ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද, එක් පකිස්තාන ජාතිකයෙකු ද, එංගලන්ත ජාතිකයෙකු ද, ඉන්දියානුවෙකු ද ඇතුළත් වූ, “ලෝකයේ දක්ෂතම ක්‍රිකට් නායකයන් පස්දෙනෙකුගේ ලැයිස්තුවක්” ගැන අපි මින් පෙර කතා කළෙමු. අප මේ ඉටු කරන්නේ, “නායකත්වය පසිඳලූ ලොව දක්ෂතම ක්‍රිකට් නායකයන්” ගැන ඔබට කියන බවට වූ පොරොන්දුවයි. ලෝක ඉතිහාසය තුළ හොඳින්ම නායකත්ව දක්ෂතා පෑ ක්‍රිකට් ක්‍රීඩකයන් දස දෙනා අතුරින් පළමු පස්දෙනා මෙසේ විය.

ලෝකයේ දක්ෂතම ක්‍රිකට් නායකයෝ – 01

සමහර ක්‍රීඩාවලට නායකත්වය වැදගත් වන්නේ මාධ්‍ය හමුවල දී හෝ ප්‍රිය සම්භාෂණයන්හිදී කණ්ඩායම..

5 ඉම්රාන් ඛාන්

courtesy - thecelebritynetworth.com
courtesy – thecelebritynetworth.com

ලොව පහළ වූ සාර්ථකම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඉම්රාන්, පකිස්තානයෙන් පහළ වූ සාර්ථකම නායකයා ය. 1992 ලෝක කුසලාන ජයග්‍රහණය පකිස්තානයට ගෙන ඒමට ප්‍රබල සාධකයක් වූයේ ඔහුගේ නායකත්වයයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු 3,000කුත් ටෙස්ට් කඩුලු 300කුත් ලබා ගත් 8 දෙනා අතර ස්ථානයක් ඔහුට හිමි ය.

එංගලන්ත ඔක්ස්ෆර්ඩ් සරසවියේ ගෞරවනීය පුද්ගලයන්ගේ ලැයිස්තුවට ද ඇතුළත් වන ඉම්රාන්, 1976 සහ 1980 වර්ෂවල දී “වෙදර්ඕල් ක්‍රිකට් සමාජ සම්මානය” හෙවත් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ “දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ” සම්මානය දිනා ගත්තේය. 1983 විස්ඩන් ක්‍රීඩකයාගේ සම්මානය හිමි වූයේ ද ඔහුටයි. 2012 වසරේ ග්ලෝබල් පෝස්ට් සඟරාව මඟින් ලොව හොඳම නායකයන් 09 දෙනා අතරට ඔහුව නම් කරන ලදි.

courtesy - dawn.com
courtesy – dawn.com

“ලයන් ඔෆ් ලාහෝර්” යන විරුදාවලිය ලත් ඉම්රාන් ඛාන් දැනට පකිස්තාන දේශපාලනයේ ප්‍රබල චරිතයකි.

29.1%ක ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතයක් සහිත ඉම්රාන් ගැන ලෝක පූජිත පිතිකරු විවියන් රිචඩ්ස් මෙසේ පැවසීය.

“ඔහු වන් නායකයෙකු දෙස වර්තමාන පකිස්තාන කණ්ඩායම අවධානය යොමු කළේ නම් ඔවුන් අද සිටිනවාට වඩා හොඳ ස්ථාවරත්වයක් සහිත කණ්ඩායමක් වෙන්නට තිබුණා.”

4 ග්‍රෑම් ස්මිත්

courtesy - samaa.tv
courtesy – samaa.tv

පළල් උරතලයකින් සහ ශක්තිමත් මනසකින් යුත් මොහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට පත්වන විට මොහුගේ වයස අවුරුදු 22ක් පමණි. නොයෙක් දේශපාලන වටපිටාවන් තුළ අසරණව තිබූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව යළි නගා සිටුවීමට ඔහුගේ නායකත්වය ඉවහල් විය. වර්ණභේදවාදය සහ ජාතිවාදය පිටුදකිමින් තම කණ්ඩායම එකක් ලෙස තබා ගත් ඔහු නිසා අද ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් මට්ටමක පවතියි.

