“ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි ලෝක කුසලාන” – රග්බි සභාපති

337

2019 රග්බි ලෝක කුසලානය ඉකුත් දා (02) නිමා වූයේ දකුණු අප්‍රිකාව ලෝක ශූරයන් බවට පත්කරමිනි. ජපානය සත්කාරකත්වය දැරූ මෙම ලෝක කුසලාන තරගාවලිය “ඉතිහාසයේ විශිෂ්ටතම රග්බි ලෝක කුසලාන තරගාවලිය” බව ලෝක රග්බි සම්මේලනයේ සභාපති වන බිල් බවුමොන්ට් පවසා සිටියා.  

සති 6ක් පුරාවට ජපානයේ දී පැවති මෙම තරගාවලිය ආසියානු රටක පැවති පළමු ලෝක කුසලාන තරගාවලිය ලෙස පැවැත්විය. වසර 32ක ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වැනි වතාවට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ අවසන් තරගයේ දී එංගලන්තය ලකුණු 32-12ක් ලෙස පරාජය කරමිනි.

දකුණු අප්‍රිකානු රග්බි විරුවන් වංශකථා පොත් අලුත් කරයි

මසකට අධික කාලයක් පුරාවට මුළු මහත් ලෝකයම රග්බි උන්මාදනයෙන් වසඟ කර ගත් එම උත්කර්ෂවත්…

 

“ජපානයේ පැවති මෙම ලෝක කුසලානය මෙතෙක් පැවති විශිෂ්ටතම ලෝක කුසලානය ලෙස අපේ මතකයේ පවතීවි. මේ තරගාවලිය වාර්තා පිහිටවූ තරගාවලියක්. අලුත් කලාපයකට, අලුත් ප්‍රේක්ෂකයන් රැසකට ලෝක කුසලාන අත්දැකීම ලබා දෙන්න හැකි වීම ගොඩක් ලොකු ජයග්‍රහණයක්. 

මේ සති 6ක කාලය තුල අපිට ලැබුණු අත්දැකීම් ගොඩක් වටිනවා. ඒ වගේම අපි අතිවිශිෂ්ට අවසන් තරගයක ප්‍රේක්ෂකයන් වීමම ගොඩක් ලොකු දෙයක්.” බිල් බවුමොන්ට් තරගාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියා. 

2023 වසරේ රග්බි ලෝක කුසලානය ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව පැවැත්වෙන 2027 හා 2031 ලෝක කුසලාන පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා ගැනීම සඳහා වන ලංසු තැබීම මෙම වසරේ අවසානයේ දී පැවැත්වීමට නියමිතය. ජපානය ද මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා අවස්ථාව ලබා ගත්තේ මීට වසර 10ක්ට පමණ පෙරය. 

ලෝක රග්බි සම්මේලනයේ නිලධාරීන් මීළඟ රග්බි ලෝක කුසලානය පැවැත්වීමට විකල්ප දෙකක් ඇති බව පවසා ඇත. එනම් ප්‍රසිද්ධ රග්බි කණ්ඩායමක් සහිත රටක පැවැත්වීම හෝ ඇමරිකා එක්සත් ජනපදය හෝ ආර්ජෙන්ටිනාව වැනි ලෝක කුසලාන තරගාවලිය මින් පෙර පවත්වා නැති රටකට ගෙන යාමයි. 

පෑරුණු සිත් සුවපත් කරමින් All Blacks තෙවැනි තැනට

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය ගෞරවාන්විත සටහනකින් නිමා කිරීමේ අරමුණින් ප්‍රබල…

“අපි රග්බි ලෝක කුසලානයේ අනාගතය දිහා බැලීමේ දී මට ස්ථීර කරන්න පුළුවන් ලෝක රග්බි සම්මේලනය 2027 හා 2031 වසර සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා අනුමැතිය ලබා දුන්නා. මේ ද්විත්ව තෝරාගැනීමේ ක්‍රියාවලිය 2020 වසරේ නොවැම්බර් මස ආරම්භ කරනවා. එහි දී අපි සලකා බලන කරුණු අනුව ජපානයේ පැවති තරගාවලිය වගේ තරගාවලියක් පැවැත්වීමට හැකි රටක් තෝරාගැනීමට නියමිතයි.” බිල් බවුමොන්ට් තවදුරටත් පවසා සිටියා. 

මේ අතර ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන අධ්‍යක්ෂක බ්‍රෙට් ගොස්පර් ද ජපානයේ පැවති මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා. 

“මේක මෙතෙක් පැවති හොඳම ලෝක කුසලානය ද? ඒක තරගාවලියේ දත්ත දෙස බැලූ විට පේන දෙයක්. බිලියන 1.7කට වැඩි සමාජ මාධ්‍ය දර්ශනයක්, ලෝක වාර්තාවක් වූ ටෙලිවිෂන් ප්‍රේක්ෂකයන් පිරිසක්, ක්‍රීඩාංගණයට 99%ක ප්‍රේක්ෂක පැමිණීමක්, මිලියන 1.2ක ක්‍රීඩාලෝලීන් පිරිසක මට්ටමකට අපි ළඟා වෙලා තියනවා. මේ තරගාවලිය 2019 වසරේ දී පැවති විශාලම ඩිජිටල් වැඩසටහනයි. ආසියාව තුල මිලියන 1.8ක නව ප්‍රේක්ෂකයන් පිරිසක් අපි ලබා ගත්තා. ජපානය තුල පමණක් නව ප්‍රේක්ෂකයන් 770,000ක් ලබා ගත්තා. “

2019 රග්බි ලෝක කුසලානය උපයා ගත් මුදල් ප්‍රමාණය ද වාර්තාගත ප්‍රමාණයක් බව සංඛ්‍යාත්මක වාර්තාවල දැක්වේ. 

“මේ තරගාවලිය වාර්තාගත සංචාරකයන් ප්‍රමාණයක් හා වාර්තාගත ආර්ථික බලපෑමක් කිරීමට සමත් වුනා. ඩොලර් බිලියන 400ක වාර්තාගත ආදායමක් අපි ලබාගෙන තියනවා.”

දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ. නවසීලන්තයේ බැරට් සොහොයුරන් තිදෙනාම…

 

මෙම ආදායමෙන් යුරෝ මිලියන 2ක ප්‍රමාණයක් Child Fund නම් ළමා අරමුදලක් සඳහා ලබා දීමට තීරණය කර ඇත. එය රග්බි ලෝක කුසලානයේ සමාජ අරමුදල් වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය. 

බ්‍රෙට් ගොස්පර් තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ලෝක කුසලානය අන් තරගාවලිවලට වඩා තරගකාරී තරගාවලියක් බවට පත්වූ බවයි. සංඛ්‍යාත්මක වාර්තා අනුව පළමු පෙළ කණ්ඩායමක් හා දෙවන පෙළ කණ්ඩායමක් අතර ලකුණු පරතරය 30.5ක් ලෙස දැක්වූ අතර එය ලෝක කුසලාන තරගාවලියක අවම ලකුණු පරතරය ලෙස වාර්තා විය. 

“එයට අමතරව මේ තරගාවලිය සංවිධානය කළ ආකාරයෙන් ජපානයේ ශක්තිය හා ඔවුන්ගේ අධිෂ්ඨානය මනාව පෙන්වූවා. අපි හිතනවා අනෙක් රටවල් වුනත් ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය දැරීමට යොමු වේවි කියලා. 

2015 වසරේ දී ජපානය විසින් ලෝක කුසලාන තරගාවලියක දරුණුතම පරාජය දකුණු අප්‍රිකාවට හිමි කර දුන් අතර මෙවර ද ඔවුන් ප්‍රබල අයර්ලන්තය හා ස්කොට්ලන්තය පරාජය කරමින් කාණ්ඩ වටයේ අපරාජිතව සිටීමට සමත් විය. ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ප්‍රථම ආසියානු රට වීමේ භාග්‍ය ද ඔවුන් හිමිකර ගත්තේය. 

ජපාන කණ්ඩායම තරගාවලිය තුල දැක්වූ දක්ෂතා ඔවුන් Six Nations තරගාවලිය හෝ දකුණු අර්ධගෝලීය තරගාවලියක් සඳහා සහභාගි වීමට සුදුසු බව ඔප්පු කිරීමට සමත් විය.

“ජපානයේ රග්බි අනාගතය ගැන කතා කළ යුතු ගොඩක් දේවල් මේ තරගාවලිය ලබා දුන්නා. අපි රග්බි සම්මේලනය හැටියට අපිට කළ හැකි උපරිම සේවය ඔවුන්ට ලබා දෙනවා. ඒ වගේම අනෙක් නැඟී එන කණ්ඩායම්වලටත් උසස් තරගාවලි වලට සහභාගි වීමේ අවස්ථාව අපි ලබා දෙනවා.

ජපානය මීළඟ මාස 12 තුල එංගලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය සමඟින් තරග වදීවි. “ බිල් බවුමොන්ට් පවසා සිටියා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<