රැජිණියන්ගේ සටනේ ජය නුගේගොඩ අනුලා විද්‍යාලයට

1007

නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර පළමුවැනි වරට පැවැත්වුණු රැජිණියන්ගේ සටන අද (04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ නුගේගොඩ අනුලා විද්‍යාලයට ජයග්‍රහණය හිමි කර දෙමිනි. ජය පැරදුම කෙසේ වෙතත් තරගය පුරාවට විද්‍යාල දෙකේම ප්‍රේක්ෂිකාවන් සහ ක්‍රීඩිකාවන් මහත් වූ සහෝදරත්වයකින් යුතුව මෙම නැවුම් තරග අත්දැකීමේ මිහිර විඳ ගනු දැක ගන්නට ලැබුණි.

කල්කටාවට ජය අහිමි කළ ත්‍රිපතිගේ සුපිරි ඉනිම

තරගාවලිය පුරාවට දක්ෂතා අතර සිටි ප්‍රබල කණ්ඩායමක් වන කල්කටා නයිට් රයිඩර්ස් පිළ පරාජය කරමින් කඩුලු 4ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට ඊයේ (03) රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමට අවස්ථාව උදා විය.

කාසියේ වාසිය දිනා ගත් රත්නාවලී බාලිකා විද්‍යාලයේ නායිකා පබසරා රණබාහු මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තම විද්‍යාලයට හිමි කර දුන්නාය. සාමාන්‍ය ක්‍රිකට් තරගයකට වඩා මදක් වෙනස් මුහුණුවරක් ගත් මෙම තරගය පන්දුවාර 40 බැගින් වූ ඉනිම 4කින් යුක්ත විය. නමුත් අද දිනයේ කොළඹ ප්‍රදේශයේ පැවති කාලගුණ තත්ත්වය එතරම් යහපත් නොවීම නිසා විද්‍යාල දෙකටම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් උදා නොවීය.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකාරිණියන් ලෙසින් පිටියට පිවිසියේ නායිකා පබසරා රණබාහු සමගින් නෙත්මි නිම්තරායි. නෙත්මිගේ පිත්තෙන් අද රත්නාවලී ලකුණු පුවරුවට එක්වූයේ ලකුණු 4ක් පමණක් වුවද ඇය පන්දු 41ක් පිටියේ රැඳී සිටිමින් තම නායිකාවට පළමු කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට සහය විය. කෙසේ වෙතත් රත්නාවලී විද්‍යාලය ඉහළ බලාපොරොත්තු තබා සිටි සඳනි අනුත්තරා සහ විශ්මි දෙව්මිණි අද ඉක්මනින්ම දැවී යාම රත්නාවලී විද්‍යාලයට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ ඉඩකඩ අහුරා දැමීය.

රත්නාවලී විද්‍යාලයේ බොහෝ පිතිකාරිණියන් අඩු ලකුණු සංඛ්‍යා වලට සීමා වෙද්දී නායකත්වයේ වගකීම කරට ගෙන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට වමත් පිතිකාරිණී පබසරා රණබාහු සමත්කම් දැක්වූවාය. පන්දු 73ක් තුල ඇය රැස්කළ ලකුණු 52ට දැකුම්කළු හතරේ පහර 11ක් ඇතුළත් විය. සැබවින්ම ආරම්භයේදීම බොඳව යාමට තිබූ රත්නාවලී ප්‍රේක්ෂිකාවන්ගේ බලාපොරොත්තු වලට නව ජීවයක් ගෙන දීමට මෙම ඉනිම මනා පිටුවහලක් විය.

අංක 5 පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ තිලිණි නිවර්තනා ලකුණු 28කින් රත්නාවලී ලකුණු පුවරුව ඉහළ දැමීය. පන්දු 53ක් වැයවුණු ඇයගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය. අවසන් පන්දු වාර කිහිපයේ දී අනුලා විද්‍යාලයේ පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කල දකුණත් පිතිකාරිණී මුදිතා හෙට්ටිආරච්චි පන්දු 17කින් ලකුණු 23ක් රැස් කිරීමට සමත් වූවාය. ඇයගේ ඉනිම වේගවත් හතරේ පහර 5කින් හැඩ ගැන්විණි. මෙම ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ දක්ෂතා නිසා රත්නාවලී මුළු ලකුණු සංඛ්‍යාව 139ක් බවට පත්විය. පන්දු යැවීමේ දී අනුලා විද්‍යාලයේ නායිකා අමාෂා දිල්ශානි තම දකුණත් වේග පන්දුවේ ආධාරයෙන් ලකුණු 3කට කඩුලු 2ක් බිඳ හෙලුවාය. මීට අමතරව හිමාෂා සෙව්වන්දි, හර්ෂිතා මාධවී සහ ජනදි අනාලි ද කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් එක් කරන්නට සමත් වූහ. හතරේ පහර 3ක් සමගින් ලකුණු 13ක් රැස්කර සිටි සිත්මි හිරාශා අනුලා විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ තිලිණි නිවර්තනාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසාවෙනි.

