යුධ හමුදා දෑතින් ප්‍රතිවාදීන් සිව්දෙනෙකු ඉවතට

220

කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදී අද (27) නිමාවට පත්වූ අන්තර් මධ්‍යම බොක්සිං තරගාවලියේ පළමු දිනයේදී යුධ හමුදා ක්‍රීඩකයන් සිව්දෙනෙකුත්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එක් ක්‍රීඩකයෙකුත්, නාවික හමුදා ක්‍රීඩකයන් දෙදෙනෙකුත්, ගුවන් හමුදා ක්‍රීඩකයෙකුත් ජයග්‍රහණ වාර්තා කළේය. තරගාවලිය ඉදිරි දින හතර තුළදීත් පැවැත්වෙන අතර එහි ජයග්‍රාහකයන් සහ ජයග්‍රාහිකාවන් ජාතික මට්ටමේ බොක්සිං තරගාවලීන් වන ලේටන් කුසලාන, ක්ලිෆර්ඩ් කුසලාන සහ  සමස්ත ලංකා බොක්සිං තරගාවලිය යන තරගාවලි වෙත පියමැනීමේ වරම හිමිකරගනියි.

අද පැවැත්වුණු සියලු තරග පිරිමි අංශයේ තරග විය.

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

මෙහි පළමු තරගය සඳහා ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ ඒ. කරුණාරත්න සහ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ අයි. චාමර අතරයි. එහි ආරම්භයේ සිටම පහර පිට පහර එල්ලකිරීමට චාමර සමත්වූ බැවින් ප්‍රතිවාදී පිලේ පුහුණුකරුවන් තරගය නවත්වන ලෙස ඉල්ලීමක් කළේය. ජය හිමිවූයේ චාමරට යි.

දෙවන තරගය වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් ද සිල්වා සහ ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ එම්. කුමාර තරග වැදුණු අතර එහිදී දෙවරක්ම ප්‍රතිවාදියා බිම හෙළන්නට ද සිල්වා සමත්වීමත් සමඟ කුමාරගේ පාර්ශ්වය විසින් ද සිල්වා වෙත ජය හිමිකර  දෙන්නැයි ඉල්ලා සිටින ලදි.

පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කේ. සමීර සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ආර්. ප්‍රියදර්ශන අතර පැවති මෙම බරපන්තියේ පළමු තරගය මඳක් තරගකාරී විය. ජූරියේ 3-2ක් ලෙස බහුතර කැමැත්ත ලබාගත් ප්‍රියදර්ශන මෙහිදී ජය ගත්තේය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. දේශප්‍රිය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්. පෙරේරා අතර පැවති තරගයේදී දේශප්‍රියගේ මැණික් කටුව විසන්ධි වීම නිසා ජය හිමි වුණේ පෙරේරාට යි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ එල්. චන්ද්‍රබණ්ඩාර සහ මාස් සිල්වර්ලයින් ක්‍රීඩා සමාජයේ ඩී. හේවගේ අතර පැවති තරගය 5-0ක ජූරි තීරණයකින් ජය ගත්තේ චන්ද්‍රබණ්ඩාර යි.  

පිරිමි, කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩිල්ෂාන් බණ්ඩාර සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඩී. විද්‍යාලංකාර අතර පැවති තරගය 5-0ක ජූරි තීරණයකින් ජය ගන්නට විද්‍යාලංකාර සමත් විය.

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී. මනරම් සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එම්. උදයකුමාර අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය 3-2ක වැඩි බහුතරයකින් ජය ගන්නට උදයකුමාර සමත් විය.

මීළඟ ෆ්ලයි වෙයිට් තරගය පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වී. රූපසිංහ සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. කුමාර අතරයි. ඉන් 3-2ක ජූරි බහුතරයක්  දිනා ගත් රූපසිංහ ජය ලැබුවේය.

පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ එන්. චාමර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ආර්. දේවප්‍රිය අතර පැවති තරගයේදී චාමර නිතරගයෙන් ජය ගත්තේ ප්‍රතිවාදියා තරගයට සහභාගී නොවීම හේතුවෙනි.

දිනයේ සියලු තරග මෙසේ නිමාවූ අතර හෙට (28) දිනයේ පැවැත්වෙන තරගවල ප්‍රතිඵල සඳහාත් රැඳෙන්න ThePapare.com සමඟින්.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට