ලෝක ශූරතා බේස්බෝල් තරගමාලාවට පෙර

195

“ලෝක ශූරතා තරගමාලාව” හෙවත් “World Series Championship” යනු ඇමරිකානු මේජර් ලීග් බේස්බෝල් (Major League Baseball – MLB) තරගාවලියේ අවසාන හා ප්‍රධානතම අංගය යි. මේ වසරේ දී 114 වැනි වරට පවත්වනු ලබන එම තරගමාලාව මෙම මස (ඔක්තෝබර්) 23 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරග 7කින් සමන්විත එම තරගමාලාවේ ජයග්‍රාහී කණ්ඩායමට “කොමසාරිස් කුසලානය” (Commissioner’s Trophy) හිමි වේ.

Courtesy – Wikipedia
ලෝක ශූරතා තරගමාලාවේ ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන “කොමසාරිස් කුසලානය” (Commissioner’s Trophy)

ඇමරිකානු මේජර් ලීග් බේස්බෝල් තරගාවලිය ප්‍රධාන වශයෙන් ලීග් ද්විත්වයක එකතුවකි. එනම් ඇමරිකානු ලීගය (American League) හා ජාතික ලීගය (National League) යි. ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ජනපදවල (උදා- බොස්ටන්,ලොස් ඇන්ජලිස්) ස්ථාපිතව පවතින බේස්බෝල් කණ්ඩායම් (උදා- බොස්ටන් රෙඩ් සොක්ස්,ලොස් ඇන්ජලිස් ඒන්ජල්ස්) මෙම ලීග් ද්විත්වයේ තරග කරයි. එම එක් එක් ලීගය ජය ගන්නා කණ්ඩායම් ද්විත්වය “ලෝක ශූරතා තරගමාලාව” ට සුදුසුකම් ලබයි.

වර්තමාන ලෝක ශූරතා තරගමාලාවේ උපත සිදුවන්නේ වර්ෂ 1903 දී ය. නමුත් එයට ප්‍රථම ඇමරිකානු ලීගය හා ජාතික ලීගය සඳහා වන තරගාවලි පවත්වා ඇත. ජාතික ලීගය වර්ෂ 1876 දීත්, ඇමරිකානු ලීගය වර්ෂ 1901 දීත් ආරම්භ විය. වර්ෂ 1903 දී මේජර් ලීගය ආරම්භ වීමත් සමඟ “ලෝක ශූරතා තරගමාලාව” ආරම්භ විය. පළමු “ලෝක ශූරතා තරගමාලාව” වර්ෂ 1903 දී පැවති අතර ජාතික ලීගය ජයග්‍රහණය කළ “පිට්ස්බර්ග් පයිරට්ස්” (Pittsburgh Pirates) කණ්ඩායම හා ඇමරිකානු ලීගය ජයග්‍රහණය කළ “බොස්ටන් ඇමරිකන්ස්” (Boston Americans) කණ්ඩායම ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මංගල “ලෝක ශූරතා තරගමාලාව” ජයග්‍රහණය කිරීමට “බොස්ටන් ඇමරිකන්ස්” කණ්ඩායම සමත් වූ අතර වර්තමානයේ එම කණ්ඩායම “බොස්ටන් රෙඩ් සොක්ස්” (Boston Red Sox) නමින් හඳුන්වයි.

පසුගිය වසරේ එනම් 2017 වසරේ “ලෝක ශූරතා තරගමාලාව” ජයග්‍රහණය කිරීමට “හුස්ටන් ඇස්ට්‍රොස්” (Houston Astros) කණ්ඩායම සමත් වූ අතර එය ඔවුන්ගේ මංගල “ලෝක ශූරතා තරගමාලා” ජයග්‍රහණය විය. මේ වන විට “ලෝක ශූරතා තරගමාලාව” වැඩිම වරක් ජයග්‍රහණය කිරීමේ භාග්‍ය හිමිකර ගැනීමට ලෝක ප්‍රචලිත බේස්බෝල් කණ්ඩායමක් වන “නිව්යෝර්ක් යැංකීස්” (New York Yankees) කණ්ඩායම සමත් වී ඇති අතර එය ගණනින් 27කි.

Courtesy- USA TODAY Sports
2017 වසරේ “ලෝක ශූරතා තරගමාලාව” ජයග්‍රහණය කළ “හුස්ටන් ඇස්ට්‍රොස්” (Houston Astros) කණ්ඩායම

වර්ෂ 1903 සිට මේ දක්වා (2017) “ලෝක ශූරතා තරගමාලාව” 113 වරක් පවත්වා ඇති අතර අවස්ථා දෙකක දී හැර අනෙක් සියලුම වර්ෂවල දී “ලෝක ශූරතා තරගමාලාව” පවත්වා ඇත. වර්ෂ 1904 දී ප්‍රථම වරට “ලෝක ශූරතා තරගමාලාව” පැවැත්වීමට නොහැකි වූයේ එම වසරේ ජාතික ලීගය ජයග්‍රහණය කළ “නිව්යෝර්ක් ජයන්ට්ස්” (New York Giants) කණ්ඩායමේ (වර්තමානයේ මෙම කණ්ඩායම “සැන් ෆ්‍රැන්සිස්කෝ ජයන්ට්ස්”/San Francisco Giants නමින් හඳුන්වයි) හිමිකරු වූ ජෝන් ටී. බ්‍රෂ් (John T. Brush) එම වසරේ පැවැත්වූ ඇමරිකානු ලීගයේ ජය ගත් “බොස්ටන් ඇමරිකන්ස්” කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හා එවකට පැවති රජයෙන් අනුග්‍රහයක් හිමි නොවීම හේතුවෙනි. දෙවන හා අවසන් වරට “ලෝක ශූරතා තරගමාලාව” පැවැත්වීමට නොහැකි වූයේ වර්ෂ 1994 දීයි. මුදල් ගෙවීම සම්බන්ධව පැනනැගුනු ප්‍රශ්න මත ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම වසරේ දී “ලෝක ශූරතා තරගමාලාව” පැවැත්වීමට නොහැකි විය.

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා උළෙලට

මෙම මස (අගෝස්තු) 18 වැනිදා සිට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ආරම්භ වන 2018 ආසියානු ක්‍රීඩා…

මෙම වසරේ ජාතික ලීගයේ ශූරතාවය සඳහා “මිල්වෝකී බෘවර්ස්” (Milwaukee Brewers) කණ්ඩායම හා “ලොස් ඇන්ජලිස් ඩොජර්ස්” (Los Angeles Dodgers) කණ්ඩායම තරග වදින අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි. මේ වන විට පැවැත්වෙන ඇමරිකානු ලීගයේ ශූරතාවය සඳහා “බොස්ටන් රෙඩ් සොක්ස්” (Boston Red Sox) කණ්ඩායම හා පසුගිය වසරේ “ලෝක ශූරතා තරගමාලාව” ජයග්‍රහණය කළ “හුස්ටන් ඇස්ට්‍රොස්” (Houston Astros) කණ්ඩායම තරග වදියි. එම කණ්ඩායම් ද්විත්වය ද මේ වන විට තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගැනීමට සමත්ව තිබේ.

මෙවර බේස්බෝල් ලෝක ශූරතා තරගමාලාවේ තොරතුරු මෙන්ම දේශීය විදේශීය කෙළිබිමේ තොරතුරු දැන ගැනීම සඳහා එක්වී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<