සිම්බාබ්වේ ඉවත දමා බංග්ලාදේශය අවසන් සටනට

89

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (18) බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර Chattogram ක්‍රිකට් පිටියේ දී පැවති අතර එම තරගයෙන් ලකුණු 39ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

මෙම තුන්කොන් තරගාවලියේ තමන් දැනට සහභාගී වූ  තරග තුනම පරාජයට පත්වූ සිම්බාබ්වේ කණ්ඩායමට මෙම පරාජයත් සමඟින් අවසන් මහා තරගයට ඒමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේය.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් …..

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක හැමිල්ටන් මසකඩ්සා ප්‍රතිවාදී කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

බංග්ලාදේශය සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් වූ අතර එය මෙවර තරගාවලිය තුල දැනට කණ්ඩායමක් රැස්කරගත් දෙවන වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත්විය. 

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෙක් වන ලිට්න් ඩාස් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූයේ පන්දු 22ක දී ලකුණු 38ක් ලබාගෙනයි. නමුත් කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ මහමදුල්ලා එක් 4 පහරක් සහ දැවැන්ත 6 පහර පහක් එල්ල කරමින් පන්දු 41ක දී ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූයේ, සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 4 වැනි අර්ධ ශතකය සමඟිනි. 

මහමදුල්ලා හට සහය වූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 32ක් ලබා ගනිමින් 5 වැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 78ක සබඳතාවයක් ගොඩනැංවිය. නමුත් අවසන් පන්දුවාර 2ක තුල බංග්ලාදේශ පසුපෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටුණු නිසා එම ලබා ගත් දල ලකුණු වේගය තරමක් දුරකට අඩු වුවත් තරගකාරී ලකුණක් වෙත යාමට බංග්ලාදේශය සමත් විය.

පන්දු යැවීමේ දී කයිල් ජාර්විස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගන්නා විට ෂෝන් විලියම්ස් හා ටින්ටෙන්ඩෝ මුටෝබ්ඩ්සි අඩු ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් සිය වගකීම හැකි උපරිමයෙන් ඉටු කරන ලදි.

කෝලි මොහාලි පිටිය දෙවනත් කරයි

සංචාරක දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර මොහාලි හීදී පැවති …..

තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත්වෙමින් මේ තරගය සඳහා පැමිණි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 77ක් තුල දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. දැවී ගිය පිතිකරුවන් අතරේ ලකුණු 25ක් රැස්කරගත් නායක මසකඩ්සා හැරෙන්නට අනෙක් පිතිකරුවන් එකපෙළට ක්‍රීඩාගාරයට හැරී ගියේය. 

පන්දුවාර 12කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 66ක් රැස්කරගෙන සිටි සිම්බාබ්වේ කණ්ඩායම යම් ගෞරවාන්විත අවසානයක් කරා රැගෙන යාමට  රිච්මන්ඩ් මුටුම්බාමි හා ජාර්විස් සමත් විය. ඔවුන් දෙදෙනා අටවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වෙමින් පන්දු 36ක දී ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවන ලදි. 

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කර ගත් මුටුම්බාමි පන්දු 32ක දී ලකුණු 54ක් වාර්තා කළේය. ශයිෆුල්  ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මුටුම්බාමිගේ සටන්කාමි ඉනිම අවසන් වීමත් සමඟම සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජය ගැනීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේය. අවසානයේ සිම්බාබ්වේ ඉනිම ලකුණු 136කට සීමා විය.

බංග්ලාදේශ තරගාවලිය සඳහා A කණ්ඩායම නම් කෙරේ

එළඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ A ….

මෙම තරගයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 50 සීමාව පසු කළ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රහමාන් එම සීමාව වෙත වේගවත්වම ළඟා වූ  ලොව සිව්වැනි ක්‍රීඩකයා බවට පත්වීමට වරම් දිනා ගත්තේය. මේ තරගයේ දී බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ඉස්ලාම් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

තරගයේ වීරයා – මහමදුල්ලා (බංග්ලාදේශය) 

බංග්ලාදේශය –  175/7 (20): මහමදුල්ලා 62, ලිට්න් ඩාස් 38, මුෂ්ෆිකර් රහීම් 32, කයිල් ජාර්විස් 3/32.

සිම්බාබ්වේ – 136 (20): රිච්මන්ඩ් මුටුම්බාමි 54, කයිල් ජාර්විස් 27, ශයිෆුල් ඉස්ලාම් 3/36.

තරගාවලියේ තරග තුනක් අවසානයේ තමන් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින අතර තරග තුනෙන් දෙකක් ජයගෙන තිබෙන බංග්ලාදේශය එහි දෙවන තැන සිටියි. 

තරගාවලියේ පස්වැනි තරගය හෙට (20) ඇෆ්ගනිස්තාන කaණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර Chattogram ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<