රන් සිංහ එක්දින සටනේ ජය ධර්මපාල විද්‍යාලයට!

145

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 8 වැනි වරටත් පැවැත්වුණු රන් සිංහ සටන ඊයේ (06) නිමා වූයේ ජය පැරදුමකින් තොරවයි. ඊට සමාන්තරව අද එම විද්‍යාල දෙක අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය ක්‍රියාත්මක වූ අතර ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගය අවසානයේ නිමාවට පත්වූයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ලකුණු 11ක තියුණු ජයක් හිමිකර දෙමිනි. මෙම ජයග්‍රහණය වෙනුවෙන් විහඟ ගුණරත්න සහ දුලාජ් එගොඩගේ කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළහ.

චමිඳු සහ සසිත් රන් සිංහ ගැටුම තමන්ගේ කර ගනී

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 8 වැනි වරටත් පැවැති රන් සිංහ…

කලක් ජාත්‍යන්තර තරග සඳහා සුලබව භාවිතා කෙරුණ ද දැන් දේශීය තරග සඳහා පමණක් වෙන්වී ඇති පී. සරවනමුත්තු පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ධර්මපාල විද්‍යාලයයි.

ඒ අනුව හොඳ ලකුණු පුවරුවක් ගොඩ නගා ප්‍රතිවාදීන් මත පීඩනය පැටවීමේ අටියෙන් ඔවුහු මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්හ. කෙසේ වෙතත් අද සිතූ තරම් සාර්ථක වන්නට ධර්මපාල පිතිකරුවන් සමත් නොවූ අතර ප්‍රවේසමෙන් පන්දුවාර 50ම ක්‍රීඩා කළ නිසා ඔවුන්ට අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 215ක් ලබා ගැනීමට හැකිවිය. ඒ වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ විහඟ ගුණරත්න ලකුණු 55ක් ලබා ගත්තේ ධර්මපාල විද්‍යාලයේ ඉරණම පෙරළමිනි.

විහඟට අමතරව ධර්මපාල ඉනිම ගොඩ නැගීමට තම ශක්තිය ධෛර්යය කැප කළ දකුණත් පිතිකරු අවිශ්ක හසරින්ද ලකුණු 36ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය. වමතින් පිත්ත හසුරුවන මලිත් සඳකැලුම් ලකුණු 25යි. අඩු ලකුණු තරගයක් වුවද අවසන් පන්දුවාරය දක්වා ගිය මෙම උණුසුම් ක්‍රිකට් සටනේ දී ධර්මපාල බලාපොරොත්තු රැක දුන් තරිඳු සඳරුවන් සහ ලක්ෂිත පුරසිංහ පිළිවෙළින් ලබාගත් ලකුණු 24 සහ 23 ද සුළුවෙන් තැකිය හැකි නොවේ. පන්දු යැවීමේ දී තිමිර චන්දික සහ චමුදිත දිල්ශාන් ධර්මපාල කඩුලු 3 බැගින් තමන් අතරේ බෙදා ගනිද්දී සසිත් මනුරංග ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තේය.

සුනිල සංග්‍රාම එක්දින තරගයේ ජය ශ්‍රී දේවානන්දයට

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන…

බැලූ බැල්මට කුඩා සහ පහසු ඉලක්කයක් ලෙස දිස් වුවද අද තරගයේ තණතිල්ල හැසිරුණු ආකාරයත්, ධර්මපාල ක්‍රීඩකයින් පන්දු යැවූ ආකාරයත් අනුව ජය තහවුරු කර ගැනීම පහසු නොවන බව රාහුල විද්‍යාලයට වැඩි වේලා යන්නට පෙර පැහැදිලි විය. ඒ රාහුල මුල්පෙළ පිතිකරුවන් කිසිවෙකුටත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන්නට විරුද්ධ පිළෙන් අවස්ථාව හිමි නොවූ බැවිනි. මෙවන් වටපිටාවක කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චමුදිත නිශාන් ලකුණු 42ක් රැස් කළේය. ඔහුට අමතරව සසිඳු අවිශ්ක තම විද්‍යාලයේ ලකුණු පුවරුව 41කින් ඉහළ දැමීමට සමත් විය.

කෙසේ වෙතත් අවසාන පන්දුවාර කිහිපය තුල දී පසුපෙළ පිතිකරුවන්ට ලකුණු රැස් කිරීම කිසිසේත් පහසු නොවූ නිසා පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ මාතර රාහුල විද්‍යාලයේ ඉනිම ලකුණු 204කට නිමාව දිටීය. ඒ තම සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් වන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ලකුණු 11ක තියුණු ජයක් හිමිකර දෙමිනි. මෙවර රන් සිංහ සටනේ ජය තම විද්‍යාලයට උරුම කරදීම වෙනුවෙන් සටන් වැදුණු දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩකයින් දෙපළක් වන දුලාජ් එගොඩගේ ලකුණු 32ට කඩුලු 3ක් බිඳ හෙලද්දී තරිඳු සඳරුවන් කඩුලු 2කට හිමිකම් කීවේය.

ධර්මපාල විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 215 (පන්දුවාර 50) විහඟ ගුණරත්න 55, අවිශ්ක හසරින්ද 36, මලිත් සඳකැළුම් 25, තරිඳු සඳරුවන් 24, ලක්ෂිත පුරසිංහ 23, තිමිර චන්දික 3/32, චමුදිත දිල්ශාන් 3/45, සසිත් මනුරංග 2/38.

රාහුල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 204 (පන්දුවාර 49.5) චමුදිත නිශාන් 42, සසිඳු අවිශ්ක 41, පහන් බණ්ඩාර 24, දුලාජ් එගොඩගේ 3/32, තරිඳු සඳරුවන් 2/25.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<