නවක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවකභාවය නිමා කරයි

609

අද (02) සමස්ත ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රාහී අවසන් දිනයයි. එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එළඹෙන අන්තර් මධ්‍යම බොක්සිං තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. යුධ හමුදා ක්‍රීඩකයන් වැඩි දස්කම් දැක්වූ අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට කොළඹ MAS බොක්සිං අංගනයේ දී අවසන් වූ අද සාර්ථක දිනයක් විය.

Photo Album: BASL Novices Boxing Tournament 2018 | Semi Finals

Photo Album of BASL Novices Boxing Tournament 2018 | Semi Finals Title..

තරග ආරම්භ වුණේ පස්වරු 3.00ට පමණ ය. පෙර වසරේ මෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ මට්ටමක නොතිබුණත් තරගාවලිය අද හොඳින් අවසන් විය.

කාන්තා

කි.ග්‍රෑම්. 51 (ෆ්ලයි වෙයිට්)

මෙහි අවසන් මහා තරගයෙන් අද දිනයේ තරග ඇරඹිණි. MAS තුරුලි ක්‍රීඩා සමාජයේ ඩී. දිනූෂා සහ මුලතිව් විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ කේ. ඉන්දුගාදෙවී අතර පැවැත්වුණු තරගය දිනූෂා හට එතරම් අපහසු වූයේ නැත. ඇයගේ ආක්‍රමණශීලීත්වය නිසාම තරගය නවත්වා ඇයට ජය ලබා දීමට විනිසුරුට සිදු විය.

තරගයෙන් අනතුරුව දිනූෂා ThePapare.com වෙත අදහස් දක්වමින්,

“සතුටුයි. ගොඩක් මහන්සි වුනා මේ දේ කරන්න. 2017 තමයි මං බොක්සිං පටන් ගත්තේ. වසරක් වැනි කාලයක දී ලත් ජයග්‍රහණය ගැන සතුටු වෙනවා.” යැයි පැවසුවාය.

කි.ග්‍රෑම්. 48 (ලයිට් ෆ්ලයි වෙයිට්)

MAS තුරුලි ක්‍රීඩා සමාජයේ අනුත්තරා රණසිංහ සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. ඉලංගරත්න අතර පැවති මෙම අවසන් මහා තරගය ඉතා හොඳ එකක් විය. දෙදෙනාම කරට කර ක්‍රීඩා කළ අතර ඉලංගරත්න අවසානයේ ජය හිමිකරගත්තාය. දෙදෙනාගේ තරග හැකියාව නිසාම දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව යන සම්මාන දෙක ද බෙදී ගියේ ඔවුන් අතරයි.

ThePapare.com වෙත විශේෂයෙන් අදහස් දැක්වූ ඉලංගරත්න කියා සිටියේ,

“මේක මගෙ පළවෙනි ආධුනික තරගාවලිය. ගොඩක් ප්‍රැක්ටිස් කළා. තිලක් පෙරේරා මහතාට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕන. ඉදිරියේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් ගේන එක තමයි බලාපොරොත්තුව.” යනුවෙනි.

කි.ග්‍රෑම්. 54 (බැන්ටම් වෙයිට්)

MAS තුරුලි ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩිකාවක වන දිනිෂි මෙන්ඩිස් සහ MAS ලීනියා කණ්ඩායමේ එන්. ප්‍රියදර්ශා අතර අවසන් මහා තරගය පැවැත්විණි. එහි පළමු වටයේ දී දිනිෂි මෙන්ඩිස් සෙමෙන් ක්‍රීඩා කළ නමුත් දෙවන වටයේ දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයන් නිසා විනිසුරු තරගය නවත්වා දිනිෂිව  ජයග්‍රාහිකාව බවට පත්කළේය.

ThePapare.com වෙත අදහස් දක්වන්නට දිනිෂි ද අමතක නොකළාය.

“සතුටුයි. ඉදිරියටත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. පානදුරෙන් තමයි බොක්සිං ක්‍රීඩාව මං පටන් ගත්තේ. අනාගතේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් ගේන්න තමයි බලාපොරොත්තුව.”

මම මේරි කොම් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ගියේ – අනූෂා

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මාතාවට කීර්තියක් අත්කර…

කි.ග්‍රෑම්. 57 (ෆෙදර් වෙයිට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ඉමාදි සහ විද්‍යාලන් ක්‍රීඩා සමාජයේ එස්. කුමාරදාස් අතර පැවති අවසන් මහා තරගයේ දී ඉමාදිගේ ප්‍රහාර වල බලවත්කම නිසා විනිසුරු විසින් තරගය නවත්වා ඇයට ජයග්‍රහණය පැවරිණි.

