ජාතික බීච් වොලිබෝල් කණ්ඩායම් දෙකක් තේරීමට සූදානම්

473

2019 වසරේ පැවැත්වීමට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් (Beach Volleyball) තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් දෙකක් සූදානම් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

ඒ අනුව ජාතික බීච් වොලිබෝල් සංචිතය සඳහා වන තේරීම් පරීක්ෂණ එළඹෙන දෙසැම්බර් මස 09 වැනිදා පෙ. ව. 08.30 සිට කොළඹ සුගතදාස එළිමහන් බීච් වොලිබෝල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වීමට කැමති ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එදින පෙ. ව. 08.00 වන විට ක්‍රීඩා පිටියට පැමිණ සිටිය යුතු බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසා සිටී.

Photos : National Beach Volleyball Tournament 2018

The initial stages of the 2018 National Beach …

මීට පෙර පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල් වල දී බීච් වොලිබෝල් තරග ඉසව් පවත්වා නොමැති අතර එළඹෙන 2019 වසරේ දී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ප්රථම වරට බීච් වොලිබෝල් තරග ඉසව් පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ද ශ්‍රී ලංකාවයි. 2012 වසරේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් 2013 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා බීච් වොලිබෝල් තරග ඇතුළත් කරන ලෙස ඉන්දියානු වොලිබෝල් සම්මේලනයෙන් ඉල්ලීමක් කර තිබුණි. නමුත් බලාපොරොත්තු වූ ලෙස 2013 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නොහැකි වූ බැවින් එය අසාර්ථක විය. 2016 වසරේ ඉන්දියාවේ දී පැවති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ද බීච් වොලිබෝල් තරග නොපැවැත්විය.

වසර 4කට වරක් පවත්වනු ලබන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, භූතානය හා මාලදිවයින යන රටවල් අට සහභාගී වේ.

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නවතම පුවත් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<