ටෙස්ට් තරග 109ක් තුළ කණ්ඩායමේ නායකත්වය හෙබවූ ස්මිත්, ඉන් තරග 53කම ජය ගැනීමට කණ්ඩායම මෙහෙය වූ අතර 48.6%ක ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතයක් සහිතය. කණ්ඩායමක වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට නායකත්වය සපයා ඇති නායකයා සහ වැඩිම ජයග්‍රහණ ගෙන ආ නායකයා ඔහුයි.

courtesy - mid-day.com
courtesy – mid-day.com

මෙතෙක් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පැවැත්වුණු උද්වේගකරම තරගය ලෙස සැලකෙන, “දකුණු අප්‍රිකාව විසින් ලකුණු 434ක් හඹාගිය තරගයේ” දකුණු අප්‍රිකානු නායකත්වය දැරූ ස්මිත්, “බිෆ්” යන සුරතල් නාමය දරයි.

“ඔහු නායකත්වයට පත්වන්නට පෙර දකුණු අප්‍රිකානු නායකයන් ටෙස්ට් ඉනිමක් අත්හිටවූයේ තමන් පරාජය නොවන බව දත් විට පමණයි. නමුත් ඔහු තමයි නිර්භීත, ආක්‍රමණශීලී සන්නාමයක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක් කරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ගෙන ගියේ.” ලෝ ප්‍රකට නායක මයිකල් වෝන්, ස්මිත් ගැන සිය අදහස් පළකළේ එසේයි.

3 රිකී පොන්ටින්

courtesy - wallpapers-web.com
courtesy – wallpapers-web.com

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඔහුව හඳුනන්නේ ආවේගශීලී සහ ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු ලෙසයි. එහෙත් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වශයෙන් දැවැන්ත අභියෝග ජය ගත්තෙකු ලෙස ඔහු හැඳින්විය හැකිය. ක්‍රීඩකයෙකු වශයෙන් ටෙස්ට් තරග 100කට වැඩි ප්‍රමාණයක ජයග්‍රහණ අත්විඳ ඇති එකම ක්‍රීඩකයා මෙන්ම ඉන් 77කදී ඕස්ට්‍රේලියානු නායකත්වය දරා ජයග්‍රහණ 48ක් ගෙන ඒමට ද ඔහුට හැකි විය.

වැඩිම එක්දින තරග ජයග්‍රහණ අත්විඳ ඇති ක්‍රීඩකයා ද පොන්ටින් වන අතර එය ගණනින් 262කි. 2003 සහ 2007 වසරවල ලෝක කුසලානයන් දෙකම ඕස්ට්‍රේලියාවට ගෙන ගිය නායකයා ඔහුය.

ටෙස්ට් තරග ජය ගැනීමේ 62.3%ක ප්‍රතිශතයකින් යුතු වූ ඔහුට ටෙස්ට් ශතක 41ක් හිමි ය. ඔහුගේ ආවේගශීලී හැසිරීම ඔහුට උරුම වූයේ ජයග්‍රහණය කිරීමේ පිපාසය ඔහු තුළ තිබූ බැවින් වන අතර එය නායකයෙකුට අත්‍යාවශ්‍ය ය.

courtesy – indianexpress.com
courtesy – indianexpress.com

“පන්ටර්” යන සුරතල් නම ඔහුට හිමි වූයේ සූදු ක්‍රීඩාවේ යෙදීමට ඔහුට තිබූ දැඩි කැමැත්ත නිසා යි (එය ඕස්ට්‍රේලියාවේ නීතිගත විනෝදාංශයකි).