කි.ග්‍රෑම්. 60 (ලයිට් වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ කේ. සඳරුවනි සහ ප්‍රජාපතී ක්‍රීඩා සමාජයේ එස්. වීරසිංහ අතර තරගයේ දී වීරසිංහ දිගින් දිගටම ප්‍රතිවාදිනියට පහර එල්ල කරන්නට විය. එබැවින් විනිසුරු තීරණය කළේ ජයග්‍රහණය වීරසිංහ හට ලබා දීමටයි.

කි.ග්‍රෑම්. 64 (වෙල්ටර් වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී. ප්‍රියදර්ශනී හට මෙහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ. තිවන්කාගේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු විය. එහි දී තිවන්කා ජය ගත්තේ විනිසුරු විසින් තරගය නැවැත්වීමට තීරණය කළ නිසාය.

කාන්තා සහභාගීත්වය අතින් තරගාවලිය එතරම් සාර්ථක නොවූවත්, සහභාගී වූ ක්‍රීඩිකාවන් හොඳින් ක්‍රීඩා කළ බව සඳහන් කළ යුතුය. ජය ගත් ක්‍රීඩිකාවන්ට නැවතත් ආධුනිකයන් වන්නට සිදු වන්නේ නැත. ඔවුන් එළඹෙන අන්තර් මධ්‍යම තරගාවලියේ දී බොක්සිං ක්‍රීඩිකාවන්ගෙන් මීළඟ මට්ටමේ ක්‍රීඩිකාවන් හමුවනු ඇත.

  • දක්ෂතම ක්‍රීඩිකාව – එස්. ඉලංගරත්න (පොලිස් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව – අනුත්තරා රණසිංහ (MAS තුරුලි ක්‍රීඩා සමාජය)

ලොකුම බලාපොරොත්තුව 2020 ඔලිම්පික් – ඉෂාන්

2018 පොදුරදමඩුලු ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ බොක්සිං කණ්ඩායම කැපී පෙනෙන දස්කම්…

පිරිමි

කි.ග්‍රෑම්. 49 (ලයිට් ෆ්ලයි වෙයිට්)

පේරාදෙණිය බොක්සිං සමාජයේ නුවන් ජිනදාසට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජයේ එස්. ඉන්ද්‍රතිලක මෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබිණි. එහි දී විනිසුරු තීරණ 5-0ක් වශයෙන් ජය ගැනීමට ජිනදාස සමත් විය.

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වූ නුවන් ජිනදාස කියා සිටියේ,

“සතුටුයි. සතුට කියා ගන්න බෑ. ගොඩක් මහන්සි වෙලා තමයි ජයග්‍රහණය ලබා ගත්තේ.” දක්ෂතම ක්‍රීඩකයාගේ සම්මානය ද ඔහුට හිමි විය. කෙසේ වෙතත් මෙම බරපන්තියේ මීළඟ මට්ටම ඔහුට දැඩි අභියෝගයක් විය හැක.

කි.ග්‍රෑම්. 52 (ෆ්ලයි වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ එල්. එරන්ද සහ පේරාදෙණිය බොක්සිං සමාජයේ ඩී. විද්‍යාලංකාර මෙහි අවසන් මහා තරගයේ දී මුහුණට මුහුණ හමු විය. තරගය අතරතුර දී දෙදෙනාගේ හිසවල් එකට ගැටීම නිසා එරන්දට තුවාල සිදු වූ අතර එහි දී වැඩි ලකුණු ලබා සිටි ඔහුට ජය හිමි විය.

කි.ග්‍රෑම්. 56 (බැන්ටම් වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ ආර්. ප්‍රසන්න සහ කඳුරට (Uphill) බොක්සිං සමාජයේ ධනංජය බාලසූරිය අතර පැවති බැන්ටම් වෙයිට් අවසන් මහා තරගය සැබවින්ම අවසන් මහා තරගයක ස්වභාවය ගත්තේය. පහරට පහර දෙපලගෙන්ම එල්ල වූ අතර අවසන් මොහොත දක්වා ජයග්‍රාහකයා හඳුනා ගැනීම පවා අපහසු විය. අවසානයේ දී ප්‍රසන්නට ජය හිමි වූයේ විනිසුරු බහුතරකිනි.

එහි දී දක්ෂතම පරාජිතයා සම්මානය හිමි කර ගත් ධනංජය බාලසූරිය ThePapare.com හා මෙසේ පැවසුවේය.

“මං විද්‍යාර්ථ විද්‍යාලයට ගියේ. ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ලංකාවට බොක්සිං පදක්කමක් ගේනවා. අමුණුගම සර්, වෑකඩපොළ සර්, අඹගල සර්, මංජු වන්නිආරච්චි සර්, හර්ෂ සර්ට ස්තුතිවන්ත වෙනවා.”

කි.ග්‍රෑම් 60 (ලයිට් වෙයිට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. රස්නායක සහ විද්‍යාර්ථ බොක්සිං සමාජයේ ඩී. හෙට්ටිආරච්චි අතර තරගයේ දී රස්නායක තරග වැදුණේ පෙර දින දකුණු ඇහිබැමේ සිදු වූ පැලුම් තුවාලය ද සමඟිනි. තරගය අතරතුර දී එය විවෘත වූ අතර විනිසුරු විසින් තරගය නවත්වා ඒ වන විට වැඩි ලකුණු ලබා සිටි රස්නායකට ජය ලබා දුන්නේය.

කි.ග්‍රෑම් 64 (ලයිට් වෙල්ටර් වෙයිට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. ජයවීර සහ පොලිස් ක්‍රීඩා සමාජයේ සී. නිලංග අතර පැවති මෙම බරපන්තියේ අවසන් මහා තරගය හොඳ තරගයකින් අනතුරුව ජය ගැනීමට ජයවීර සමත් විය.

කි.ග්‍රෑම් 69 (වෙල්ටර් වෙයිට්)

මෙහි දී තරග වැදුණේ යුධ හමුදා ක්‍රීඩකයන් දෙදෙනෙකුම ය. එන්. සමරනායක සහ එම්. ඒකනායක අතර එම තරගයේ දී සමරනායක විනිසුරු මඩුල්ලේ 5-0ක පැහැදිලි තීන්දුවක් ලබා ගත්තේය.

කි.ග්‍රෑම් 75 (මිඩ්ල් වෙයිට්)

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. කුමාර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එස්. රූපසිංහ අතර පැවති අවසන් මහා තරගයේ දී දෙදෙනාම උත්සාහ කළේ බර පහරවල් එල්ල කරන්නටයි. එහෙත් අවසානයේ දී සාර්ථක වූයේ රූපසිංහ ය. විනිසුරු විසින් තරගය නවත්වා ඔහුට ජය ලබා දුන්නේය.

කි.ග්‍රෑම් 81 (ලයිට් හෙවි වෙයිට්)

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී. දේශප්‍රිය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්. සිල්වා අතර මෙහි අවසන් මහා තරගය පැවැත්විය. එහි දී විනිසුරු මඩුල්ලේ 4-1ක තීරණයකින් ජය ලැබීමට සිල්වා සමත් විය.

කි.ග්‍රෑම් 91 (හෙවි වෙයිට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ සී. තිලකරත්න සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. තිලකරත්න අතර පැවති “තිලකරත්න දෙපලගේ සටන” ජය ගත්තේ යුධ හමුදාවේ තිලකරත්න විසිනි. තරගයේ මුල දී ම විනිසුරුවන්ගේ විශ්වාසය තමන් වෙතට හරවා ගැනීම ඊට හේතුවයි.

කි.ග්‍රෑම් 91+ (සුපර් හෙවි වෙයිට්)

පොලිස් ක්‍රීඩා සමාජයේ සී. සනොබාලෂන් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. අබේසිංහ මෙහි දී තරග වැදුණි. පොලිස් ක්‍රීඩකයාට සිතන්නටවත් ඉඩ නොතැබූ අබේසිංහ පහර පිට පහර එල්ල කරමින් ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.

  • දක්ෂතම ක්‍රීඩකයා – නුවන් ජිනදාස (පේරාදෙණිය බොක්සිං සමාජය)
  • දක්ෂතම පරාජිතයා – ධනංජය බාලසූරිය (කඳුරට බොක්සිං සමාජය)

තරගාවලිය අවසානයේ දී ආරක්ෂක සේවාවල ක්‍රීඩකයින් තවදුරටත් තම බොක්සිං ගෞරවය රැක ගත් අතර ජයග්‍රහණය කළ වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඔවුන් සමඟින් එළඹෙන අන්තර් මධ්‍යම බොක්සිං තරගාවලියේ දී මීළඟ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමු වනු ඇත. ජූලි මාසයේ දී පැවැත්වෙන එම තරගාවලිය වන තෙක් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<