෙලෝ මැතිව්ස් සහ ඉන් අනතුරුව පන්දුව බාර ගත් නුවන් ප්‍රදීප් ඔහුට මනා සහයෝගයක් ලබා දුන් අතර ඒ අනුව ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුලු 7 ලකුණු 29ක් තුළ දවා ගන්නට ඔවුන් සමත් විය.

“එහි දී සුරංග ලක්මාල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනා. කියන්න ලේසියි තණතිල්ල ඊට ගොඩක් හිතකර තත්වයක තිබුණා කියලා. අපි පිතිකරණයේ නිරත වෙනකොටත් තණතිල්ල තිබුණේ ඒ වගේමයි. ඔහුගේ ඒ දක්ෂතාවයට හේතුවුණේ ඔහු පන්දුව හරි තැන් වල පතිත කරමින් හොඳින් පන්දු යැවීම. ඒක මම දැකපු හොඳම වේගපන්දු යැවීම්වලින් එකක්.”

රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

එහි දී ලක්මාල් ඔහුගේ පන්දුවාර 10 අඛණ්ඩව ඉතා හොඳින් යොමු කළ අතර ඔහු අතින් එහි දී දුර්වල පන්දුවක් යොමු වූයේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

“ඔහුට එහි දී හොඳ සහායෝගයක් ලැබුණා. පළමුවෙන්ම මැතිව්ස්ගෙන්. ඔහු ඉතාමත් හොඳින් පන්දු යැවුවා. ඔහු පොඩි පන්දුවාර ප්‍රමාණයක් පමණක් යැවුවත් ඔහු හොඳ පීඩනයක් එල්ල කළා. ඒ හරහා ලක්මාල්ට කඩුලු ලබාගන්න පහසු වුනා. ඔහු පන්දුව පතිත කළ ස්ථාන ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. මැතිව්ස්ගෙන් අනතුරුව නුවන් ප්‍රදීප් ඇවිත් ඒ වගේම පීඩනයක් එල්ල කළා. ඒක ලක්මාල්ට පන්දුවාර 10 යොමු කරන්න ලොකු උදව්වක් වුනා. එක් අවස්ථාවක දී අපිට අදහසක් තිබුණා ඔහු පන්දුවාර 7ක් යොමු කළාට පස්සේ ඔහුව ඉන් ඉවත් කරන්න. නමුත් මම ඒ වෙලාවේ ඔහු සමඟ කතා කළාම ඔහු කිව්වේ ඔහු හොඳම තත්වයක නොසිටියත් ඔහුට ඉතිරි පන්දුවාර ටික යොමු කරන්න පුළුවන් කියලා. ඔහු හොඳින් පන්දු යවපු නිසා ඔහුට ඒකට උනන්දුව තිබුණා.”

රත්නායක මහතා පැවසීය.

ලක්මාල් පැයට කි. මී. 140 ඉක්මවමින් පන්දු යවන්නේ ඉතාමත් කළාතුරකින් වුවත් ඔහු එහි දී පිතිකරුවන් මුලා කරමින් ඔවුන්ගේ කඩුලු දවා ගැනීමට සමත් විය.

“ඔහු පන්දු යැවුවේ පැයට කි. මී. 134ක වගේ වේගයකින්. ඒ අනුව ඔහුගේ වේගයේ යම් අඩුවීමක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ ඔහුගේ ආබාධ නිසා. නමුත් ඔහු කණ්ඩායමට ගේන අත්දැකීම් ගොඩක් වටිනවා. ඒ නිසා ඔහු කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙක්.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ බලඇණියේ පෙරගමන්කරුවා වශයෙන් ලක්මාල් අනෙක් වේගපන්දු යවන්නන්ට ද සැලසුම් සකසමින් ක්‍රීඩා කළ බව රත්නායක මහතා අදහස් දක්වමින් පැවසීය.

කෝඩුකාරයන්ගේ තරගයෙන් ජය තිසරට

කෝඩුකාරයන් දෙදෙනෙක්, කණ්ඩායම් දෙකටම කෝඩුකාර ක්‍රීඩාංගණයක යෙදුණ ද්වන්ද..

“ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු හොඳ ආදර්ශයක්. ඔහු ක්‍රීඩා කරන්නේ අනෙක් අයවත් දිරිගන්වමින්. ඔහු ඉතාමත් හොඳ උපදෙස් දෙනවා මට ඇහිලා තියෙනවා. ටෙස්ට් තරගාවලියේ දීත් ඔහු කණ්ඩායමට ලොකු දායකත්වයක් ලබා දුන්නා. වේගපන්දු යවන්නන් සාමාන්‍යයෙන් අනෙක් අයටත් උදව් කරමින් ක්‍රීඩා කරන නිසා ඒක ඔවුන් තුළ සාමාන්‍යයෙන් තියෙන දෙයක්. අද අපි වේගපන්දු යවන්නන් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වූවා. ලක්මාල් එහි දී අනෙක් අය කරන්න ඕනේ දේවල් පැහැදිලි කළා. ඔවුන් පන්දු යැවිය යුත්තේ කොහොමද, ඒ වගේ දේවල්.”

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය තුළ ඉන්දියාවට එරෙහිව ඉන්දියාව තුළ මෙතෙක් තරගාවලියක් ජයග්‍රහණය කර නොමැති අතර කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එයට ඉතාමත් ආසන්නයට පැමිණ ඇත.

“මේ තරගාවලිය ජයග්‍රහණය කරන එක අපිට ගොඩක් වැදගත්. අපි තරගයෙන් තරගය අවධානය යොමු කරන්නේ. අපි ඊළඟ තරගයට එන්නේ කලින් තරගයේ දැක්වූ දක්‍ෂතා වල විශ්වාසයත් සමඟ. අපි හොඳින් ක්‍රීඩා කරමින් තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා.”

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<