“සචින් ටෙන්ඩුල්කාර් සහ බ්‍රයන් ලාරා යන නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම පිතිකරුවන් අතර තුන්වැන්නාගේ ස්ථානය ඔහුට හිමිවිය යුතු බව නම් අවිවාදාත්මකයි.” ලෝක ප්‍රකට ක්‍රිකට් විචාරක ඉයන් චැපල්, පොන්ටින්ව හැඳින්වූයේ එසේයි.

2 ස්ටීව් වෝ

Photo by Mark Nolan/Getty Images
Photo by Mark Nolan/Getty Images

1999 ලෝක කුසලානය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත පවරා ගත්තේ ඔහුගේ නායකත්වයෙනි. ශක්තිමත් මනසක් සහිත මැදපෙළ පිතිකරුවෙකු වූ ස්ටීව්, ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වූ මාක් වෝගේ සොහොයුරායි.

ටෙස්ට් තරග 57ක නායකත්වය දරා ඉන් 41කම ජයග්‍රහණය ලබන්නට තරම්, නායකත්වයෙන් ඔහු පරිපූර්ණ විය. එය ප්‍රතිශතයක් වශයෙන් 71.9%ක අද්විතීය අගයක් ගනියි. 2000 වසරේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම ගෞරව සම්මානය ඔහුට හිමි විය. 2004දී “වසරේ ඕස්ට්‍රේලියානුවා” යන සම්මානය ද ඔහුට හිමි වූයේ ක්‍රිකට් දක්ෂතා සඳහා පමණක් නොව, පුණ්‍ය කටයුතු රාශියකම ප්‍රධානත්වය ගෙන කටයුතු කළ බැවිනි. වරෙක ඔහු ශ්‍රී ලංකාව තුළ ද එවැන්නක් සිදු කළ බව අපට මතක ය.

1999 ලෝක කුසලාන තරගාවලියට අසාර්ථක ආරම්භයක් ලබා ගත් ඕස්ට්‍රේලියානුවන් තරග තුනකින් දෙකක්ම පරාජය වූ අතර ශූරතාවය සඳහා ඉතිරි තරග 7/7ම ජය ගත යුතු විය. ඔහුගේ නායකත්වයෙන් ඔවුන් එය සිදු කළේ ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම පරාජය කරමිනි.

courtesy - smh.com.au
courtesy – smh.com.au

ඕනෑම පීඩනකාරී අවස්ථාවක දී නොසැලෙන මනසක් සහිත වූ බැවින් ඔහුට “අයිස් මෑන්” යන සුරතල් නම හිමි විය. ඔහුගේ විශේෂත්වය වන්නේ කණ්ඩායම ජයග්‍රහණය කරවීම වෙනුවෙන් නායකයෙකුට අමතරව ක්‍රීඩකයෙකු ද වශයෙන් සෑම අවස්ථාවක දී ම පාහේ දායක වීමයි.

ලෝක ක්‍රිකට්ලෝලීන්ගේ ආදරයට පාත්‍ර වූ විනිසුරු බිලී බව්ඩන් ඔහුව මෙසේ හැඳින්වීය.

“මං හිතන්නේ ඔහුගේ පිත්තේ දාරයේ පන්දුව වැදුණු විටක (උඩපන්දුවක් බවට ඉල්ලීමක් යොමු වීමේ දී) ඔහු කිසිම පැකිළීමකින් තොරව ක්‍රීඩාගාරය වෙත හැරී ගිය බවයි. ඔහු කවර් කලාපයට උඩපන්දුවක් ලබා දී හෝ පන්දුව කඩුල්ලේ මැද වැදී හෝ දැවී යාම සිදු විය හැකි වුනත්, ඔහු පා ආවරණයෙන් කඩුල්ල වසා ගෙන සිට හෝ පන්දුව සුළු වශයෙන් පිත්තේ දවටා ගෙන දැවී යාමට තිබුණු අවස්ථාව හරිම අඩුයි.”