එතැන් පටන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් පිහිටුවීමට හර්ෂිතා මාධවී සහ නායිකා අමාෂා දිල්ශානි සමත් වූහ. වමතින් පිත්ත හසුරුවන හර්ෂිතා මාධවී තරග දිනවන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 76කට පමණක් මුහුණ දෙමින් ලකුණු 71ක් රැස් කළාය. කිසිම චකිතයකින් තොරව නොබියව පන්දුවට පහර දුන් ඇයගේ ඉනිමට හතරේ පහර 11ක් අන්තර්ගත විය.

අපහසු පන්දු වලින් ආරක්ෂා වෙමින් දුර්වල පන්දු වලට වැරෙන් පහර එල්ල කරමින් හර්ෂිතා සහ අමාෂා ගොඩ නැගූ මෙම සුපිරි සබඳතාවය නිසා රත්නාවලී විද්‍යාලය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 139 අභිබවා යාමට ද නුගේගොඩ අනුලා විද්‍යාලයට හැකියාව ලැබුණි. ඒ වන විටත් මාලිගාවත්ත අහස් කුස වසාගෙන සිටි කාල වර්ණ වළාකුළු නුදුරේදීම ඇද හැලීමට නියමිත වර්ෂාවක් පිලිබඳ ඉඟි පහළ කල බැවින් තම ප්‍රහාරක වේගය වැඩි කළ අමාෂා දිල්ශානි තරගය නතර කිරීමට මොහොතකට පෙර තම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවාය.

පන්දු 66ක් පමණක් වැයවුණු අනුලා විද්‍යාලීය නායිකාවගේ මෙම දැකුම්කළු ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. ඇය අර්ධ ශතකය වාර්තා කළ මොහොතේදී මුලින්ම ඇය වෙත ලඟාවුණු රත්නාවලී විද්‍යාලයේ නායිකා පබසරා රණබාහු ඇයට සුබ පැතුම් එක්කළේ ජය පැරදුමට වඩා විද්‍යාල දෙක අතර ඇති සහෝදරත්වයේ බැඳීම වඩාත් ශක්තිමත් බවට සාක්ෂි සපයමිනි. තරගය නතර කරන මොහොත වන විට අනුලා විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගොස් තිබීම නිසා රැජිණියන්ගේ සටනේ ප්‍රථම ඉනිමේ ජය කඩුලු 9කින් නුගේගොඩ අනුලා විද්‍යාලයට හිමිවිය.

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට කුසලතා වලින් පරිපූර්ණ ක්‍රීඩිකාවන් අවශ්‍ය කර ඇති මෙවන් වකවානුවක නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය තැබූ මෙම යෝධ පියවර ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩිකාවන් බිහිවීමට විශාල අත්වැලක් සපයනු ඇත. මෙම වසරේ ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරුණු රැජිණියන්ගේ සටන වෙනුවෙන් විද්‍යාල දෙකෙන්ම දකින්නට ලැබුණු ඉහළ උද්‍යෝගය නිසා 2018 වසරේදී වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන තරගයකදී නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය නැවත මුණ ගැසෙන බවට කල්තබා අනාවැකි පළකල හැකිය.

රත්නාවලී බාලිකා විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 39.4): පබසරා රණබාහු 52, තිලිණි නිවර්තනා 28, මුදිතා හෙට්ටිආරච්චි 23, සඳුනි නිසංසලා 6, නෙත්මි නිම්තරා 4, නවෝද්‍යා ආරියරත්න 4, අමාෂා දිල්ශානි 2/3, හිමාෂා සෙව්වන්දි 2/10, හර්ෂිතා මාධවී 2/37, ජනදි අනාලි 2/38.

නුගේගොඩ අනුලා විද්‍යාලය – කඩුලු 2ක් දැවී ලකුණු 156 (පන්දුවාර 28): හර්ෂිතා මාධවී 71, අමාෂා දිල්ශානි 51, සිත්මි හිරාශා 13, තිලිණි නිවර්තනා 1/14, විශ්මි දෙව්මිණි 1/15.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට