ධනුෂ්කගේ තුන් ඉරියව් දස්කම් වෙන්නප්පුවට ජයගෙන එයි

192

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර හත්වැනි වරටත් පැවැත්වෙන “පුත්තලම සහෝදරවරුන්ගේ සීමිත පන්දුවාර වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම” ඊයේ (11) කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී පැවැත්විය. මෙම තරගය ලකුණු 195කින් ජය ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

පුත්තලම සහෝදරවරුන්ගේ සටනට සියල්ල සූදානම්

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තෙවන..

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් වාස් විද්‍යාල නායක නිපුන් දනංජය කටුනේරිය සාන්ත සෙබස්තියන් තණතිරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාල වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන තෙවන වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන  ධනුෂ්ක නෙරංජන් සාන්ත මරියා විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 81ක් සිය විද්‍යාල ලකුණු පුවරුවට එකතු කිරීමට සමත් විය.

ඊට අමතරව ඔහුට සවියක් වෙමින් මැදපෙළ සවිමත් කළ දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක තිලාන් ප්‍රදිප්ත (උප නායක) ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය. අංජන රුක්මාල් ලකුණු 36ක් රැස්කර ගන්නා විට, පසුගිය දා නිමාවූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාල නායක නිපුන් දනංජය ලකුණු 35ක් වාර්තා කිරීමට සමත් විය. නියමිත පන්දුවාර 50 අවසානයේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 317ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන ලදි. පන්දු යැවීමේ දී සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගැනීමට හශේන් චාරුක හා චාරුක තරිඳු සමත් විය.

පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ ජය සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය..

ලකුණු 318ක දැවැන්ත ලකුණක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි  සාන්ත මරියා විද්‍යාලය ක්‍රීඩකයින් හට පළමු පන්දුවේ සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට දකුණතින් මඳ වේගපන්දු යවන ආකාශ් කනිෂ්ක ඇතුළු සාන්ත ජෝසප් වාස් පන්දු යවන්නන් සමත් විය.

හලාවත සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ  රොෂේන් මාධව වන අතර ඔහු ලකුණු 26කට දැවී ගියේය. අවසානයේ සාන්ත මරියා විද්‍යාල ඉනිම පන්දුවාර 41යි පන්දු පහක් තුළ ලකුණු 122කට සීමා විය. දක්ෂ ලෙස පන්දු යැවූ ආකාශ් කනිෂ්ක කඩුලු 5ක් දවා ගන්නා විට, පිත්තෙන් ද ලකුණු අතරට පිවිසි දනුෂ්ක නෙරංජන් කඩුලු 3ක් දවා ගන්නා ලදි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 317/9 (50): ධනුෂ්ක නෙරංජන් 81, තිලාන් ප්‍රදීප්ත 46, අංජන රුක්මාල් 36, නිපුන් දනංජය 35, හශේන් චාරුක 3/32, චාරුක තරිඳු 3/66, කල්ප යසස් 2/32.

හලාවත සාන්ත මරියා විද්‍යාලය – 122 (41.5): රොෂේන් මාධව 26, දිලුශාන් ජයසංක 21, ආකාශ් කනිෂ්ක 5/25, දනුෂ්ක නෙරංජන් 3/16.

2010 වසරේ සිට පැවැත්වෙන පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ ඔවුන් වඩාත් ප්‍රමුඛත්වය ගෙන ක්‍රීඩා කරන්නේ සීමිත පන්දුවාර තරගය යි. මෙම තරගයත් සමඟම ඔවුන් සීමිත පන්දුවාර තරග 7ක් පවත්වා ඇති අතර එයින් තරග 5ක් ජයග්‍රහණය කර ඇත්තේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයයි. සාන්ත මරියා විද්‍යාලය එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ඇති අතර තවත් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<