1 ක්ලයිව් ලොයිඩ්

courtesy - imgci.com
courtesy – imgci.com

සුදු ආධිපත්‍යයට නතුවී තිබූ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන් “සුද්දන්ම පමණක් නොවන බව” ලොවට පසක් කළ නායකයා මොහුයි. 70 දශකයේ සෑම වසරක දී ම සුදු සමෙන් යුත් ක්‍රිකට් කණ්ඩායම්වලට විනෝදය ලබා දීම සඳහා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් බවට පත්කොට තිබූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ආත්ම විශ්වාසය ඇති කර දී “කල්ලන්ගේ හයිය” ලොවට පෙන්වන්නට ඔහු සමත් විය.

දූපත් රාශියකින් සමන්විත බටහිර ඉන්දීය කලාපය තුළ සැරිසරමින් තම ක්‍රිකට් කණ්ඩායමට එක්විය යුතු සැබෑ දක්ෂයන් සොයා ගිය ඔහු, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට මහාර්ඝ සම්පත් කිහිපයක්ම පුද කළේය. විවියන් රිචඩ්ස්, ගෝඩ්න් ග්‍රිනිජ්, මැල්කම් මාෂල්, මයිකල් හෝල්ඩින්, ජොයෙල් ගානර්, ඇන්ඩි රොබට්ස් ආදී ක්‍රීඩකයන් ඔහුගේ සොයා ගැනීම්වලින් කිහිප දෙනෙකු පමණි. එම කණ්ඩායමේ ශක්තිය ගැන ඔබට සිතා ගත හැකි ද?

ඒ සද්දන්තයන් සමඟ ලොව පුරා සංචාරය කළ ඔහු, බටහිර ඉන්දියානු වේගපන්දු වලින් “සුදු පැහැති ආඩම්බරකාරයන්” කිහිප දෙනෙකුම බිම හෙලන ලද්දේය. ක්‍රිකට් ඉතිහාසයේ පළමු ලෝක කුසලානය 1975දීත්, දෙවැන්න 1979දීත් තමන් සතු කර ගනිමින් ප්‍රතිවාදීන් සලිත කළ ඔහුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, ටෙස්ට් තරග 11ක් එක දිගට ජය ලබමින් ටෙස්ට් තරග 27ක් පුරා අපරාජිත වාර්තාවක් පවත්වා ගත්තේය.

courtesy - sify.com
courtesy – sify.com

ඉන් නොනැවතුණු ඔහුගේ ආධිපත්‍ය දශක දෙකක් පුරාවට ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කළේය. 48.6%ක ටෙස්ට් තරග ජය ගැනීමේ ප්‍රතිශතයක් සහිත ලොයිඩ් වේගවත් පිතිකරුවෙකු ද විය.

බිග් C” නමින් හඳුන්වන ඔහු ක්‍රිකට් ලොවේ සැබෑම දැවැන්තයෙකි.

ක්‍රිකට් කන්ට්‍රි වෙබ් සඟරාව මඟින් හෙළි කළ පරිදි ඔහු ලැන්කෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කරන සමයේ සිදු වූ සිදුවීමක් මෙසේයි.

පිතිකරුවෙකු පිතිකරණයේ දී දේපල හානි සිදු කළ බවට චෝදනාවක් ලැබීම විරල කාරණයකි. ලොයිඩ්, ලැන්කෂයර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙද්දී ඔවුන්ගේ පිටියට අසල්වාසී කාන්තාවකගේ නිවස අද්දරින් විදුලි වේගයෙන් ඇදී යන හයේ පහරවල් නිසා ලැන්කෂයර් ක්‍රිකට් සමාජය භීතියට පත්ව සිටියේය. ඒ, තමාගේ දේපල හානි කරන බවට ඇය විසින් පොලීසියට කර තිබූ පැමිණිල්ල හේතුවෙනුයි.”

ලොවටම නායකයන් ඇවැසි මේ මොහොතේ දී, මේ නායකයන් අපට දෙන පණිවුඩය නම්, එක්සිත්ව, එක්සත්ව, නොනැවතී තමන්ගේ අරමුණ කරා යා යුතු බවයි. එවන් නායකයන් ලොවට තවතවත් බිහිවේවා!  

  තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න